සදුදා, 03 අප්‍රේල් 2023 19:34

ප්‍රජාතන්ත්‍රවාදය ආණ්ඩුවේ සැලසුම් සහගත ප්‍රහාරයකට - ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා වූ අන්තර් විශ්ව විද්‍යාල විද්‍යාර්ථයින්ගේ සාමූහිකය Featured

රට ව්‍යාසනකාරී තත්වයකට ඇද දැමූ සහ තව තවත් ප්‍රපාතයට තල්ලු කරමින් ප්‍රජාතන්ත්‍රවාදය සහ මානව අයිතිවාසිකම් විනාශ කිරීමට පාලකයින් ක්‍රියා කරමින් සිටින බව "ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා වූ අන්තර් විශ්ව විද්‍යාල විද්‍යාර්ථයින්ගේ සාමූහිකය" අවධාරණය කර සිටී.

එමෙන්ම ප්‍රජාතන්ත්‍රවාදය ආණ්ඩුවේ සැලසුම් සහගත ප්‍රහාරයකට ලක්ව තිබෙන බවත් මෙම අවස්ථාවේ ඔවුන්ගේ ශක්ති ප්‍රමාණයෙන් එයට එරෙහි වීම සහ පුරවැසියන් දැනුවත් කරමින් කටයුතු කිරීම නිදහස් අධ්‍යාපනයෙන් බිහි වූ ලක් මාතාවගේ දරුවන් වූ ඔවුන් හට ඇති යුතුකමක් සහ වගකීමක් යැයි නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් තරයේ අවධාරණය කර සිටියි.

පහතින් එම නිවේදනය

ප්‍රවෘත්ති කර්තෘ/ සංස්කාරක.

ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා වූ අන්තර් විශ්වවිද්‍යාල විද්‍යාර්ථයින්ගේ සාමූහිකය, ලාංකේය විශ්ව විද්‍යාලවලින් බිහිවූ විද්‍යාර්ථයින්ගේ සහ වෘත්තිකයින්ගෙන් සැදුම්ලත් එකමුතුවකි.

රට ව්‍යසනකාරී තත්වයකට ඇද දැමූ සහ තව තවත් ප්‍රපාතයට තල්ලු කරමින් ප්‍රජාතන්ත්‍රවාදය සහ මානව අයිතිවාසිකම් විවෘතව විනාශ කිරීමට පාලකයින් ක්‍රියා කරමින් සිටින අවස්ථාවක අපගේ ශක්ති ප්‍රමාණයෙන් එයට එරෙහි වීම සහ පුරවැසියන් දැනුවත් කරමින් කටයුතු කිරීම
නිදහස් අධ්‍යාපනයෙන් බිහි වූ ලක් මාතාවගේ දරුවන් වූ අප හට ඇති යුතුකමක් සහ වගකීමක් යැයි විශ්වාසයෙන් යුතුව මෙම පළමුවල ප්‍රකාශය නිකුත් කරන්නෙමු.

ප්‍රජාතන්ත්‍රවාදය ආණ්ඩුවේ සැලසුම් සහගත ප්‍රහාරයකට ලක්ව තිබේ.

"ශ්‍රී ලංකාව මුහුණ දී තිබෙන විදේශ ණය අර්බුදය ඇති කිරීමට මූලික වූ දූෂිත දේශපාලන පක්ෂය සමග සන්ධාන ගත වී සිටින වත්මන් ජනාධිපතිවරයා සහ ඔහුගේ පක්ෂය දැන් සුපුරුදු කාර්යයට අත ගසා ඇත. මේ රටේ යම් සීමාවන් යටතේ වුවත් පවත්වාගෙන ආ ව්‍යවස්ථානුකූල ආණ්ඩු ක්‍රමයේ ක්‍රියාකාරීත්වයට අවහිර කර අපගේ ප්‍රජාතන්ත්‍රවාදය හකුළා දැමීමට පියවර ගැනීමය. මේ සඳහා ගනු ලැබූ ප්‍රථම ක්‍රියාමාර්ගය වූයේ 22 වතාවකට වඩා විවිධ උප්පරවැට්ටි දමා මේ මාර්තු මාසයට නියමිතව තිබූ පළාත් පාලන ඡන්දය කල් දැමීමය. මෙයින් සිදුවන්නේ පළාත් පාලන ආයතන නිලධාරී පාලනයට නතු කිරීමට වඩා අපේ ආණ්ඩුක්‍රම නීතිය උල්ලංඝනය කිරීමකි. ජනතාව සතු පරමාධිපත්‍ය බලයට ඡන්ද බලය ද ඇතුළත් යයි ව්‍යවස්ථාවේ සඳහන් පිළිගැනීම නොතකා හැරීම ය. දැන් එම ඡන්දය සඳහා පාර්ලිමේන්තුව විසින් වෙන් කළ ප්‍රතිපාදන බාධා නොකර නිකුත් කරන්නැයි නියෝගයක් නිකුත් කළ අධිකරණ විනිශ්චයකාරවරුන්ව ප්‍රශ්න කිරීමට පාර්ලිමේන්තුවට කැඳවීමට උත්සාහ කිරීම සිදු ව ඇත. මෙය අධිකරණ විනිශ්චයකරුවන්ගේ තත්ත්වය හෑල්ලු කිරීමකි.

මෙය අධිකරණයේ ස්වාධීනත්වය බිඳ දැමීමට ගන්නා පියවරකි. වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පූර්විකාවේ සපථ කර තිබෙන ජනතාවගේ " මූලික අයිතිවාසිකමක් සහ අධිකරණ ස්වාධීනත්වය" මේ අන්දමට උල්ලංඝනය කිරීම ඒකාධිපතිවාදයකට රට යටත් කිරීමට දරන උත්සාහයකි. ජාත්‍යන්තර නීතියේ සඳහන් වන"දූෂිත ණය" ගණයට වැටෙන ඩොලර් බිලියන 51 ක් පමණ වන ණය හරහා ලැබුන අරමුදල් අපහරණය කළ දේශපාලන නායකයන් මේ තැත් කරන්නේ අපේ ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික හර පද්ධතීන් ද අපහරණය කරන්නට ය. දැන් පොලිස් හා හමුදා බලයන් සහ නිල නොවන මැර කණ්ඩායම් යොදා ගෙන සමාජයේ විරෝධතා වලට එල්ල කරන ප්‍රහාරය වැඩිකල් නොගොස් සමස්ත සමාජයටම එල්ල කරනු ඇත. එය අපේ ජීවිත වලට නිදහසේ ක්‍රියා කිරීමට ඇති ඉඩකඩ අහුරණු ඇත. වෙළඳපලේ ඇති කර තිබෙන මිල ඉහළ දැමීම සහ බැංකු පොලී අනුපාත ඉහළ දැමීම මගින් ආර්ථික නිදහස හිර කරමින් තිබෙන පසුබිමක දේශපාලන නිදහස අහිමි කිරීම සමාජයේ සෑම කණ්ඩායමකටම දැඩි ලෙස බලපානු ඇත. මේ නිසා අපට ඇති සමාජ වගකීම් ගැන සිහිපත් කරමින් මේ තත්ත්වයට එරෙහිව ජනමතයක් ඇති කිරීමට එකතු වන ලෙස සියළු විශ්ව විද්‍යාල විද්‍යාර්ථයින්ගේ සහ වෘත්තිකයින්ගේ ඇතුළු සමස්ත ජනතාවගෙන් ඉල්ලා සිටිමු.

 

ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා වූ අන්තර් විශ්ව විද්‍යාල විද්‍යාර්ථයින් ගේ සාමූහිකය

කැඳවුම්කරු
සුනිල් හෙට්ටිතන්ත්‍රි

 

oju

නවතම පුවත්

 චිරං ජයතු

සැප්තැම්බර් 28 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website