ඉරිදා, 02 අප්‍රේල් 2023 08:31

නීතිඥ නෝනලාටත් මහත්වරුන්ගේ නිල ඇඳුම! Featured

දකුණු ආසියාවේ දියුණු නීති ක්‍රමයක් හා උපාධි ක්‍රමයක් ඇති රටක් ලෙස යුරෝපයෙන් පවා ශ්‍රී ලංකාවට ඇත්තේ ඉහළ පිළිගැනීමකි. රෝම ලන්දේසි නීතියේ සිට දැනට ක්‍රියාත්මක වන ඉංග්‍රීසි නීති ක්‍රමය දක්වා ව්‍යාප්ත වූයේ එතෙරින් අපට ලැබුණු උරුමයයි.

අද පවතින උසාවි ක්‍රමය හා බැඳුණු සිරිත් විරිත් සම්ප්‍රදායන් විසින් නෛතික සංස්කෘතිය හැඩවැඩ කර තිබේ.

1931 සර්වජන ඡන්ද ක්‍රමය ලැබීමත් 1948 නිදහස ලැබීමත් 1972 ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍යය පොදු රාජ්‍යය මණ්ඩලයෙන් මිදුණ ජනරජයක් වීමත් නිසා අප රට නිදහස් රටක් ලෙස හැඳින්වෙතත් බ්‍රිතාන්‍යයෙන් අපට ලැබුණු උරුමයන් අදටත් සක්‍රීයව පවතින ස්ථානයක් ලෙස උසාවිය හැඳින්වීමේ වරදක් නැත.

උසාවියේ ටයි කෝට් සංස්කෘතිය එදා සිට අද දක්වාම අඛණ්ඩව ක්‍රියාත්මක වන සම්ප්‍රදායකි. ඉතා කලාතුරකින් ජ්‍යේෂ්ඨ පිරිමි නීතීඥ මහත්වරුන් කිහිපදෙනකු යුරෝපීය ඇඳුම වෙනුවට රෙද්ද බැනියමට උඩින් ලෝගුව පැළඳ නඩු මෙහෙය වූ අවස්ථා තිබිණි. ඔවුනට යුරෝපා සම්ප්‍රදාය අනුව මුලින් ලැබී තිබුණේ කළු කෝට්, කළු කලිසම්, සුදු ෂර්ට්වලින් යුක්ත ඇඳුමකි. ඒත් පසු කාලයේ ඇතැම් අවස්ථාවල පිරිමි නීතීඥ මහත්වරුන් තද නිල් හා තද දුඹුරැ පැහැයෙන් යුත් නිල ඇඳුම් පහළ උසාවිවල භාවිතා කළ බව සඳහන් වේ.

කෙසේ වුවත් එදා මෙදා තුර කාන්තා නීතීඥවරියන්ට නිර්දේශ වී තිබුණේ සාරිය පමණි. ඒ සඳහා වර්ණ හතරක සාරි ඇඳීමට ඔවුනට අවසරය ලැබී තිබූ අතර එම වර්ණයන් වූයේ කළු, සුදු, අළු, ලා දම් පාට පැහැයෙන් යුත් සාරිය. වසර ගණනක් සාරිය සහ ඊට උඩින් පළඳන කබාය සහිත කාන්තා නිල ඇඳුම වෙනසකට භාජනය කිරීම සඳහා මෑතකදී මුලින්ම යෝජනාව ගෙන ආවේ ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති ජනාධිපති නීතීඥ යූ. ආර්. ද සිල්වාය. නියමිත ප්‍රමිතියකින් තොරව ශරීරයේ අඟපසඟ වැඩපුර ප්‍රදර්ශනය වන ලෙස ඇතැම් නීතීඥවරියන් සාරිය ඇඳීම නිසා එයින් වෘත්තිය ගරුත්වයට හානියක් සිදු වෙතැයි සළකමින් නීතීඥ සංගමය සාරිය වෙනුවට වෙනත් යෝග්‍ය ඇඳුමක් නිර්දේශ කරන ලෙසට අග විනිසුරැ ප්‍රමුඛ අධිකරණ සේවා කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කර තිබිණි.

ඒ අනුව අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප්, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඊවා වනසුන්දර යන මහත්ම මහත්මීන්ගේ උපදෙස් හා අධීක්ෂණය යටතේ නව කාන්තා නිල ඇඳුමක් නිර්මාණය කිරීමට යෝජනා කැඳවිණි. මෙම යෝජනා කැඳවීමේදී ලෝකයේ රටවල් ගණනාවක කාන්තා නීතීඥවරියන් පළදින නිල ඇඳුම් ගැන අවධානනය දැක්විණි. යුරෝපයේ දිග කලිසම, කමිසය හා කබාය හෝ කබාය සහ සාය අඳින රටවල් තිබේ. එහෙත් පකිස්ථානය, ඉන්දියාව, බංග්ලාදේශය වැනි ආසියාතික රටවල කාන්තා නීතීඥවරියන් අත් දිග සුදු කමිසය සහ මඳක් ලිහිල් කලිසම සමග කබාය පැළඳීම සිරිත් වශයෙන් සිදුවේ.

මෙම තත්ත්වය සලකා බැලූ ශ්‍රී ලංකා නීතීඥ සංගමය සහ අධිකරණ සේවා කොමිසම ශ්‍රී ලංකාවේ නීතීඥවරියන්ට ද තමන්ගේ මනාපය පරිදි කළු කලිසම, සුදු කමිසය හා කබාය සිය නිල ඇඳුම ලෙස භාවිතා කිරීමට නිර්දේශ කර ඇතැයි කියවේ. ඒ පිළිබඳ අවසන් තීරණය ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ ප්‍රඥප්තියක් මගින් හෝ ගැසට් මගින් නිල වශයෙන් ප්‍රකාශ කිරීමට නියමිතව ඇත. රටේ සියලුම අධිකරණවල නීතීඥයන් පොදු ප්‍රමිතියකට අයත් ඇඳුමකට යොමු විය යුතු බව නීති ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගේ මතය වී තිබේ.

මෙවර මාර්තු 08 වැනිදාට යෙදී තිබූ ලෝක කාන්තා දිනයට සමගාමීව මෙම නිල ඇඳුම ලබා දීමට යෝජනා ඉදිරිපත්ව තිබූ අතර එදින කොළඹ දිසා අධිකරණය, කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ ද, ශ්‍රේෂ්ඨාධිකරණයේ ද නීතීඥවරියන් කිහිපදෙනකු යුරෝපීය ඇඳුමෙන් සැරසී සේවයේ නියුතු වූ බව නීති ක්ෂෙත්‍රයේ කිහිපදෙනෙක් පැවසූහ.

කාන්තා නීතීඥවරියන්ට අනුමත කෙරුණු නව නිල ඇඳුම සම්බන්ධව ශ්‍රී ලංකා නීතීඥ සංගමයෙන් සහ කාන්තා නීතීඥ සංගමයෙන් අපි විමසීමක් කළෙමු.

ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති ජනාධිපති නීතීඥ යූ. ආර්. ද සිල්වා

කාන්තා නීතීඥවරියන්ගේ නිල ඇඳුම ලෙසට සාරිය විය යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණ නීති මාලාවේ සඳහන් වෙලා තියෙනවා. කළු, සුදු, අළු සහ ළා දම් පැහැයෙන් යුත් සාරි මොවුන්ගේ රජකාරි කාලය තුළ පැළඳිය හැකි වර්ණ ලෙස තමයි එය එම රීති මාලාවේ දැක්වෙන්නේ. නමුත් අද පවතින ප්‍රායෝගික ප්‍රශ්නය දිහා බැලුවම බොහෝ කනිෂ්ඨ නීතීඥවරියන් සහ නීතීඥවරුන් මේ ඇඳුම සම්බන්ධයෙන් දක්වන ආකල්පය ඊට වඩා වෙනස් තත්ත්වයක් තිබුණා. ඒ වගේම මොවුන් ඒ නියමිත වර්ණයන්ගෙන් යුත් නිල ඇඳුම සහිතව පැමිණෙන්නේ නැති නිසා අපට අපගේ අනන්‍යතාවය පිළිබඳ ගැටලු සහගත තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. මේ පිළිබඳව විවිධ අවස්ථාවල සාකච්ඡා පැවතුණා. ඒ වගේම මහාධිකරණය, අභියාචනාධිකරණය, ශ්‍රේෂ්ඨාධිකරණයට යනවිට භාවිතා කරන ලෝගුව ඒ අය මහේස්ත්‍රාත් අධිකරණයට සහ දිසා අධිකරණයට භාවිතා කරන තත්ත්වයක් තිබුණා පාට පාට සාරිවලින්. මේ පිළිබඳව තිබුණු කතිකාවතත් එක්ක මට උවමනාවක් තිබුණා නීතීඥවරැන් අඳින කළු කලිසම, සුදු ෂර්ට් එක සහ කෝට් එක නීතීඥවරියන්ටත් යෝජනා කිරීමට. කාන්තා නීතීඥ සංගමය, අගවිනිසුරු තුමා සහ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඊවා වනසුන්දර මැතිනිය සමඟ මේ කාන්තා නිල ඇඳුම වෙනස්විය යුතුයි කියන කරුණු සාකච්ඡා කළා. ඉතින් මේ තත්ත්වය පිළිබඳව ඉදිරියේදී අපගේ ශ්‍රේෂ්ඨාධිකරණ රීති මාලාවට අලුතින් කොටසක් ඇති කරන්න ඕන ඇත්තටම මේ ක්‍රමයට ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබිලා තියෙනවා.

කාන්තා නීතීඥ සංගමයේ සභාපති නීතිවේදිනී සන්ධ්‍යා තල්දූව

මෙතෙක් කල් නීතීඥවරියන් ශ්‍රේෂ්ඨාධිකරණයේ රීති මගින් පෙන්වා දී තිබූ වර්ණ හතරකින් සමන්විත සාරි තමයි රාජකාරි කටයුතු සඳහා භාවිත කළේ. නමුත් සමහර අවස්ථාවලදී ඇතැම් නීතීඥවරියන් විවිධ වර්ණයෙන් යුතු අධිකරණයට නුසුදුසු අයුරින් සාරිය අඳින අවස්ථා අපි දැකලා තියෙනවා. දැන් මේ වගේ නිශ්චිත ඇඳුමක් හඳුන්වලා දුන්නම මේවට එක එක දේවල් ඇතුළු කරන්න බැහැනේ. ඒ වගේම ඒවා විවිධ වර්ණවලින් අඳින්නත් බැහැ. ඒ වගේ හැඩතල වෙනස් කරන්නත් බැහැ. ගොඩක් වෙලාවට මේ ඇතැම් නීතීඥවරියන් අධිකරණයට ගැලපෙන්නේ නැති ආකාරයට සාරිය ඇඳීම නිසා තමයි මෙහෙම අලුත් නිල ඇඳුමක් පිළිබඳ අවශ්‍යතාවය මතු වුණේ. අපි මේ තත්ත්වය නීතීඥ සංගමය සමඟ සාකච්ඡා කළා. පස්සේ එම සංගමයේ සභාපතිතුමා අපිට පොරොන්දු වූ පරිදි ඒ පිළිබඳව අගවිනිසුරුතුමා, ඊවා වනසුන්දර මැතිනිය ඇතුළු නීති ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් සමඟ සාකච්ඡා කරලා මෙයට අනුමැතිය අරගෙන දුන්නා.

 

 හසිත් අංජන

 

නවතම පුවත්

 චිරං ජයතු

සැප්තැම්බර් 28 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website