සදුදා, 14 ඔක්තෝබර් 2024 12:27

ලක්‍ෂයකට වැඩිය විපතට – මරණ 3ක් – පාසල් රැසක් වැසේ Featured

දිවයින ආශ්‍රිත වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිස්ත්‍රික්ක 12ක පවුල් 29,980 පුද්ගලයින් 118,032ක් ඊයේ (13දා) වනවිට අවතැන්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. ආපදා තත්ත්වය හේතුවෙන් මරණ 03ක් සහ පුද්ගල තුවාලවීම් 02ක්ද වාර්තා වී ඇත.

මෙම අයහපත් කාලගුණික තත්ත්වය පසුගිය 07 වැනිදා සිට දිවයිනට බලා ඇත. මරණ තුන පානදුර, කොළඹ සහ කොළොන්නාව ප්‍රදේශවලින් වාර්තා වේ. 11 වැනිදා පානදුර – අඟුරුවාතොට මාර්ගයේ ගමන් කරමින් සිටි 48 හැවිරිදි පුද්ගලයෙකු හල්තොට බෝධිය අසලදී මාර්ගය අසල ජලය පිරි කුඹුරකට වැටී මියගොස් ඇත. කොළඹ දිස්ත්‍රික්කයේ කඩුවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඇළකට වැටී ඉකුත් 10දා සිට අතුරුදන්ව සිටි පුද්ගලයාගේ සිරුර පෙරේදා (12දා) හමුවී තිබේ. මේ අතර කොළොන්නාව ප්‍රදේශයේ මසුන් ඇල්ලීමට ගිය ඔරුවක් පෙරළී අතුරුදන් වූ පුද්ගලයාගේ සිරුර ද හමුවී ඇත.

ජල ගැලීම්, අධික සුළං, අකුණු, කණ්ඩි කඩාවැටීම් සහ ගස් කඩාවැටීම් හේතුවෙන් ජනතාව අවතැන් වී සිටිති. අවතැන් වූ පවුල් 1,717ක පුද්ගලයින් 6,876ක් සුරක්ෂිත මධ්‍යස්ථාන 80ක රඳවා ඇත. පූර්ණ නිවාස හානි එකක් සහ අර්ධ නිවාස හානි 234ක් වාර්තා වී ඇත. ගම්පහ පවුල් 16,707ක පුද්ගලයින් 68,672ක් සහ කොළඹ පවුල් 10,904ක පුද්ගලයින් 40,231ක් අවතැන් වී තිබුණි.

ජනතාව ආපදාවට ලක්වී ඇත්තේ කළුතර, ගම්පහ, කොළඹ, කිළිනොච්චිය, කෑගල්ල, රත්නපුර, හම්බන්තොට, ගාල්ල, පොළොන්නරුව, මහනුවර, කුරුණෑගල සහ පුත්තලම යන දිස්ත්‍රික්කවල ජනතාවයි. ගම්පහ සුරක්ෂිත මධ්‍යස්ථාන 16ක් ස්ථාපිත කර ඇත. ගංවතුර හේතුවෙන් මෙම පිරිස අවතැන්ව ඇති අතර ඔවුන් දොම්පේ, බියගම, වත්තල, කැලණිය සහ ජාඇල යන ප්‍රදේශවල ආරක්ෂිත මධ්‍යස්ථානවල රඳවා ඇත. පවුල් 406ක පුද්ගලයෝ 1376ක් මෙසේ රඳවා සිටිති.

කොළඹ ආරක්ෂිත මධ්‍යස්ථාන 48ක් ස්ථාපිත කර ඇති අතර ඒවා වනාතමුල්ල, කොළොන්නාව, සීතාවක, තිඹිරිගස්යාය, පාදුක්ක, කඩුවෙල සහ හෝමාගම ප්‍රදේශවල ස්ථාපිත කර තිබේ. පවුල් 1,044 පුද්ගලයින් 4,060ක් මේවායේ රඳවා ඇත. පස් කණ්ඩි කඩා වැටීම හේතුවෙන් කෑගල්ලේ ද ආරක්ෂිත මධ්‍යස්ථාන එකක් ස්ථාපිත කර ඇති අතර එය බුලත්කොහුපිටි ප්‍රජා ශාලාවේ ස්ථාපිත කර ඇත. එක් පවුලක පුද්ගලයෝ 07 දෙනෙක් එහි රැඳී සිටිති. කළුතර ආරක්ෂිත මධ්‍යස්ථානයක් ස්ථාපිත කර ඇත. ගංවතුර හේතුවෙන් එය මතුගම බෝන් ප්‍රජා ශාලාවේ ස්ථාපිත කර ඇත. එහි පවුල් 06ක පුද්ගලයින් 24ක් රඳවා ඇත. පුත්තලම ආරක්ෂිත මධ්‍යස්ථාන 14ක් ස්ථාපිත කර ඇති අතර ගංවතුර හේතුවෙන් නාත්තන්ඩිය ප්‍රදේශයේ ස්ථාපිත කර ඇති ඒවායේ පවුල් 260ක පුද්ගලයින් 1,409ක් රඳවා ඇත.

බදුල්ල, කොළඹ, ගාල්ල, ගම්පහ, කළුතර, කෑගල්ල, කුරුණෑගල, නුවරඑළිය සහ රත්නපුර යන දිස්ත්‍රික්ක 09 සඳහා ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය විසින් නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත. සීතාවක, පාදුක්ක, බද්දේගම, නෙළුව, නාගොඩ, ඇල්පිටිය, අත්තනගල්ල, මතුගම, දොඩම්ගොඩ, වලල්ලාවිට, හොරණ, බුලත්සිංහල, ඉංගිරිය, පාලින්දනුවර, අගලවත්ත, මාවනැල්ල, අරණායක, කෑගල්ල, යටියන්තොට, බුලත්කොහුපිටිය, දෙහිඕවිට, වරකාපොළ, රුවන්වැල්ල, ඇහැළියගොඩ, නිරිඇල්ල, අයගම, කලවාන, ඇලපාත, කුරුවිට සහ රත්නපුර යන ප්‍රදේශවලට දෙවැනි මට්ටමේ නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත. තෙවැනි මට්ටමේ (ජනතාව ඉවත්වීමේ) අනතුරු ඇඟවීම් මෙතෙක් නිකුත් කර නොමැත.

කළුතර දිස්ත්‍රික්කයේ බණ්ඩාරගම, අගලවත්ත, වලල්ලාවිට, බුලත්සිංහල, මිල්ලනිය සහ මදුරාවල යන ප්‍රදේශවල මාර්ග කිහිපයක් ජලයෙන් යටවී ඇත. කොළමැදිරිය – මිල්ලනිය, අගලවත්ත – කුඩලිගම, වලල්ලාවිට – අවිත්තාව, ගලතර – උතුංගම, බුලත්සිංහල – මෝල්කාව, බුලත්සිංහල – ඉහළ වෙල්ගම, ඇළමෝදර – පරගස්තොට, මිල්ලනිය – මොරොන්තුඩුව, පනාගොඩ – නාර්තුපාන, බේගමුව – යටවර, යාල, ඔරවත්ත, වරකාගොඩ – කලවැල්ලාව යන මාර්ග ජලයෙන් යටවීම නිසා වාහන ගමනාගමනයට බාධා එල්ල වී තිබූ බවට වාර්තා වී තිබිණි.

ගම්පහ – ජාඇල මාර්ගයේ මාකවිට හන්දිය අසල ජලයෙන් යටවීම හේතුවෙන් බර වාහන සඳහා පමණක් මාර්ගය විවෘත කර තිබූ අතර ගම්පහ – යක්කල මාර්ගයේ නගරය දෙසට ජලයෙන් යටවී ඇත. ගම්පහ – හංවැල්ල මාර්ගයේ කරාල හන්දිය ජලයෙන් යටවීම හේතුවෙක් ගමනාගමනයට බාධා එල්ල වී තිබුණි. කැලණි, කළු, ගිං යන ගංගා හා අත්තනගලු ඔය ආශ්‍රිත පහත් බිම්වල ජනතාවට අවධානයෙන් සිටින ලෙසද දැනුම් දී තිබිණි.

ආපදා තත්ත්වයට මුහුණ දීම සඳහා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි කාර්යාලය හරහා ත්‍රිවිධ හමුදා සම්බන්ධීකරණයෙන් කළුතර දිස්ත්‍රික්කයට කණ්ඩායම් 03ක් හා රත්නපුර දිස්ත්‍රික්කයට කණ්ඩායම් 01ක් අනුයුක්ත කිරීම සඳහා කළුතර නාවික හමුදා ක්ෂණික ක්‍රියාකාරි යාත්‍රා බලඝන ඒකකය සූදානම් කර ඇත. ගම්පහ, බියගම, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ බෝට්ටු 04ක් ස්ථාපිත කර ඇති බවත් කොළඹ, කඩුවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අසල බෝට්ටු 02ක් ස්ථානගත කර ඇති බවත් ආරක්ෂක මාණ්ඩලික කාර්යාල දැනුම් දී තිබිණි. ජලාශවල වාන් දොරටු විවෘත කිරීමක් ද වාර්තා වී නොතිබුණි.

පවතින වර්ෂාපතන තත්ත්වය ඉදිරි දින කිහිපය තුළද පවතින බවත් බස්නාහිර, සබරගමුව, දකුණ සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මිලිමීටර් 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බවද එම දෙපාර්තමේන්තුව කියා සිටී.

ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් එම දෙපාර්තමේන්තුව ඉල්ලා සිටී.
මේ අතර අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් අද (14දා) සහ හෙට (15දා) කැලණිය සහ ගම්පහ කලාපයේ සියලු පාසල් ද කොළඹ කලාපයේ පාසල් අද දිනයේ දී වසා තැබෙන බව බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්‍ෂවරයා සඳහන් කරයි.

ගංවතුර හේතුවෙන් කැලණි මහා විද්‍යාලය, මීගමුව රෝමානු කතෝලික විද්‍යාලය, බියගම ප්‍රාථමික විද්‍යාලය සහ යබරලුව ආනන්ද කනිෂ්ඨ විද්‍යාල වසා දැමීමට බස්නාහිර පළාත් සභා අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

චමින්ද සිල්වා සහ සුගත් ප්‍රේමතිලක
ඡායාරූපය – නයනදුල සෙන්දනායක

 

නවතම පුවත්

Image

Stats

There are 35131 listings, 1280 categories and 92 owners in our website