සදුදා, 27 මාර්තු 2023 07:13

IMF වැඩසටහන ක්‍රියා වට නැංවීමෙන් 2026 වන විට ස්ථාවර ආර්ථි කයක් - හාවඩ් විශ්වවිද්‍යාලය හමුවේ - ජනපති රනිල් කියයි Featured

2026 වන විට රටේ ආදායම ද.දේ.නි.යෙන් 15% දක්වා ඉහළ නැංවීමට අපේක්ෂා කරනවා

අපට හිමි වූ ඩොලර් බිලියන 3ට වඩා IMF ආධාරයේ වටිනාකම බෙහෙවින් වැඩියි

පරිසර හිතකාමි නීල හරිත ආර්ථිකයක් සහ ඩිජිටල්ගත නව ආර්ථික ආකෘතියක් අවශ්‍යයි

 ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අනුමත කළ වසර හතරක වැඩසටහන මේ වසරේ සිට ක්‍රියාත්මක කිරීම මඟින් 2026 වන විට රටේ ආර්ථිකය ස්ථාවර කර ගැනීමට අපේක්ෂිත බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ හාවඩ් විශ්වවිද්‍යාලය විසින් සංවිධානය කරන ලද සම්මුඛ සාකච්ඡාවකට පසුගිය 24 දා සූම් තාක්ෂණය ඔස්සේ එක් වෙමිනි.

මේ වැඩසටහන මඟින් 2026 වන විට ශ්‍රී ලංකාවේ ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් 15% දක්වා ඉහළ නැංවීම, ණය කළමනාකරණය වැඩිදියුණු කිරීම සහ රාජ්‍ය වියදම් පාලනය කිරීම සිදු කෙරෙන අතරතුර අධ්‍යාපනය සහ සෞඛ්‍ය සේවා සඳහා අවශ්‍ය මූල්‍ය සම්පත් මෙන්ම සමාජ ආරක්ෂණ ජාලය පුළුල් කිරීමටත්, මිල ස්ථායීතාව ප්‍රතිෂ්ඨාපනය කිරීමටත් ඉඩ සැලසෙන බවත් ජනාධිපතිවරයා අවධාරණය කළේය.

මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය.

“ශ්‍රී ලංකාවේ සිදු වෙමින් පවතින දේ පිළිබඳ පර්යේෂකයන් වන ඔබ සමඟ සංවාදයට එක් වන ලෙස මට ආරාධනා කිරීම පිළිබඳ මා මහාචාර්ය තරුන් ඛන්නාට සහ මහාචාර්ය අසිම් කව්ජාට ස්තුතිවන්ත විය යුතුයි. ලක්ෂ්මි මිට්ටල් සහ ෆැමිලි සවුත් ඒෂියා ආයතනය, ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ ඔබේ මධ්‍යස්ථානයේ සහාය ඇතිව දකුණු ආසියාව කෙරෙහි අවධානය යොමු කර තිබෙන බව මෙහිදී සඳහන් කෙරුණා.

“ශ්‍රී ලංකාවේ ජනාධිපති ලෙස මා වැඩ භාර ගන්නා අවස්ථාව වන විට දරුණුතම ආර්ථික හා දේශපාලන අර්බුදයකට රට තල්ලු වී තිබුණා. ඔබ කී පරිදි, දරිද්‍රතාව ජනගහනයෙන් සියයට විසිපහක් දක්වා දෙගුණ වී තිබූ අතර, ලක්ෂ පහකට පමණ රැකියා අහිමි වී තිබුණා. දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස දේශීය ආදායම 2018දී 12.5 සිට 2022දී 8.2 දක්වා පහත වැටී තිබුණා. ණය සේවා, වැටුප් සහ සමාජ ආරක්ෂණය යන අත්‍යවශ්‍ය අවශ්‍යතා සපුරාලීමට එය ප්‍රමාණවත් වුණේ නැහැ. රාජ්‍ය ණය දළ දේශීය නිෂ්පාදිතයෙන් 11% දක්වා වැඩි වුණා. ශ්‍රී ලංකාව මෙලෙස ආර්ථික විනාශයේ ආගාධය කරා ගමන් කරන විට රට තුළ අවුල් වියවුල් ඇති වුණා. මා රට භාර ගන්නා විට අපේ විදේශ සංචිත පහළ බැස තිබුණා. භාණ්ඩාගාරයේ මුදල් තිබුණේ නැහැ. මා හැමදාම උදේ කාර්යාලයට ගිහින් නිලධාරීන් මුණගැහිලා අපට අමතර රු. මිලියන 100ක් මිලියන 200ක් හොයාගන්න පුළුවන් තැනක් බලනවා. අපට විදේශ සංචිත නොතිබූ දින කිහිපයකුත් තිබුණා. එබැවින් මගේ පළමු කාර්යය වූයේ IMF සමඟ කාර්යමණ්ඩල මට්ටමේ ගිවිසුමකට එළඹීමයි. එයට මිල ගැළපීම් අවශ්‍ය වුණා. එය අසීරු කාර්යයක් වුවත් වෙනත් විකල්පයක් තිබුණේ නැහැ.

“ඉන් පසුව 2023 මාර්තු 20 දින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් විස්තීරණ ණය පහසුකම සදහා අනුමැතිය දුන්නා. එය 2023 සිට 2026 දක්වා මූල්‍ය ඒකාග්‍රතාවයේ සිව් අවුරුදු වැඩසටහනක් බව සඳහන් කළ යුතුයි. එමෙන්ම එම වැඩසටහන මඟින් ශ්‍රී ලංකා ආර්ථිකයේ ද්විත්ව අසමතුලිතතා, මූල්‍ය හිඟය සහ ගෙවුම් ශේෂ හිඟයටද විසඳුම් දෙනු ලබනවා. සාර්ව ආර්ථික ස්ථාවරත්වය සහ ණය ප්‍රතිව්‍යූහගත කිරීම ප්‍රතිෂ්ඨාපනය කිරීම, ආර්ථික ස්ථිරසාරත්වය ළඟා කර ගැනීම අරමුණු කරගත් වැඩපිළිවෙළකට අප එකඟ වුණා. මේ වැඩසටහන මඟින් 2026 වන විට ශ්‍රී ලංකාවේ ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් 15% දක්වා ඉහළ නැංවීම, ණය කළමනාකරණය වැඩිදියුණු කිරීම සහ රාජ්‍ය වියදම් පාලනය කිරීම සිදු කෙරෙනවා. එමෙන්ම මෙමඟින් අධ්‍යාපනය සහ සෞඛ්‍ය සේවා සඳහා අවශ්‍ය මූල්‍ය සම්පත් මෙන්ම සමාජ ආරක්ෂණ ජාලය පුළුල් කිරීමට සහ මිල ස්ථායිතාව ප්‍රතිෂ්ඨාපනය කිරීමට ඉඩ සැලසෙනවා. මේ පහසුකමෙන් අපට හිමි වූ ඩොලර් බිලියන 3ට වඩා, IMF ආධාරයේ වටිනාකම බෙහෙවින් වැඩි බව කිව යුතුයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන සමඟ ඇති කරගෙන තිබෙන විශ්වාසය, සංවර්ධන හවුල්කරුවන්ගෙන් සහ පොදුවේ ගෝලීය වෙළෙඳපොළේ මූල්‍ය ප්‍රභවයන් වෙත ප්‍රවේශවීමට උපකාරී වෙනවා. ශ්‍රී ලංකාවේ විදේශ සංචිතය ගොඩනැඟීම සඳහා එවැනි මූල්‍යකරණයක් අත්‍යවශ්‍යයි.

“අපගේ අයවැයේ බාහිර මූල්‍යකරණය ප්‍රතිෂ්ඨාපනය කිරීමෙන් මහ බැංකුවේ මුදල් මූල්‍යකරණයේ අවශ්‍යතාව අඩු වෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පහසුකම සඳහා සාකච්ඡා කිරීමට සමගාමීව, ශ්‍රී ලංකාව සිය ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ ප්‍රයත්නයක්ද ආරම්භ කර තිබෙනවා. ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ ක්‍රම පිළිබඳ ණය හිමියන් සමඟ නිවැරදි සාකච්ඡා දැන් ආරම්භ කර තිබෙන අතර, ණය ප්‍රතිසංවිධානය කිරීමේදී ශ්‍රී ලංකාව සිය මූල්‍ය පද්ධතියේ ස්ථාවරත්වය සහ අඛණ්ඩතාව ශක්තිමත්ව සහ බාධාවකින් තොරව පවතින බව සහතික කරනු ඇතියි. මේ සියලු පියවර ගැනීමෙන් පසු 2026 වන විට රටේ ආර්ථිකය ස්ථාවර කරගත හැකි වනු ඇතැයි අප අපේක්ෂා කරනවා. කෙසේ වෙතත්, මෙය පමණක් ප්‍රමාණවත් වන්‌නේ නැහැ. වේගයෙන් වෙනස් වන ගෝලීය ආර්ථික අවස්ථා සහ හැකියා ප්‍රයෝජනයට ගැනීමට අපට නොහැකි වීම නිසා පසුගිය දශක කිහිපය තුළ ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය මඟ හැරී ගොස් තිබෙනවා.

“එසේ නම් මේ වැඩසහන ඉතා තීරණාත්මක එකක්. වර්තමාන ව්‍යූහාත්මක ප්‍රතිසංස්කරණ තරගකාරිත්වය වැඩි කිරීම, වෙළෙඳ ලිබරල්කරණය ප්‍රවර්ධනය, පෞද්ගලික ආයෝජන සඳහා ඇති බාධා ඉවත් කිරීම, ශ්‍රී ලංකාවේ වර්ධන විභවයන් මුදා හැරීම,දේශගුණික විපර්යාස වැඩසටහන ක්‍රියාත්මක කිරීම යන කටයුතු මඟින් ශ්‍රී ලංකාව ඉහළ වර්ධන මාවතකට ගෙන එනු ඇතැයි අප බලාපොරොත්තු වෙනවා. මේ ප්‍රතිසංස්කරණවල සාර්ථකත්වය සහ තිරසරභාවය රඳා පවතින්නේ රටේ ප්‍රධාන ජනවාර්ගික කණ්ඩායම් අතර සංහිඳියාව සඳහා ඇති කැපවීම මතයි. එම අවශ්‍යතාව ආමන්ත්‍රණය කරන නව දේශපාලන රාමුවක් තුළින් සියලු ජනකොටස් එක්ව කටයුතු කරන ශ්‍රී ලංකාවක් ගොඩනැඟීමේ මාවත විවර කරන බව මගේ විශ්වාසයයි.

“රටේ සියලු ජන කොටස් මුහුණ දි සිටින ගැටලු දේශපාලනික වැඩපිළිවෙළක් මඟින් විසඳාගැනීම තිරසර සංවර්ධන අරමුණු ජය ගැනීම සඳහා යන ගමනේදී ඉතා වැදගත් වෙනවා. ජාතික සංහිඳියාව පිළිබඳ නොවිසඳී ඇති ප්‍රශ්නවලට විසඳුම් සෙවීම සඳහා මා ආණ්ඩුවේ මෙන්ම විපක්ෂයේද දෙමළ මන්ත්‍රීවරුන් සමඟ මේ වන විට සාකච්ඡා පවත්වමින් සිටිනවා. ත්‍රස්තවාදී ක්‍රියාවලට සම්බන්ධ දෙමළ සිරකරුවන්ගේ ගැටලුව, ඒ සම්බන්ධ පවතින නීතිමය කටයුතු කඩිනම් කර ඔවුන් නිදහස් කිරීම, ජාතික ඉඩම් කොමිෂන් සභාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ ක්‍රියාත්මක කිරීම, උතුරු නැඟෙනහිර ඉඩම් නැවත මුල් පදිංචිකරුවන්ට දීම, බලය බෙදීම සම්බන්ධ ගැටලු විසඳීම, මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා වාර්තා ක්‍රියාත්මක කිරීම ඒ සඳහා අප ගෙන යන වැඩපිළිවෙළේ පියවර කිහිපයක් බව පෙන්වා දිය හැකියි.

“මීට අමතරව, දැනට පවතින ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට නව නීතියක් සමඟ සත්‍ය හා ප්‍රතිසන්ධාන කොමිසමක් සඳහා නීති සම්පාදනය කරමින් පවතිනවා. මේ පිළිබඳව මා පාර්ලිමේන්තුවේ දෙමළ මන්ත්‍රීවරුන් සමඟ පමණක් නොව, ඩයස්පෝරාව ඇතුළු අනෙකුත් දෙමළ කණ්ඩායම් සමඟද සාකච්ඡා කරමින් සිටිනවා. එමෙන්ම දෙමළ ඩයස්පෝරා ප්‍රජාව සමඟ සම්බන්ධ වීමට අප වෙනම ඩයස්පෝරා කාර්යාලයක් පිහිටුවීමට කටයුතු කර තිබෙනවා.

නීති සම්පාදනය, ස්ත්‍රී පුරුෂ සමානාත්මතා පනත, කාන්තා සවිබල ගැන්වීමේ පනත සහ කාන්තා ජාතික කොමිෂන් සභා පනත කෙටුම්පත් කරමින් කාන්තාවන්ට එරෙහි වෙනස්කම් තුරන් කිරීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්මුතියට ශ්‍රී ලංකාව සිය දිගුකාලීන කැප වීම මේ වන විට සහතික කර තිබෙනවා. ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව සහ කාන්තා සවිබල ගැන්වීම පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය මෙන්ම කාන්තා සාමය සහ ආරක්ෂක ක්‍රියාකාරි සැලැස්මද කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර තිබෙන බව සිහිපත් කරන්න කැමතියි. එමෙන්ම මෙරට තරුණ තරුණියන් තාරුණ්‍යයේ සැබෑ, ක්‍රම වෙනසක් ඉල්ලා සිටියි. පාර්ලිමේන්තු අධීක්ෂණ කාරක සභාවල තරුණ නියෝජනය සඳහා අප දැනටමත් ප්‍රතිපාදන සලසා තිබෙනවා.

“මේ අතර කෙටිකාලීන ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ උපායමාර්ගය සහ අසමතුලිතතාවන්ගෙන් ඔබ්බට අවධානය යොමු කිරීමේදී අප මේ ඉතා වැදගත් තීරණය ආර්ථික පරිවර්තනය කිරීම, මහා ගෝලීයකරණ සංකල්පය මගින් රවටන ලද 21 වන සියවසේ මැද කාලයේ ඇති වූ සංකීර්ණ හා බහුවිධ මානයන්ගේ අවශ්‍යතා මෙන්ම දැවැන්ත ඩිජිටල්කරණයේත්, උසස් තාක්ෂණයේත්, තොරතුරු බහුලත්වයේ, ස්වයංක්‍රීයකරණයේත්, කෘත්‍රිම බුද්ධියේත්, දේශගුණික විපර්යාස සහ වන අවශ්‍යතාවලට මුහුණ දීමට අවස්ථාවක් කරගත යුතුය. එමෙන්ම මේ සඳහා විවිධත්වය මෙන්ම පශ්චාත් නූතන තත්වයේ අස්ථාවරත්වය පිළිබඳ අවබෝධය, ඉහළ තරගකාරි අපනයනය ඉලක්ක කරගත් ආර්ථිකයක්, පරිසර හිතකාමි නීල හරිත ආර්ථිකයක් සහ ඩිජිටල් ආර්ථිකයක් මත පදනම් වූ නව ආර්ථික ආකෘතියක් අවශ්‍ය වෙනවා. හාවර්ඩ්හි සිටින මහාචාර්ය රිකාඩෝ හවුස්මන් මහතා දැනටමත් ශ්‍රී ලංකා ආර්ථිකයේ තරගකාරිත්වය පිළිබඳ කටයුතු කරමින් සිටින අතර, එහි ඉදිරි කටයුතු සඳහා ඔහු ඉතා ඉක්මනින් ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇතැයි මා බලාපොරොත්තු වෙනවා.

“ඉදිරි වසර 25දී කලාපය තුළ ශ්‍රී ලංකා ආර්ථිකය මධ්‍යකාලීනව ඉහළ වර්ධන මාවතකට ගෙන ඒමටත්, ආර්ථික වර්ධන වේගය සියයට 7 සිට සියයට 8 දක්වා ඉහළ නංවාගැනීමටත් අපේක්ෂා කරනවා. අපට මෙය කළ හැකියි. ඉදිරි වසර දහය දක්වා නව අපනයනවලින් ඩොලර් බිලියන 3ක වාර්ෂික වර්ධනයක් සහ ඉදිරි වසර දහය සඳහා වාර්ෂිකව ඩොලර් බිලියන 3ක ආයෝජනයක් අපේක්ෂා කරනවා. එමෙන්ම ජාත්‍යන්තර වෙළෙඳපොළ ජය ගත හැකි තරගකාරි ශ්‍රම බළකායක් ඉදිරි වසර දහය තුළ නිර්මාණය කිරීමට අවශ්‍යයි. ඊට ගැළපෙන අයුරින් අපගේ වෘත්තීය පුහුණු සහ විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ වෙනස්කම් සිදු කළ යුතුයි. එසේම කෘෂිකර්මාන්තය සහ ධීවර කර්මාන්තය නවීකරණය කළ යුතු අතර, එමඟින් ශ්‍රී ලංකාව කලාපීය සැපයුම් මධ්‍යස්ථානයක් බවට පත් කළ යුතුයි. සම්ප්‍රදායික සංචාරකයන් පමණක් නොව, සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනයෙන් නව සංචාරකයන් ආකර්ෂණය කරගැනීමටත් කටයුතු කළ යුතුයි.“

ශිරෝමි අබයසිංහ

336 x 200 Sinhala

නවතම පුවත්

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website