සෙනසුරාදා, 11 පෙබරවාරි 2023 12:34

අධ්‍යාපනය ෆෙඩරල්කරණය කිරීමේ වැඩපිළිවෙළක්… Featured

13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පූර්ණ ලෙස බලාත්මක කිරීමේ උත්සාහයක නිරතව සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා සිදු කළ සිය රාජාසන කතාවෙන් අධ්‍යාපන ක්ෂේත්‍රයේ පළාත් සභා බලතල වැඩි කරන බවට කළ ඉඟිය, භයානක අනතුරක පෙරනිමිත්තක් බව ජාතික ගුරු ව්‍යාපාරය පෙන්වා දෙයි

පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවැති ජාතික ගුරු ව්‍යාපාරයේ මාධ්‍ය හමුවකදී එහි ප්‍රධාන ලේකම් ඉන්දික කළුආරච්චි මහතා එසේ පෙන්වා දුන්නේය
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද සඳහන් කළේය.

“ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය රාජාසන කතාවේදී ‘මධ්‍යම ආණ්ඩුවේ යම් යම් ක්‍රියා පිළිවෙත් හේතුවෙන් අධ්‍යාපන ක්ෂේත්‍රයේ පළාත් සභා බලතල අඩු වී ඇති බවට චෝදනා නැගෙනවා. මේ නිසා අධ්‍යාපන ක්ෂේත්‍රයේ පළාත් සභා බලතල ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය නව අණ පනත් ගෙන ඒමට බලාපොරොත්තු වෙනවා.’ යනුවෙන් පවසා තිබෙනවා. මෙහෙම කියන රනිල් වික්‍රමසිංහ මහත්තයාට උවමනා වෙලා තියෙන්නේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ තිබෙන ගැටළු ටික විසඳන්න ද? එහෙම නැතිනම් ඒවා 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පූර්ණ ලෙස බලාත්මක කිරීමට යොදාගැනීමට ද? යන්න අපි සලකා බලමු.

 

රනිල් – සම්බන්ධන් පොදු සිහිනය

 

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා කියනවා, ‘මම ගන්නේ ජනප්‍රිය තීරණ නොවෙයි’ කියලා. පළමුව කියන්න ඕනේ, ‘ඔබතුමා කොහොමත් ජනප්‍රිය නායකයෙක් නොවෙයි. ඔබතුමාගේ තීරණ ජනප්‍රිය නැහැ වගේම යථාර්ථවාදීත් නැහැ. ඉතිහාසය පුරා ඔබතුමාට බලය ලැබුණු හැම වෙලාවකම සේවය කළේ බෙදුම්වාදයට කියන එක.’ ඔබතුමා පෙබරවාරි 8 වැනිදා රාජාසන කතාවේදීත් ඒක නොකියා කියනවා, ‘1977දී පාර්ලිමේන්තුවට ආපු මටත් සම්බන්ධන් මහතාටත් එක පොදු හීනයක් තිබුණා’ යනුවෙන්. ඒ සිහිනය ‘මේ රට කෑලි කෑලිවලට බෙදා බෙදුම්වාදීන්ට වෙනම රටක් හදා දෙන එක’ බව අපි කවුරුත් දන්නවා. මේ ආර්ථික ආපදාව ඇති වී තිබෙන මොහොත කියන්නේ රනිල් – සම්බන්ධන් යන ‘වල පයයි – ගොඩ පයයි’ තියෙන අයගේ සිහින සැබෑ කර දෙන මොහොතක් නොවෙයි. මේ මොහොත කියන්නේ 43 ලක්ෂයක් වන මේ රටේ ශිෂ්‍ය ප්‍රජාවගේ සිහින සැබෑ කර දීමට කැප විය යුතු මොහොතක්.

 

බොර දියේ මාළු බෑම

රාජපක්ෂලා වතුර බොර කරලා, දුන්නා. දැන් රනිල් වික්‍රමසිංහ ඒ බොර දියේ මාළු බාන්න පටන් අරන් තියෙනවා. අධ්‍යාපන ක්ෂේත්‍රයේ තිබෙන ගැටළු විසඳන්න නම් පළාත් සභාවලට වැඩි බලතල දෙන්න ඕනේ කියලානෙ මේ කියන්නේ. මධ්‍යම ආණ්ඩුව හා පළාත් සභා යටතේ පසුගිය කාලයේ මේ රටේ පාසල් ක්‍රියාත්මක වුණා. මේ රටේ පාසල් පද්ධතියෙන් 9750ක් පළාත් පාසල්. 392 ජාතික පාසල්. මේවා පවත්වාගෙන යන්න ‘බලතල’ හරස් වුණේ නැහැ. නමුත් පසුගිය කාලය පුරාම පාසල් අධ්‍යාපනයට හරස් වුණේ මේ ආර්ථික ආපදාව. මේ ආර්ථික ආපදාව හේතුවෙන් ගුරුවරයා සහ ශිෂ්‍ය ප්‍රජාව මුහුණදෙන ගැටළු රැසක් තිබෙනවා.

 

පළාත් සභාවලට බලතල දුන්නාම…

ඉහත ගැටළු නිසාම අධ්‍යාපන ක්ෂේත්‍රයේ බිඳවැටීමක් ද ඇතිව තිබෙනවා. පසුගිය දිනවල ප්‍රවෘත්තියක් පළ වුණා ‘පාසල් වියේ පසුවන දරුවන් දාහතරදෙනකු සම්බාහන මධ්‍යස්ථානයකදී හමුවේ!’ කියා. මෙහෙම වෙන්නේ පළාත් සභාවට බලතල නොදුන්නු නිසා ද? සිසු දරුවන් උදේ රැස්වීම්වල ක්ලාන්ත වෙලා ඇදගෙන වැටෙනවා. ඒත් පළාත් සභාවලට බලතල නොදුන් නිසා ද? එක දිගට, දින පහම, පාසල් එන දරුවන් අඩුයි. සියයට තිහක් පමණ පාසල් එන්නෙම නැහැ. පාසල් උපකරණ නොමැතිකම, නිල ඇඳුම්, පාවහන්, පාසල් බෑග් ආදිය නොමැතිකම ඊට හේතුයි. පළාත් සභාවලට බලතල දුන්නාම මේවා ලැබෙනවා ද?

 

ගුරුවරයාත් හෙම්බත් වෙලා

පාසල් දරුවා පමණක් නොවෙයි, ගුරුවරයාත් මේ ආර්ථික පීඩනයෙන් හෙම්බත් වෙලා තිබෙනවා. අද ලක්ෂයකට වැඩි වැටුපකට උපයන විට ගෙවීමේ බද්ද අදාළ කිරීම නිසා පීඩාවට පත්වූ වෘත්තිකයන් ඇතුළු බොහෝ පිරිස් පාරට බැහැලා තිබෙනවා. ඒ විරෝධතාවට අපි හදවතින්ම එකඟයි. වෘත්තිකයන් පමණක් නොවෙයි නර්ස් නෝනලා, තැපැල් මහතුන් ආදී ලක්ෂයකට වඩා වැඩි වැටුපක් ගන්නා පිරිස් එතැන හිටියත් ගුරුවරුන් නැත්තෙ ඔවුන්ට එපමණ වැටුපක් නැති නිසයි. දැන් පළාත් සභාවට බලතල දුන්නාම ගුරුවරයාට ලැබෙන සොච්චම් වැටුප වැඩි වෙනවා ද? ඔහුගේ ආර්ථික පීඩනය අඩු වෙනවා ද?

 

දඹුලු ගිහින් තලගොයි මරන වැඩේ

දැන් මේ රනිල් වික්‍රමසිංහ මහත්තයා කරන්න හදන්නේ, දඹුලු ගිහින් තලගොයි මරන වැඩේ. ආර්ථික ආපදාව සමග අද මේ රටේ ආපදා අධිරාජ්‍යවාදී මෙහෙයුමක් ක්‍රියාත්මකයි. ඒ මෙහෙයුමේ රනිල් වික්‍රමසිංහගේ භූමිකාව තමයි ‘දහතුන්වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පූර්ණ වශයෙන් බලාත්මක කරලා, මේ රට කැබලිවලට බෙදලා දෙන එක.’ මේ රටේ නිදහස් අධ්‍යාපනය සැකසී තිබෙන්නේ ඒකීය ව්‍යුහයක් යටතේ. ඒකීය රාජ්‍යයේ අභිලාෂයන්ට පණ දෙන්න පුළුවන් මනසක් ඇති දරුවෙකු තමයි එමගින් බිහි කරන්නේ. බලන්න, මේ රටේ විභාග ක්‍රමය පවතින්නේ එක් විභාග කොමසාරිස් ජෙනරාල්වරයකු යටතේ. නමුත් පළාත් සභාවලට මේ බලය ලැබුණාම විභාග කොමසාරිස් ජනරාල්වරුන් නවදෙනකු උවමනා වෙනවා නේද? ඒ වගේම ප්‍රාදේශීය විභාග පැවැත්වීමේ බලය මධ්‍යම රජයේ විභාග කොමසාරිස් ජනරාල්වරයාට අහිමි වෙනවා නේද? අධ්‍යාපනය කියන්නේ රටේ ජාතික ආරක්ෂාව වගේම සංවේදී කාරණාවක්. ඒ විෂය කෑලි කෑලි කඩා ප්‍රශ්නවලට විසඳුම් හොයන්න බැහැ අධ්‍යාපන ක්ෂේත්‍රයේ ගැටළුවලට විසඳුම් දිය හැක්කේ මධ්‍යගත වැඩපිළිවෙළක් මගිනුයි.

 

අධ්‍යාපනය ෆෙඩරල්කරණය කිරීමේ වැඩපිළිවෙළක්’

13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පූර්ණ ලෙස බලාත්මක කිරීමේ රනිල් වික්‍රමසිංහගේ උවමනාව නිසයි, අධ්‍යාපනයටත් මේ විදියට අත තියන්නේ. එහෙම නැතුව අධ්‍යාපන ක්ෂේත්‍රයේ තිබෙන ඇත්ත ප්‍රශ්න ටික, ආර්ථික ආපදාව නිසා ගුරුවරුන්, සිසු දරුවන්, දෙමාපියන් මුහුණදෙන ප්‍රශ්න ටික විසඳන්න මේ වික්‍රමසිංහ ජනාධිපතිවරයාට කිසිදු වුවමනාවක් නැහැ. නිදහස් අධ්‍යාපනය වනසන ‘අධ්‍යාපන ධවල පත්‍රිකාව’ ගෙනාපු ඉතිහාසයක් තිබෙන ඔහු මෙතැනදීත් නිදහස් අධ්‍යාපනය වනසන ‘අධ්‍යාපනය ෆෙඩරල්කරණය කිරීමේ වැඩපිළිවෙළක්’ තමයි ක්‍රියාත්මක කරන්න හදන්නේ. මීට නිදහස් අධ්‍යාපනයේ පහස ලැබූ සියලුදෙනා පක්ෂ, පාට භේදවලින් තොරව එරෙහි විය යුතුයි.

 

සැබෑ ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තිය තබන්න අධ්‍යාපන විෂයෙහි බලතල පළාත් සභාවලට දීලා හරියන්නේ නැහැ. ඒ සඳහා ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියකට පණ දිය යුතුයි. මේ බෙදුම්වාදයට පණ දෙන, ශ්‍රී ලංකා රාජ්‍යය දුර්වල කරන ගමන නතර කිරීමට මේ රටේ නිදහස් අධ්‍යාපනය තුළින් ගොඩනැගුණු සියලු මිනිසුන් පෙළගැසිය යුතුයි. ඒ සඳහා ජාතික ගුරු ව්‍යාපාරය දිවිහිමියෙන් කැපවන බව ද මේ මොහොතේ අවධාරණය කරනවා.”

ජාතික ගුරු ව්‍යාපාරයේ භාණ්ඩාගාරික ධම්මික ලියනගේ, උප ලේකම් අරුණ දේශප්‍රිය, උප සභාපති ජානක ප්‍රියන්ත යන මහත්වරු ද මෙම මාධ්‍ය හමුවට එක්ව සිටියහ.

 

(අනුරුද්ධ බණ්ඩාර රණවාරණ)
මාධ්‍ය ලේකම්,
ජාතික නිදහස් පෙරමුණ

නවතම පුවත්

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website