ඒ මහතා මේ බව සඳහන් කර සිටියේ පිවිතුරු හෙළ උරුමය පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.
එහිදී පිවිතුරු හෙළ උරුමයේ නායකයා වැඩිදුරටත් මෙසේ අදහස් දැක්වීය.
ණය ගැනීම විසඳුම නොවේ
ඊයේ ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් අයිඑම්එෆ් ණය මේ මාසයේ ලැබෙන බවට ආඩම්බරයෙන් ප්‍රකාශ කළා. එතුමාගේ කතාවට හොඳින් සවන් දුන්නු අයෙකුට තේරෙන්නේ ආණ්ඩුව වැරදි පාරේ යන බවයි. ආණ්ඩුව යන පාර වැරදියි කියලා සිතන අයට විකල්පය මොකක්දැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා සිටියා. අපි දැන් සෑහෙන කාලෙක සිට විකල්පය කියනවා. එතුමන්ට ඇහෙන් නැති එකයි ප්‍රශ්ණය. අපි සූදානම් එතුමා යන ගමන වැරදි වන්නේ ඇයි කියන එකත් ඊට පසු හරි පාර මොකක්ද කියන එකත් කියා දෙන්න.
ආණ්ඩුවේ උපාය මොකක්ද? මුලින්ම ණය ආපසු ගෙවීමේ සහන කාලයක් ණයහිමියන්ගෙන් ලබා ගන්නවා. ඊට පස්සේ ණය ආපසු ගෙවීම ප්‍රතිව්‍යුහගත කරනවා. ඊ ලඟට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඩොලර් බිලියන 2.9ක් ලබා ගෙන සංචිත වැඩි කර ගන්නවා. දැන් ඔන්න අපි බංකොලොත් භාවයෙන් මිදිලා. ඊ ලඟට? මේ බංකොලොත් භාවයෙන් මිදීම ප්‍රයෝජනයට අරගෙන වැඩි වුණු සංචිත පෙන්වමින් ණය පිට ණය අරන් නැවතත් රට ණය උගුලක සිර කිරීමයි.
ඉදිරි වසර තුනට ලබා ගන්න දැනට සැලසුම් කරලා තිබෙන ණය බැලුවොත් මූල්‍ය අරමුදලෙන් බි 2.9යි. ලෝක බැංකුවෙන් බි 1.5යි ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් බිලියනයයි. බැඳුම්කර නිකුතුවෙන් ඩොලර් බිලියන 2යි. ඔක්කොම ඩොලර් බිලියන 7.4යි. මේ හැම ශතයක්ම පොලිය සමග ආපසු ගෙවන්න ඕනෑ. ඒ අතරේ 2025 සිට දැනට නතර කරලා තිබෙන ණය ආපසු ගෙවීම පටන් ගන්න ඕනි. ඒ කියන්නේ තවත් වසර පහකින් මීට වඩා දැවැන්ත ආර්ථික අර්බූදයක මේ රට යළි සිර වෙනවා කියන එකයි. අපි මේ හදන්නනේ අපි සිර වුණු අර්බූදයට වඩා ලොකු අර්බූදයක ඊ ලඟ පරම්පරාව හිර කරලා අපි තාවකාලිකව ගොඩ යන්නයි.
තව වසර පහකින් මම බලයේ නෑනෙ කියා ජනාධිපතිතුමා නම් හිතනවා ඇති. 2015-2019 යුගයේ වත්මන් ජනාධිපතිතුමා අගමැති ධූරයේ සිට ලබාගත් දැවැන්ත ණය තොගයෙන් හදපු බෝම්බය තමයි ගෝඨාභය ජනාධිපතිතුමා අතේ පත්තු වුණේ. මේ හදන්නේ ඊ ලඟ ජනාධිපතිටත් ඒ වගේම බෝම්බයක් හදලා තියලා දේශපාලනයෙන් සමු ගන්නයි.
අපි ආර්ථික අර්බූදයක සිර වුණේ ණය ගැනීම නිසා නම් විසඳුම තව දුරටත් ණය ගැනීම වෙන්නේ කොහොමද? හේතුව සහ විසඳුම දෙකම එකක් වෙන්න බැහැ. ඒක හරියට සීනි වැඩිපුර කාලා දියවැඩියාව හැදුනු කෙනෙකුට බෙහෙත් විධියටත් සීනිම දුන්නා වගේ වැඩක්නෙ.
අර්බූදයට විසඳුම දේශීය ආර්ථිකය සවිමත් කිරීමයි
අපි සාමාන්‍යයෙන් වසරකට භාණ්ඩ ආනයනය සඳහා ඩොලර් බිලියන 22ක් වැය කරනවා. ඒ වගේම අපනයන වලින් ඩොලර් බිලියන 12ක් ශ්‍රමික ප්‍රේෂණ වලින් ඩොලර් බිලියන 7ක් සංචාරකයින්ගෙන් ඩොලර් බිලියන 4ක් වශයෙන් ඩොලර් බිලියන 23ක් සොයා ගන්නවා. ඒ කියන්නේ ඩොලර් බිලියන 1ක් වැඩිපුරත් තිබෙනවා. අපට ප්‍රශ්නය තිබෙන්නේ සෑම වසරකම ඩොලර් බිලියන 5ක් ණය ගෙවන්න ඕනෑ. ඒකට ඩොලර් නෑ. ඉතින් අපේ අර්බූදය විසඳෙන්නේ ගෙවන ණය ප්‍රමාණය අඩු කලොත් ද? වැඩි කලොත්ද? ජනාධිපතිතුමා හිතන්නේ ණය තව වැඩි කර ගන්න ඕනෑ කියලා. නමුත් ණය වැඩි වුණාම ප්‍රශ්නය උග්‍ර වෙනවා. ඒ වගේම ගත්ත ණය නොගෙවා ඉන්න බෑ. එහෙම නම් කරන්න තිබෙන්නේ අපනයන වැඩි කරන එකයි. එය ක්ෂණිකව කරන්න බෑ. අපනයන වැඩි වන තුරු ආනයන අඩු කරන එකයි. ඒකට හදන්න පුළුවන් හැමදේම මේ රටේ හදන්න ඕනි. වවන්න පුළුවන් හැමදේම මේ රටේ වවන්න ඕනෑ. සිරිලක දේ සිරි සැප දේ කියලා අපේ රටේ නිෂ්පාදන මිල දී ගන්න ජනතාව පොලොඹවන වැඩපිලිවෙලක් ආණ්ඩුවෙන් දියත් වෙන්න ඕනි. විශේෂ ප්‍රාගුණ්‍ය පිලිබඳ ආර්ථික විද්‍යාවේ න්‍යාය විදේශ විනිමය අර්බූදයක දී අදාල නෑ. මේ අර්බූදයෙන් ගොඩ එන්න කළ යුතු දේ පිලිබඳ පසුගිය වසරේ දී අපි ඇමති ධූර අහිමි කර ගනිමින් එළි දැක්වූ “මුළු රටම හරි මගට” වැඩපිලිවෙලේ තිබෙනවා. විකල්පය මොක්කද කියලා දන්නේ නැතිනම් ඒ වැඩපිලිවෙල අධ්‍යනය කරන්න කියා අපි ජනාධිපතිතුමාට ආරාධනා කරනවා.
ප්‍රශ්න සහ පිළිතුරු
ප්‍රශ්නය
මැතිවරණය පවත්වයි ද ?
පිළිතුර
මැතිවරණය පැවැත්විය යුතුයි. සාමාන්‍යයෙන් බදාදා දිනයේ පැවැත්වෙන ජාතික ආරක්ෂක සභාව හදිසියේ ම අඟහරුවාදා උදයට ගෙන ඒමේ එකම අරමුණයි තිබ්බේ. ඒ භාණ්ඩාගාර ලේකම්වරයා මැතිවරණ කොමිසමේ රැස්වීමට සහභාගි වීම වැළැක්වීමේ ජනාධිපතිතුමන්ගේ උපායයි. ආණ්ඩුව මැතිවරණ භීතිකාව කියන මානසික රෝගයෙන් පෙළෙනවා. ඒ නිසා මැතිවරණය කල් දමන්න කළ හැකි හැම දේම කරනවා. නමුත් මේ හැංගිමුත්තන් සෙල්ලම හැමදාමත් කරන්න බැරි වෙනවා. භාණ්ඩාගාර ලේකම්වරයා මැතිවරණ කොමිසම වෙත මෙම මුදල් ලබාදෙන ආකාරය පැහැදිලි කළ යුතුයි.
ප්‍රශ්නය
රුපියල ශක්තිමත් වීම ඔබතුමා දකින්නේ කොහොමද ?
පිළිතුර
අපේ රුපියල දුර්වල උනේ ආර්ථික විකෘතියක් නිසා. පසුගිය කාලයේ ගත්ත වැරදි තීන්දු නිසා විදේශ විනිමය කළු වෙළෙඳපොළ හැදුනා. අපට ලැබුණු තොරතුරු වලට අනුව පසුගිය ආණ්ඩුවේ ඇතැම් ඇමැතිවරු මුදල් අමාත්‍යවරයාගේ ආශිර්වාදයෙන් මේ කළු සල්ලි වෙළඳපොලෙන් ලාභ ලබන තැනක හිටියා. “මමත් කළු වෙළෙඳපොළේ ඩොලර් ගන්නවා ඕක මහ දෙයක් නෙවෙයි” කියමින් කළු වෙළෙඳපොළ ආරක්ෂා කරමින් කතා කරපු ලෝකයේ එකම මුදල් අමාත්‍යවරයා බැසිල් රාජපක්ෂ.
ඔවුන් තමන්ගේ පෞද්ගලික ලාභ ප්‍රයෝජන වෙනුවෙන් කළු වෙළෙඳපොළ සකසා තිබුණා. ඒ නිසා කළු වෙළෙඳපොළ හරහා ගනුදෙනු කරන්න ජනතාව පුරුදු වුණා. අපේ රටට ඩොලර් නොපැමිණියේ මේ කළු වෙළෙඳපොළ නිසා. ඒ නිසා තමයි කෘතිම ආකාරයට රුපියල 378 දක්වා පිරිහීමට ලක් වුණේ. ක්ෂණිකව රුපියල් ශක්තිමත් වීමට බලපෑවේ IFC (International Finance Corporation ) එක ලංකාවේ බැංකු 3කට ලබාදුන්න ණය නිසා බැංකු අතර විදේශ විනිමය හුවමාරු වෙළඳපොළට මුදල් ලැබීමයි. නමුත් රුපියල කොහොමත් ක්‍රමානුකූලව ශක්තිමත් වෙමිනුයි තිබුණේ. මොකද කළු වෙළදපොළ හරහා ගනුදෙනු කරපු අය බැංකු හරහා ගනුදෙනු කරන්න පෙළබෙමින් සිටියා. සංචාරකයන් අපනයනකරුවන් විදෙස් ගත ශ්‍රමිකයන් කියන මේ තුන් ගොල්ලොම කළු වෙළඳපොළෙන් බැංකු පද්ධතිය වෙත මාරු වෙමින් ඉන්නවා. එහි ප්‍රතිඵලයක් විදියට රුපියල ශක්තිමත් වෙමින් පවතිනවා. එහි ප්‍රතිඵලයක් විදිහට රුපියල තවදුරටත් ශක්තිමත් වනු ඇති බවයි අපේ බලාපොරොත්තුව.
මෙම මාධ්‍ය හමුව සඳහා කොළඹ නාගරික මන්ත්‍රීනී සුමිත්‍ර ලතා මහත්මිය සහ පිවිතුරු හෙළ උරුමය මැද කොළඹ සංවිධායක මේනක නෙරංජන් මහතාද සහභාගී විය.
– මාධ්‍ය ඒකකය