සෙනසුරාදා, 25 මාර්තු 2023 12:27

IT රැකියා පෙන්නා පරිගණක අපරාධවලට යොමු කරන්න හැදූ තරුණයෝ පිරිසක් ලාඕසයෙන් මෙරටට Featured

වංචනික වැඩට අකැමැති වීම නිසා විශේෂ කලාපයක කොටු කර ඉඳලා

ලාඕසයේ පරිගණක ක්ෂේත්‍රයේ රැකියා දෙන බව පවසමින් පරිගණක අපරාධ සිදු කිරීමට යොදාගැනීමට එරටට රැගෙන ගිය ශ්‍රී ලාංකික තරුණයෝ 24 දෙනෙක් බේරාගෙන, කටුනායක ගුවන්තොටුපොළ වෙත ඊයේ (24) රැගෙන එනු ලැබූහ.

තමන්ට පැවරූ පරිගණක මූල්‍ය වංචා සිදු නොකිරීම නිසා එරට විශේෂ කලාපයක කොටු වී සිටියදී ඔවුන් බේරා ගෙන පැමිණ තිබිණි. මොවුන් හම්බන්තොට, ගාල්ල ඇතුළු දකුණු පළාත නියෝජනය කරන, පරිගණක පිළිබඳ වැඩිදුර අධ්‍යාපනය ලැබූ තරුණයෝ පිරිසකි.‍

ඔවුන් මීට මාස 4කට පමණ පෙර ලාඕසයේ ‘බොකියෝ‘ නගරයේ, චීනය විසින් පාලනය කරනු ලබන රන් ත්‍රිකෝණයේ, විශේෂ ආර්ථික කලාපයේ පරිගණක ක්ෂේත්‍රයේ රැකියා සඳහා ව්‍යාපාරික වීසා යටතේ, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි නොවී පිටත්ව ගොස් තිබේ.

එහිදී මේ කලාපයට ඇතුළු වත්ම ඔවුන්ගේ ගුවන් ගමන් බලපත්‍ර, ජංගම දුරකතන සහ අනෙකුත් වටිනා ලියකියවිලි සියල්ල මොවුන් රැගෙන ගිය සමාගම විසින් තම භාරයට ගෙන ඇත.

ඉන් පසු මේ විශේෂිත කලාපය තුළ පිහිටි සමාගමේ කාර්යාලය වෙත රැගෙන ගිය මෙම ශ්‍රී ලාංකිකයන් පිරිස වෙත, තම රැකියාවේ කාර්යභාරය ලෙස විවිධ ගිණුම් ක්‍රම භාවිතා කරමින්, මේ කලාපය තුළ ව්‍යාජ ලෙස විවිධ ආයෝජන අවස්ථා පවතින බව පෙන්වා දී තිබේ,

ඉන්පසු මේ පිළිබඳ උනන්දුවක් දක්වන්නන්ගෙන්, අන්තර්ජාලය ඔස්සේ මුදල් වංචනික ලබාගැනීමට කටයුතු කරන ලෙස දන්වා තිබේ. මේ කටයුත්ත ප්‍රතික්ෂේප කළ මෙම ශ්‍රී ලාංකික තරුණ පිරිසට, මෙම විශේෂ ආර්ථික කලාපයෙන් පිට වීමට, මේ සිදු වීම පිළිබඳව ශ්‍රී ලංකාවට හෝ බාහිර ලෝකය දැනුම්වත් කිරීමට අවස්ථාවක් නොදී සිරගත තත්ත්වයකට පත් කිරීමට එම සමාගම පියවර ගෙන තිබේ.

එහෙත් පරිගණක පිළිබඳ මනා නිපුණත්වයක් ඇති මෙම ශ්‍රී ලාංකික තරුණ පිරිස, මෙම බාධක මැඬලමින්, දැඩි ප්‍රයත්නයක් දරා මේ සියලු සිදු වීම් මාලාව ලොවට හෙළි කිරීමට පියවර ගෙන තිබිණි.

ලාඕස රාජ්‍යයේ ශ්‍රී ලංකාව නියෝජනය කරන තානාපති නිලධාරියකු නැති අතර, ඒ වෙනුවට ගරු දූත සේවා නිලධාරියකු වශයෙන් දමිත් අලුත්ගේ මහතා කටයුතු කරමින් සිටින අතර, ඔහු සහ ශ්‍රී ලංකාවේ ‘මගෙන් රටට‘ සිවිල් සංවිධානයේ සභාපති සංජය මහවත්ත මහතා එක්ව දැඩි ප්‍රයත්නයක් දරා, මේ තරුණ පිරිස මෙම කලාපයේ, එම සමාගමෙන් බේරා ගෙන, යළි ශ්‍රී ලංකාවට ගෙන ඒමට කටයුතු කර තිබිණි.

ඒ අනුව මේ තරුණ පිරිස ලාඕසයේ සිට තායිලන්තයේ බැංකොක් වෙත ගෙනැවිත්, එතැන් සිට ඊයේ (24) උදෑසන 10.20ට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්. 403 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබිණි.

කටුනායක - ටී.කේ.ජී. කපිල

නවතම පුවත්

 චිරං ජයතු

සැප්තැම්බර් 28 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website