හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පුහුණු හා පර්යේෂණ ආයතනය විසින් ඊයේ (29) මෑතක දී සිදු කරන ලද පර්යේෂණ කිහිපයක වාර්තා 05ක් එළිදක්වනු ලැබීය.
රසායනික පොහොර තහනම නිසා කෘෂිකර්මාන්තයට සිදු වූ බලපෑම, ආර්ථික අර්බුදය නිසා ගෘහ ජීවිතයට සිදු වූ බලපෑම හා වනසතුන් ගෙන් සිදුවන වගා හානි හා වළක්වා ගැනීම සඳහා නිර්දේශ මෙම පර්යේෂණ අතරින් විශේෂත්වයක් දැරීය.
විශේෂයෙන් 2021 වර්ෂයේ සිට ම මෙරට ආරම්භ වූ ආර්ථික අර්බුදය සම්බන්ධව සිදු කළ Economic Crisis and Household food Security in Sri Lanka- 2022 පර්යේෂණ වාර්තාව මෙරට පැවැති ආර්ථික අර්බුදය නිසා රටේ ජනතාවගේ ආහාර පරිභෝජන රටාවට සිදු කළ හානිය හෙළිදරව් කර තිබේ.
කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් එම පර්යේෂණ වාර්තා ඊයේ එළිදක්වනු ලැබු අතර අප රටේ ආහාර උද්ධමනය ඉහළයාම නිසා උද්ගතව පවතින තත්ත්වය සම්බන්ධව කරුණු ගණනාවක් හෙළිකර තිබේ.
2021 සැප්තැම්බර් මස සිට 2022 අවසානය දක්වා මෙරට ආහාර උද්ධමනය සියයට 95ක් දක්වා ඉහළ ගියේය. එමෙන්ම නිදහසින් පසු මෙරට ඇති වූ දරුණුතම ආර්ථික අර්බුදය මෙය බව ද වාර්තාව දක්වයි.
ඒ අනුව රටේ ජනගහනයෙන් සියයට 86ක් ආහාර සඳහා යොදා ගන්නා අයිතමයන් ප්‍රමාණය අඩු කිරිම නිසා ආහාර රටාව වෙනස් විය. තවත් සියයට 75ක් ආහාර අයිතමයන් ආහාර පිළියෙළ කර ගැනීම සඳහා යොදා ගැනීම අවම කළේය. සියයට 45ක් ආහාර ගන්නා වාර ගණන අවම කළ අතර තවත් සියයට 38ක් ගන්නා ආහාර ප්‍රමාණය අවම කරනු ලැබීය.
දෛනිකව උපයන මුදල ආහාර සඳහා වැය කිරීම ගත් කළ වතු අංශයේ සියයට 68ක් තමන් උපයන මුදලින් වැඩි ප්‍රමාණයක් ආහාර සඳහා වැය කර ඇත. එමෙන්ම රත්නපුර, අම්පාර, මාතර, හම්බන්තොට දිස්ත්‍රික්කවල ජනතාවගෙන් සියයට 75ක් තමන් උපයන මුලු මුදලම ආහාර ලබා ගැනීම පිණිස වැය කර ඇත.
ආහාර අනාරක්ෂිතභාවය ගත් කළ නාගරික අංශයේ සියයට 43ක්, ග්‍රාමීය අංශයේ සියයට 52ක් හා වතු අංශයේ සියයට 67ක් ආහාර අනාරක්ෂිතභාවයට ලක් වූ බවත් වාර්තාව සඳහන් කරයි.
2021 හතරවන කාර්තුව වනවිට ගෘහාශ්‍රිතව අමතර ආහාර පරිභෝජනය සියයට 3.4ක් දක්වා පහළ වැටී තිබු අතර 2022 ඔක්තෝබර් මාසය වනවිට රටේ ජනගහනයෙන් මිලියන මිලියන 2.26ක් අමතර ආහාර පරිභෝජනය නවත්වා තිබිනි.
ආර්ථික අර්බුදය පැවැති 2021 හා 2022 කාලය තුළ ගෘහස්ථව එලවළු පරිභෝජනය ගත් කළ කොහිල ව්‍යංජන සදහා යොදා ගැනීමට ඇති ඉල්ලුම සියයට 45ක් දක්වා ඉහළ ගොස් තිබිනි. වැඩි දෙනෙක් අවටින් සපයා ගත හැකි කුමක් හෝ එලවළුවක් ආහාර සඳහා යොදා ගෙන ඇත. ඊට සාපේක්ෂව බෝංචි සියයට 30කින්, කැරට් සියයට 29කින්, වට්ටක්කා සියයට 27කින්, වම්බටු සියයට 27කින් , කොළ සහිත එලවළු සියයට 10කින් වශයෙන් පරිභෝජනයට ගැනීම පහත වැටී තිබේ.
පෝෂණය අදාලව සළකා බලන විට නාගරිකව සියයට 25ක්, ග්‍රාමීය අංශයේ සියයට 03ක් හා වතු අංශයේ සියයට 07කට ප්‍රෝටීන් බහුල ආහාර නොලැබිනි. විටමින් A සහිත ආහාර පරිබෝජනය ගත් කළ නාගරිකව සියයට 66ක්, ග්‍රාමීය අංශයේ සියයට 46ක් හා වතු අංශයේ සියයට 41ක් විටමින් A සහිත ආහාර හිඟකමින් පෙළිනි. සමීක්ෂණ කාලය තුළ ජනගහනයෙන් සියයට 56කට Heme Iron සහිත ආහාර කිසිවක් ලබා ගෙන නැත.එයිනුත් වතු අංශයේ සියයට 78ක් හීම් යකඩ සහිත ආහාර වන මස්, හා මාළු පරිභෝජනය නොකළ බව ද සමීක්ෂණ වාර්තාව තහවුරු කර තිබේ.
කෙසේ වුවද 2022 ඔක්තෝබර් මාසයේ සියයට 95ක් වූ මෙරට ආහාර උද්ධමනය 2023 මේ වනවිට සියයට 57ක් දක්වා අවම වී ඇති බවත් වාර්තාව පෙන්වා දෙයි.
මෙහිදී අදහස් පළ කළ අමාත්‍ය මහින්ද අමරවීර මහතා අඩුම තරමින් මාස තුනකට වරක් වත් මෙරට ආහාර පරිභෝජන තත්ත්වයන් සම්බන්ධව විද්වතුන් හා එක්ව මෙවැනි සමීක්ෂණ සිදු කළ යුතු බවත්, ඒවා සමාජය තුළ පුළුල් කථිකාවතක් සදහා ඉදිරිපත් කළ යුතු බවත් සඳහන් කළේය. හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පුහුණු හා පර්යේෂණ ආයතනය මගින් සිදු කරන මෙම පර්යේෂණ වැඩ පිළිවෙළ විශ්ව විද්‍යාල ආචාර්ය මහාචාර්යවරුන් සමග ඒකාබද්ධව සිදු කිරීම මගින් එහි නිවැරදි ප්‍රතිපල ලබා ගත හැකි බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.