සිකුරාදා, 20 සැප්තැම්බර් 2024 14:34

ශිෂ්‍යත්වයේ පිළිතුරු පත්‍ර පරීක්ෂාව නතර කරයි Featured

සැප්තැම්බර් මස 15 වනදා පැවැත්වුණු 5 වසර ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු මේ වනවිට තාවකාලිකව නතර කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය පැවසුවාය.

අද (20) පැවැති මාධ්‍ය හමුවකදී ඇය වැඩිදුරටත් සඳහන් කළේ,

"විභාගයේ පිළිතුරු පත්‍ර සමීක්ෂණ කටයුතු අපි කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ, පරීක්ෂණ කටයුතුවල සියලුම ප්‍රතිඵල ලැබිලා අපි තීරණයක් ගන්නා තෙක්. එතෙක් ප්‍රතිඵල නිකුත් කරන්නට අදාළ කටයුතු සිදු කරන්නේ නැහැ. ඒවා අපි තාවකාලිකව අත්හිටුවා තිබෙනවා."

අදාළ විභාගයේ ප්‍රශ්න පත්‍රයක් පිටවී ඇති බවට කරුණු හෙළිවීමත් සමග විභාග දෙපාර්තමේන්තුව මගින් පරීක්ෂණයක් සිදු කළේය. ඒ මූලික පරීක්ෂණ වාර්තාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදී ඇති අතර ඒ හරහා ද පරීක්ෂණ සිදුකරමින් තිබේ.

5 වසර ශිෂ්‍යත්ව විභාගයට අදාළව විභාග ප්‍රශ්න පත්‍රය පිටවී ඇති බවට පරීක්ෂණවලින් අනාවරණය වුවහොත් විභාගය නැවත වතාවක් පැවැත්වීමට කටයුතු කිරීමට හැකි බවද අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය පැවසුවාය.

අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය,

"ඒ වගේම අපිට වාර්තා වෙලා තිබෙනවා උපකාරක පන්ති ගුරුවරුන් නීති අනුව කටයුතු නොකර විභාගයට පෙර දිනවලදී ද අනුමාන ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කර ඇති බව. ඒ අනුව ඒ සම්බන්ධයෙනුත් මේ වනවිට විනයානුකූල පියවර ගැනීමට සූදානමින් ඉන්නවා."

"ප්‍රශ්න පත්‍රය පිටවී තිබෙනවා නම් ඊට වගකියයුතු පාර්ශ්ව සම්බන්ධයෙන් නීත්‍යානුකූල පියවර ගැනීමට අපි කටයුතු කරනවා."

මෙවර විභාගය දිවයින පුරා මධ්‍යස්ථාන 2,849ක් දී පැවැත්වීමට කටයුතු කර තිබූ අතර ඒ සඳහා අපේක්ෂකයින් 323,879 දෙනෙකු සුදුසුකම් ලබා තිබුණි.

ADN

නවතම පුවත්

ජනපති අද ජාතිය අමතයි

සැප්තැම්බර් 25 2024

අද බැංකු නිවාඩු නෑ

සැප්තැම්බර් 23 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website