බදාදා, 16 ඔක්තෝබර් 2024 11:19

ජනතාව බලාපොරොත්තු වන්නේ මිත්‍රශීලී පොලිසියක් Featured

-ඇමැති විජිත හේරත් කළුතර පොලිස් අභ්‍යාස විද්‍යාලයේදී කියයි

අනීතික දේවල් කරන්න බලපෑම් කරන්නේ නැතිනම් හරියට රාජකාරිය කරන එක ඔබේ වගකීමක්:

ආධුනික උප පොලිස් පරීක්ෂකවරුන් 116ක් පොලිස් කොස්තාපල්වරුන් 1169ක් විසිර යති

සමාජය පිරිහෙන විට පොලිසිය පිරිහෙන එක වළක්වන්න බෑ:

සමාජය පිරිහෙන කොට පොලිසිය පිරිහෙන එක වළක්වන්න බෑ. ඔබ හැම වෙලාවෙම බැඳිලා ඉන්නේ ඉහළ නිලධාරියකු දෙන නීත්‍යනුකූල විධාන පිළිපදින්න පමණයි.

ජනතාව බලාපොරොත්තු වෙන්නේ people’s friendly පොලිසියක් යැයි මහජන ආරක්ෂක ඇමැති විජිත හේරත් මහතා කළුතර පොලිස් අභ්‍යාස විද්‍යාලයේ පුහුණුව ලැබූ පොලිස් නිලධාරීන් විසිර යෑමේ උත්සවයේ ප්‍රධාන අමුත්තා වශයෙන් සහභාගි වෙමින් පෙරේදා (14) සඳහන් කළේය.

ශ්‍රී ලංකා පොලිස් විද්‍යාලයේ මූලික පුහුණුව ලැබූ ආධුනික උප පොලිස් පරීක්ෂකවරුන් 116 සහ පොලිස් කොස්තාපල්වරුන් 1169ක් මෙදින විසිර ගියහ.

කළුතර පොලිස් අභ්‍යාස විද්‍යාලය 1948 සැප්තැම්බර් 3 වැනි දින ආරම්භ කිරීමෙන් පසු මේ දක්වා අනුයුක්ත පාසල් 7ක් යටතේ පොලිස් නිලධාරීන් 193,393ක් පුහුණුව ලබා ඇත. පෙරේදා (14) පොලිස් සේවයට එක්වූ නවක පොලිස් නිලධාරීන් අතර උපාධිධාරීන් 20ක්, ඩිප්ලෝමාධාරීන් 87ක්, ඩිප්ලෝමා හදාරන 28ක් සිටිති. අන්තර්ජාතිකව පිළිගත් මොඩියුල 7ක් යටතේ මාස 8ක පුහුණු කාලයකින් පසු පෙරේදා පොලිස් සේවයට එක් වූ ඔවුන් තවත් වසර 2යි මාස 6ක කාලයක් ක්ෂේත්‍ර පුහුණුවකින් පසු ස්ථිර පොලිස් සේවයට එක්වීමට නියමිතය.

මහජන ආරක්ෂක ඇමැති විජිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන්, මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න සහ වැඩ බලන පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය, පොලිස් පරිපාලන අංශයේ වැඩ බලන ප්‍රධානී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහත්වරුන් ඇතුළු පොලිස් ප්‍රධානීන් රැසකගේත් විසිර යන ආධුනික පොලිස් නිලධාරීන්ගේ පවුලේ සාමාජිකයන්ගේත් සහභාගිත්වයෙන් කළුතර පොලිස් අභ්‍යාස විද්‍යාලයේ අළු විහාරපිටියේදී විසිරයෑමේ උත්සවය පැවැත්විණි.

මේ උත්සවයේදී ඇමැති විජිත හේරත් මහතා මෙසේද සඳහන් කළේය.

ඔබේ ජීවිතය නැවත ආරම්භ කරන දිනය විවිධ දුෂ්කරතාවන් විවිධ පීඩා මැද තමයි ඔබව අද පොලිස් නිලධාරියෙක් බවට පත් කරන්න ඔවුන් ඇප කැප වුණේ. ඔබට අද පැවරී තිබෙන්නේ ඉතාම භාරදූර වගකීමක්. ජනතාව පැත්තෙන් පොලිසියට ඇඟිල්ල දික් කරනවා. පොලිසියේ අඩුපාඩු කියන තත්ත්වයකට පොලිසිය පත්වුණේ පොලිස් නිලධාරීන්ගේ වැරැද්දක් නිසාම නෙවෙයි. කාලයක් පොලිසියේ, අපේ රටේ පැවතුණු වැරදි ආර්ථික, දේශපාලන, සංස්කෘතිය නිසා. ඒ වෙනස් කිරීමේ වගකීම අප කාගේත් උරමත පැවරිලා තිබෙනවා. අපි කාටත් අවශ්‍ය කරන්නේ මේ රටේ නීතිය හා සාමය ආරක්ෂා කරන්න. නීතිය හා සාමය ආරක්ෂා කිරීමේදී දේශපාලන බලපෑම්වලින් තොරව රාජකාරිය කිරීම ඔබේ වගකීමක්. එය ඉටු කිරීමට ධෛර්යයක් ඔබට තිබිය යුතුයි. ඔබ හැම වෙලාවෙම බැඳිලා ඉන්නේ ඉහළ නිලධාරියකු දෙන නීත්‍යනුකූල විධාන පිළිපදින්න පමණයි. මා නැවත අවධාරණය කරනවා ඔබ බැඳී සිටින්නේ ඔබේ ඉහළ නිලධාරීන් ලබා දෙන නීත්‍යනුකූල විධාන පිළිපදින්න පමණයි. නිලධාරියෙක් යම්කිසි නීත්‍යනූකූල නොවන විධානයක් ලබාදෙන්නේ නම් ඔබට ශක්තියක් තිබිය යුතුයි ඔබට ධෛර්යයක් තිබිය යුතුයි එය වැරදි නියෝගයක් බවට පෙන්වාදීමට. ඒකට කිසිසේත් පැකිලෙන්න එපා. එහෙම වුණොත් පමණයි අපට මේ පොලිසිය නීතිගරුක, විනයගරුක පොලිසියක් ලෙස ගොඩනැඟීමට පුළුවන් වෙන්නේ. දේශපාලන අධිකාරිය විදියට අපිට අවශ්‍ය සියලු මැදිහත්වීම් පහසුකම් අවශ්‍ය කරන නෛතික ප්‍රතිපාදන ලබාදීමට සූදානම්. ඔබට බය නැතිව ඔබේ හෘද සාක්ෂියට එකඟව ඔබට රාජකාරිය කරන්න. අලුත් දේශපාලන ක්‍රමය ඇතුළේ මන්ත්‍රීවරයෙක්, ඇමැතිවරයෙක්, ජනාධිපතිවරයෙක් ඔබට අනීතික නියෝග දෙන්නේ නෑ. අනීතික දේවල් කරන්න බලපෑම් කරන්නේ නෑ. ඒ නිසා ඔබටත් වගකීමක් තිබෙනවා එවැනි තත්ත්වයක් තුළ නිවැරදිව රාජකාරිය කරන්න. ජනතාව බලාපොරොත්තු වෙන්නේ මිත්‍රශීලී පොලිසියක්.

ගල්පාත චන්දන ජයලාල් කළුතර මධ්‍යම සමූහ – සුනිල් ස්ටැන්ලි, කළුතර මධ්‍යම විශේෂ

නවතම පුවත්

Image

Stats

There are 35131 listings, 1280 categories and 92 owners in our website