අඟහරුවාදා, 15 ඔක්තෝබර් 2024 10:06

කෝටි 355ක බදු නොගෙව්වාට ඇලෝසියස් හිරේට Featured

අර්ජුන් ජෝෂප් ඇලෝසියස්, ඇන්තනි රන්දෙව් දිනේන්ද්‍ර ජෝන්, කේ. ප්‍රසන්න කුමාරසිරි ද සිල්වා යන සැකකරුවන් හට ලිහිල් වැඩ සහිත මාස හයක සිරදඬුවම් මෙසේ නියම කෙරිණි.

සිද්ධියට අදාළව මහේස්ත්‍රාත්වරයා ඉහළ අධිකරණයේ අත්හිටුවීමේ නියෝගයක් තිබේද යන්න අධිකරණයෙන් විමසා සිටියේය. අත්හිටුවීමේ නියෝගයක් නොතිබීම සහ වැට් බදු සඳහා අභියාචනා අයිතිවාසිකම් නොතිබීම මත ඊයේ දිනම නියෝගය පරිදි අදාළ ගෙවීම් කළ යුතු බවත් එසේ නොකළහොත් මාස හයක ලිහිල් වැඩ සහිත සිරදඬුවම් නියම වන බවටත් මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

විත්තිකාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරිය මිලියන දහයක මුදලක් ඊයේ දින අධිකරණයට ගෙවීම් කර ඉතුරු මුදල වාරික වශයෙන් ගෙවීමට අවස්ථාව සලසා දෙන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියත් එම ඉල්ලීම මහේස්ත්‍රාත්වරයා විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීය. 2016 සහ 2019 අතර කාලය තුළ රජයට අය විය යුතු වැට් බදු මුදල වන රුපියල් බිලියන 3.5ක් ගෙවන ලෙසට විත්තිකරුවන්ට නියෝග කරන ලෙස ඉල්ලා දේශීය ආදායම් කොමසාරිස්වරයා මෙම නඩුව පවරා තිබිණි.

අදාළ නඩුව කැඳවීමෙන් අනතුරුව වගඋත්තරකරුවන් අධිකරණයේ පෙනී සිටි අතර, වගඋත්තරකරුවන් ඊයේ දිනයේ දී අදාළ බදු මුදල් නො‍ෙග‍වන්නේ නම්, මාස හයක ලිහිල් සිරදඬුවමක් නියම කරන බව මහේස්ත්‍රාත්වරයා දන්වා සිටියේය. වගඋත්තරකරුවන් මීට පෙර නඩු දිනයේ දී අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් අධිකරණය මඟින් වරෙන්තුවක් ද නිකුත් කර තිබිණි. දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල්වරයා වෙනුවෙන් නීතිඥ දිනේෂ් පෙරේරා මහතා පෙනී සිටියේය. වගඋත්තරකරුවන් වෙනුවෙන් නීතිඥ චානක්‍යා ලියනගේ මහත්මිය පෙනී සිටියාය.

ඒ අනුව ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අධිකරණය සිද්ධියට අදාළ වගඋත්තරකරුවන් හට මාස හයක ලිහිල් වැඩ සහිත සිරදඬුවමක් නියම කළේය. මේ අතර රජයට අය විය යුතු රුපියල් කෝටි 355ක (බිලියන 3.5 ) වැට් බදු ගෙවීම් නොගෙවා පැහැර හැර ඇති බව කියන සිද්ධියට අදාළව ලබාදුන් මාස හයක සිරදඬුවම් නියෝගය නිෂ්ප්‍රභ කරන ලෙස ඉල්ලා අර්ජුන ඇලෝසියස් ඇතුළු දෙදෙනකු කොළඹ මහාධිකරණයට යොමු කරන ලද අභියාචනයක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර ඉළංගසිංහ මහතා ඊයේ(14) පස්වරුවේ ප්‍රතික්ෂේප කළේය. රජයට ගෙවීමට නියමිත වැට් බදු මුදල් කොටස් වශයෙන් ගෙවීමට අවසර දෙන ලෙසත් තමන්ට නියම කළ මාස හයක සිරදඬුවම අත්හිටුවන ලෙසත් ඔවුන් සිය අභියාචනය මඟින් ඉල්ලා තිබුණි. ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා අදාළ ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය.

 

අධ්‍යක්ෂවරු දෙදෙනාත් ඇතුළට

රජයට අය විය යුතු රුපියල් කෝටි 355ක (බිලියන 3.5) වැට් බදු ගෙවීම පැහැර හැර ඇති බව කියන සිද්ධිය සම්බන්ධයෙන් ඩබ්.එම්. මෙන්ඩිස් සහ සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන ඇලෝසියස් ඇතුළු තිදෙනකුට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර ඉළංගසිංහ මහතා මාස හයක සිරදඬුවමක් ඊයේ (14) නියම කළේය. මෙම බදු පැහැර හැරීම සම්බන්ධයෙන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ගොනු කළ නඩුවකට අදාළව බදු මුදල් ගෙවන ලෙසට ඉකුත් වසරේ නොවැම්බර් මස 14දා අධිකරණය නියෝග කර තිබිය දී එම බදු මුදල් නොගෙවා පැහැර හැරීම හේතුවෙන් අධිකරණය විසින් මෙම දඬුවම නියම කරනු ලැබීය.

කල්පනි අබේසිංහ

 

ෆොන්සේකා සිටි කුටිය ඇලෝසියස්ට

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් සය මසක සිර දඬුවම් නියම කළ ඩබ්ලිව් .එම්.මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝසියස් ඊයේ (14) සවස 6.00ට පමණ බන්ධනාගාර බස් රථයකින් වැලිකඩ බන්ධනාගාරය වෙත රැගෙන විත් ඇත. සිරකරුවන්ට අදාළ ලියාපදිංචි කටයුතුවලින් පසු ඔහුව වැලිකඩ බන්ධනාගාරයේ නවක සිරකරුවන් රඳවා තබන කුටියකට යොමු කර ඇති අතර ඊයේ (14) රාත්‍රියේම බන්ධනාගාර වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි. අර්ජුන් ඇලෝසියස් ආරක්ෂා සහිතව ඊයේ (14) රඳවා සිටි සිරකුටියේ මෙයට පෙර ෆීල්ඩ් ම‍ර්ෂල් සරත් ෆොන්සේකා මහතාද, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියකුව සිටි ආර්.විජේගුණවර්ධන මහතා ද රඳවා තැබිණි.බන්ධනාගාර උසස් නිලධාරියකු පැවසුවේ බන්ධනාගාර වෛද්‍යවරයා ඇලෝසියස් මහතාව පරීක්ෂා කර යම්කිසි රෝගයකින් පෙළෙන බවට තහවුරු කළහොත් ඔහු බන්ධනාගාර රෝහලට යොමු කරන බවයි.

බුද්ධිකා ඉඹුලාන

ඡායාරූපය – වාසිත පටබැඳිගේ

නවතම පුවත්

Image

Stats

There are 35131 listings, 1280 categories and 92 owners in our website