බදාදා, 09 ඔක්තෝබර් 2024 14:02

කැබිනට් තීරණ Featured

කෘෂිකර්ම නවීකරණයට බඳවාගත් නිලධාරීන් හා උපදේශකයන්ගේ සේවය අවසන් කෙරේ

විදේශගත ශ්‍රී ලාංකිකයන්ගේ කටයුතු සඳහා වන කාර්යාලය, ජාතික ජන සභා ලේකම් කාර්යාලය සහ ‘කෘෂිකර්ම නවීකරණ වැඩසටහන’ සඳහා කොන්ත්‍රාත් පදනම මත බඳවා ගනු ලැබ ඇති නිලධාරීන්ගේ සහ උපදේශකයන්ගේ සේවය 2024.09.30 දින සිට අවසන් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාදී ඇත.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මේ ගැන අමාත්‍ය මණ්ඩලයට දැනුම් දීමෙන් පසු ඒ සඳහා අමාත්‍ය මණ්ඩලයේ එකඟතාව ලබාදී ඇත.

අමාත්‍ය මණ්ඩලයේ (පසුගිය රජය යටතේ) අනුමැතිය මත ජනාධිපති කාර්යාලය යටතේ විදේශගත ශ්‍රී ලාංකිකයන්ගේ කටයුතු සඳහා වන කාර්යාලය හා සහභාගිත්ව ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම වෙනුවෙන් ජන සභා ක්‍රමය ස්ථාපිත කිරීම උදෙසා වන ජාතික ජන සභා ලේකම් කාර්යාලය ස්ථාපිත කිරීමට සහ කෘෂිකර්ම නවීකරණ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට පිවර ගෙන ඇති අතර ඒ සඳහා නිලධාරීන් හා උපදේශකයන් පත් කරනු ලැබ තිබිණි. එම කාර්යාල සහ වැඩසටහන මගින් අපේක්‍ෂිත කාර්යයන් අදාළ අමාත්‍යාංශ මගින් ක්‍රියාත්මක කිරීමේ හැකියාව පවතින බැවින් එම නිලධාරීන්ගේ සහ උපදේශකයන්ගේ සේවය අවසන් කිරීමට පියවර ගෙන ඇති බව ජනාධිපතිවරයා විසින් අමාත්‍ය මණ්ඩලයට දැනුම් දී ඇත.

ශ්‍රී ලංකාව හා රුසියාව අතර ගිවිසුමක්


ශ්‍රී ලංකා රජය හා රුසියානු රජය අතර පැවැති ද්විපාර්ශ්වීය සාකච්ඡා මාලාවකින් පසුව පාරදෘශ්‍ය හා පුරෝකථනය කළ හැකි රේගු ක්‍රියාපටිපාටියක් ඔස්සේ නෛතික වෙළෙඳ කටයුතු සඳහා පහසුකම් සැලසීම පිණිස 2021.11.15 දින ද්විපාර්ශ්වික ගිවිසුමක් අත්සන් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාදී තිබුණත් මෙතෙක් එම ගිවිසුමට අත්සන් තබා නොමැත. දෙරට අතර පවතින වෙළෙඳ සබඳතා තුළින් හිමිවන ප්‍රතිලාභ හා ද්විපාර්ශ්වික රේගු සහයෝගිතාවයේ නැඟීඑන ප්‍රවණතා සැලකිල්ලට ගෙන එම ගිවිසුමට අත්සන් තැබීමට ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇත.

එ. ජා. මානව හිමිකම් කවුන්සිලයට ශ්‍රී ලංකා රජයේ ස්ථාවරය


2024.09.09 දින සිට 2024.10.11 දින දක්වා ජිනීවා නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 57 වැනි සැසිවාරයට අදාළව විදේශ කටයුතු අමාත්‍යවරයා ඉදිරිපත් කළ තීන්දු අමාත්‍ය මණ්ඩලය විසින් සැලකිල්ලට ගෙන ශ්‍රී ලංකා රජයේ ස්ථාවරය පහත සඳහන් පරිදි ඉදිරිපත් කිරීමට අමාත්‍ය මණ්ඩල එකඟතාව ලබාදී ඇත.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ වත්මන් සැසිවාරයේදී යෝජිත යෝජනා කෙටුම්පත ශ්‍රී ලංකාව තරයේ ප්‍රතික්‍ෂේප කරන බව සහ මානව හිමිකම් කවුන්සිලයේ 51/1 යෝජනාවට ශ්‍රී ලංකාව දිගින් දිගටම විරුද්ධ වන අතරම බාහිර සාක්ෂි එකතු කිරීමේ යාන්ත්‍රණයේ බලතල දීර්ඝ කරන කිසිදු යෝජනාවකට එකඟ නොවන බව.

එම යෝජනාව ප්‍රතික්‍ෂේප කරනු ලැබුව ද දේශීය ක්‍රියාවලීන් තුළින් සංහිඳියාව ඇතුළු ප්‍රධාන මානව හිමිකම් ගැටලු සම්බන්ධයෙන් කටයුතු කිරීමට ශ්‍රී ලංකාව තරයේ අදිටන් කර ඇති බව.
ශ්‍රී ලංකාව, මානව හිමිකම් කවුන්සිලය සහ නිත්‍ය මානව හිමිකම් යාන්ත්‍රණයත් සමග සහයෝගිතාවයෙන් සහ අර්ථකාරී කථිකාවතින් යුතුව කටයුතු කරනු ලබන බව.


සිවිල් ආරක්ෂක අධ්‍යක්‍ෂ ජනරාල්ගේ සේවය දික් කරයි
සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් එයාර් වයිස් මාර්ෂල් ආර්. එස්. බියන්විල මහතාගේ පත්වීමේ කාලසීමාව 2024.09.13 දිනෙන් අවසන් වී ඇත. එබැවින් ඒ මහතා 2024.12.31 දින දක්වා එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් තනතුරේ සේවය දික් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාදී ඇත.

අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මෙම මාධ්‍ය හමුවට පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා ද එක්ව සිටියේය.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

 

නවතම පුවත්

Image

Stats

There are 35133 listings, 1280 categories and 92 owners in our website