බදාදා, 16 ඔක්තෝබර් 2024 11:26

මහජන ධනය සාංඝික දේපළක් : වංචාවට හෝ දූෂණයට කිසිවකුට අයිතියක් නෑ – ජනපති අනුර බලශක්ති අමාත්‍යාංශයේ දී කියයි Featured

මහජන ධනය සුරැකීමට ජනපතිට මෙන්ම සියලු රාජ්‍ය නිලධාරීන්ටත් වගකීමක් තිබෙනවා

මහජන ධනය සුරැකීමට ජනාධිපතිවරයාට මෙන්ම සියලු රාජ්‍ය නිලධාරීන්ටත් වගකීමක් තිබෙන බවත් පුරවැසියන් තෘප්තිමත් වන රාජ්‍ය සේවයක් වෙනුවෙන් කටයුතු කළ යුතු යැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා බලශක්ති අමාත්‍යාංශයේ දී ඊයේ (15 දා) පෙරවරුවේ පැවැති ප්‍රගති සමාලෝචන සාකච්ඡාවට එක්වෙමින් කීය.

අනෙකුත් රටවල බලශක්ති ක්ෂේත්‍රයට ඉහළ ස්ථානයක් ලැබී තිබෙන ආකාරයෙන්ම ශ්‍රී ලංකාව තුළද බලශක්ති ක්ෂේත්‍රයට ප්‍රමුඛ ස්ථානයක් ලබා දී ඇති බව පෙන්වා දුන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා බලශක්ති අමාත්‍යාංශය යනු මූල්‍ය ඉපයීම් සිදුවන අමාත්‍යාංශයක් බවත් ඉහළ ඉපයීමක් තිබෙන විට අක්‍රමිකතා සිදු විය හැකි බවට සමාජයේ කතිකාවක් තිබෙන බවත් සඳහන් කළේය.

මෙවර ජනාධිපතිවරණයේ දී ජනතාව අපේක්ෂා සහගතව සිය මනාපය භාවිතා කර තිබෙන බවත් එම ජනවරමට වගවීමට තමන් බැඳී සිටින බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

පැරණි දේශපාලන සංස්කෘතියට තිබෙන විරෝධතාව, පුරවැසියා මුහුණදෙන ආර්ථික ගැටලු හා රාජ්‍ය සේවයේ කාර්යභාරය පිළිබඳ පුරවැසියාගේ අතෘප්තිමත්භාවය ආදී හේතු නිසා පුරවැසියා නව දේශපාලන සම්ප්‍රදායක් කෙරෙහි විශ්වාසය තබා ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පෙන්වා දුන්නේය.

රටේ ආර්ථිකය බිඳ වැටීම පිටුපස වංචාව දූෂණය හා නාස්තිය තිබූ බව ජනතාව විශ්වාස කරන බවත් එය වැළැක්වීම සඳහා මෙවර ජනවරම ලබා දී ඇති බවත් පැවසූ ජනාධිපතිවරයා රාජ්‍ය දේහය පුරා පැතිර පවතින වංචා දූෂණ නැවැත්වීම සඳහා ජනතාව තැබූ විශ්වාසය තමන් රකින අතර, රාජ්‍ය සේවකයින්ද තමන්ගේ වගකීම නිසි අයුරින් ඉටු කිරීමට කැපවන ලෙස රාජ්‍ය සේවකයින්ගෙන් ඉල්ලා සිටියේය.

මහජන ධනය සාංඝික දේපළක් හා සමානව සුරැකිය යුතු බවත් එම ධනය වංචාවට හෝ දූෂණයට ලක් කිරීමට කිසිදු අයෙකුට යුක්ති සහගත අයිතියක් නොමැති බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

පුරවැසියා තෘප්තිමත් කිරීම සඳහා ඵලදායි හා කාර්යක්ෂම රාජ්‍ය සේවාවක් නිර්මාණය කිරීමට වත්මන් රාජ්‍ය සේවකයාගේ කැපවීම අත්‍යවශ්‍ය බවද ඒ සඳහා ගත යුතු සෑම පියවරක්ම ගැනීමට තමා කටයුතු කරන බවද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

මෙවර ජනවරමේ සංයුතිය, අරමුණ හා අපේක්ෂාවන් ඉටු කරගැනීම සඳහා රාජ්‍ය සේවකයා වගකීමෙන් හා වගවීමෙන් කටයුතු කළ යුතු බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ඊට අදාළ දේශපාලන නායකත්වය තම කණ්ඩායම ලබාදීමට සූදානම් බවත් කියා සිටියේය.

රාජකාරී සීමාව තුළ රාජ්‍ය සේවකයා ගනු ලබන ජනතා හිතවාදී සෑම කටයුත්තක් වෙනුවෙන්ම තමන් පෙනී සිටින බවත්, නොකළ යුතු දේ සිදු කළහොත් ඊට අදාළ ක්‍රියා මාර්ග ගැනීමට නොපැකිළෙන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් සදහන් කළේය.

බලශක්ති ක්ෂේත්‍රයේ දැනට ක්‍රියාත්මක වෙමින් පවතින සහ ඉදිරි වසර කිහිපය තුළ ක්‍රියාත්මක කිරීමට නියමිත ව්‍යාපෘති පිළිබඳ සවිස්තාරත්මක හා දීර්ඝ සමාලෝචනයක් මෙහිදී සිදු කෙරිණි.

ඉදිරි වසර තුන තුළ බලශක්ති ක්ෂේත්‍රයේ ඉලක්ක සපුරා ගන්නා ආකාරය පිළිබඳව මෙන්ම ජනතාවට ලබාදිය හැකි කෙටි සහ දිගුකාලීන සහන පිළිබඳව ද මෙහිදී වැඩිදුරටත් සාකච්ඡා කෙරිණි.

බලශක්ති අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය උදයංග හේමපාල, විදුලිබල මණ්ඩලයේ සභාපති ආචාර්ය තිලක් සියඹලාපිටිය, ලංකා විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී ඉංජිනේරු කේ. ජී. ආර්. එෆ්. කොමෙස්ටර්, ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සහ ඛනිජ තෙල් තොග පර්යන්ත සමාගමේ සභාපති ජනක රාජකරුණා යන මහත්වරු ඇතුළු බලශක්ති අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

DVN

 

නවතම පුවත්

Image

Stats

There are 35131 listings, 1280 categories and 92 owners in our website