සිකුරාදා, 18 ඔක්තෝබර් 2024 10:44

සුනාමි නිවාස 500ක් වසර 14කට පසු ජනතා අයිතියට Featured

සුනාමි ව්‍යසනය හේතුවෙන් නිවාස අහිමිව අවතැන්වූ පවුල් 500ක් වෙනුවෙන් අම්පාර නොරොච්චෝල ප්‍රදේශයේ ඉදිකරන ලද නිවාස 500ක් වසර 14කට පසුව ප්‍රතිලාභීන් වෙත පවරාදීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තීරණය කර තිබේ.

පසුගිය 2009 වසරේදී සවුදි අරාබියානු රජයේ ආධාර මත ක්‍රියාත්මක කරන ලද මෙම නිවාස ව්‍යාපෘතිය මෙතෙක් ප්‍රතිලාභීන් වෙත භාර දීමට කටයුතු කර නැති අතර පසුගියදා ශ්‍රී ලංකාවේ සවුදි අරාබියානු තානාපති කාලිඩ් හමූඩ් අල් කටානි සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහත්වරු අතර පැවති සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස කඩිනමින් එම නිවාස ජනතාව වෙත පවරා දීමට තීරණය කෙරිණි.

පසුගිය 2011 වසරේ ජූනි මාසයේදී මෙම නිවාස ව්‍යාපෘතිය අවසන් කර තිබෙන අතර එවකට ශ්‍රී ලංකාවේ සවුදි අරාබියානු තානාපති අබ්දුල් අසීස් අල් ජම්මාස් මහතා විසින් එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත මෙම නිවාස ව්‍යාපෘතිය නිල වශයෙන් භාර දී තිබෙන නමුත් අධිකරණ තීන්දුවකට අනුව එය ප්‍රතිලාභීන් වෙත භාරදීම අත්හිටුවා තිබෙන බව ද ශ්‍රී ලංකාවේ සවුදි අරාබියානු තානාපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසීය.

නිවාස 500කින් සමන්විත මෙම ව්‍යාපෘතියට පාසලක්, සුපිරි වෙළෙඳ සංකීර්ණයක්, රෝහලක්, පල්ලියක් ඇතුළු අංග රැසක් අයත් වන අතර සමස්තයක් වශයෙන් ගත් කල එය ගම්මානයක් බව ද මෙය කඩිනමින් ප්‍රතිලාභීන් වෙත බෙදාදීම සවුදි අරාබියාවේ අපේක්ෂාව බව ද එම ප්‍රකාශකයා සඳහන් කළේය. අදාළ අධිකරණ තීන්දුවෙන් පසුව මේ දක්වා විවිධ ආණ්ඩු සහ විවිධ රාජ්‍ය නායකයන් සමඟ මේ පිළිබඳ සාකච්ඡා කළ අතර පසුගියදා සවුදි අරාබියානු තානාපතිවරයා සහ ජනාධිපතිවරයා අතර පැවැති සාකච්ඡාවේදී මෙම නිවාස ව්‍යාපෘතිය පිළිබඳ දැනුවත් කිරීමෙන් අනතුරුව එය කඩිනමින් ප්‍රතිලාභීන් වෙත බෙදාදීමට තීරණය කළ බව ද සවුදි අරාබියානු තානාපති කාර්යාලය කියයි.

සවුදි අරාබි රජයේ ආධාර ඇතිව ඉදිකරන ලද නිවාස පන්සීයේ ව්‍යාපෘතිය වල්බිහිවෙමින් පවතින බවට ප්‍රදේශයේ ජනතාව මැසිවිලි නඟන අතර එම නිවාස හැකි ඉක්මනින් ජනතා අයිතියට පත්කරන ලෙස දීඝවාපි පුරාණ රාජමහා විහාරාධිපති ශාස්ත්‍රවේදී මහඔය සෝභිත හිමියෝ රජයෙන් ඉල්ලීමක් කළහ.

මහින්ද අලුත්ගෙදර

නවතම පුවත්

Image

Stats

There are 35133 listings, 1280 categories and 92 owners in our website