අඟහරුවාදා, 11 අප්‍රේල් 2023 19:05

“පෝට් සිටි ගිවිසුම ප්‍රසිද්ධ කරන්න”: තොරතුරු කොමිසමෙන් නියෝගයක් Featured

‘පෝට් සිටි’ හෙවත් කොළඹ වරාය නගරය සම්බන්ධයෙන් වන ත්‍රෛපාර්ශ්වික ගිවිසුම පරිසර යුක්ති කේන්ද්‍රයට සහ සමස්ත ලංකා ධීවර සමිතිය වෙත ලබා දීමට කටයුතු කරන ලෙස තොරතුරු දැන ගැනීමේ කොමිෂන් සභාව ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යංශය වෙත පසුගිය 6 වන දා නියෝගයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.

මෙම ත්‍රෛපාර්ශ්වික ගිවිසුම ලබන මැයි මස 6 වන දාට පෙර අදාළ ඉල්ලුම්කරුවන් වෙත නිකුත් කිරීමට කටයුතු කරන ලෙස ද තොරතුරු දැන ගැනීමේ කොමිසමේ කොමසාරිස් ක්‍රිශාලි ප්‍රින්ටෝ ජයවර්ධන විසින් නිකුත් කර ඇති නියෝගයේ සඳහන් වේ.

පෝට් සිටිය හෙවත් වරාය නගර ව්‍යාපෘතිය ආරම්භ කිරීමේදී ප්‍රමාණවත් තරම් මහජන අදහස් ලබාගෙන නොමැති බව මෙන්ම, විස්තීරණ පාරිසරික බලපෑම් ඇගයීම් ක්‍රියාවලියක් කර නොමැති බැවින් මෙම ව්‍යාපෘතියට අදාළ ත්‍රෛපාර්ශ්වික ගිවිසුම ලබා දෙන ලෙස ඉල්ලමින් පරිසර යුක්ති කේන්ද්‍රය විසින් මහ නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යංශයට 2018 වර්ෂයේදී තොරතුරු දැන ගැනීමේ පනතට අනුව අයැදුම්පතක් යොමු කරනු ලැබ ඇත.

එහි රහසිගත වගන්ති ඇති බව සඳහන් කරමින් අදාළ ත්‍රෛපාර්ශ්වික ගිවිසුම මුදාහැරීම මහ නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යංශය ප්‍රතික්ෂේප කර ඇත.

අනතුරුව අදාළ ත්‍රෛපාර්ශ්වික ගිවිසුම මුදා හරින ලෙසට මහ නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් පරිසර යුක්ති කේන්ද්‍රය විසින් තොරතුරු දැන ගැනීමේ කොමිසමට අභියාචනයක් ඉදිරිපත් කරනු ලැබ තිබේ.

එම අභියාචනය පිළිගෙන ඇති තොරතුරු දැන ගැනීමේ කොමිසම ඒ සම්බන්ධයෙන් වන විමසීම වසර 4ක කාලයක් පුරා කර ඇත. තොරතුරක් ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීම වෙනුවෙන් කළ අභියාචනයක් විභාග කරන ලද වැඩි ම කාලය ද මෙය වන්නේ ය.

මෙම විභාගය පැවැත්වෙන කාලය තුළ තොරතුරු පනතට අනුව පොදු අධිකාරිය ලෙස එතෙක් හැඳින්වූ මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යංශය නාගරික සංවර්ධන, නිවාස හා පහසුකම් අමාත්‍යංශය ලෙස වෙනස් වී ඇත. 2022 වසරේදී එම පොදු අධිකාරියද ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යංශය ලෙස වෙනස් වී ඇත. මේ අතර වරාය නගර ආර්ථික කොමිෂන් සභාව නව පනතක් මගින් ස්ථාපනය කිරීමට ද රජය කටයුතු කර ඇත.

මේ අතර තුර ජනාධිපති ලේකම් කාර්යාලයේ සහ පොදු අධිකාරියේ ඉල්ලීම පරිදි විභාග වෙමින් පැවැති අභියාචනයේ අතිරේක වගඋත්තරකරුවෙකු ලෙස ජනාධිපති ලේකම් කාර්යාලය ද නම් කර ඇත.

මෙම අභියාචනය කැඳවා විමසුම් කරන අතර තුර සමස්ත ලංකා ධීවර සමිතිය ද කොළඹ වරාය නගර හෙවත් පෝට් සිටියට අදාළ ත්‍රෛපාර්ශ්වික ගිවිසුමේ පිටපතක් ඉල්ලා තොරතුරු දැන ගැනීමේ පනතට අනුව අයැදුම්පතක් යොමු කර ඇත.

අභියාචනා විභාගයට ගත් තොරතුරු දැන ගැනීමේ කොමිසමේ කොමසාරිස් ක්‍රිශාලි ප්‍රින්ටෝ ජයවර්ධන තම නියෝගය නිකුත් කරමින් මෙසේ ද සඳහන් කර ඇත.

“කුමන වගන්තියක් රහසිගතව තබාගත යුතු ද යන්න තහවුරු කිරීමට පොදු අධිකාරියට හැකියාවක් ලැබී නැත. එමෙන් ම අස්සන් තබන ලද කොළඹ වරාය නගරය පිළිබඳ ගිවිසුම ජනතාවට විවෘත විය යුතුව ඇත. එමෙන් ම කොළඹ වරාය නගර ව්‍යාපෘතියට අදාළ ත්‍රෛපාර්ශ්වික ගිවිසුම පොදු ජනතාවගෙන් සඟවා තබා ගැනීමේ අවශ්‍යතාවක් නොමැති බව හැඟී යන බැවින් එම ගිවිසුම මැයි මස 6 වන දාට පෙර අදාළ ඉල්ලුම්කරුවන් වෙත මුදා හැරිය යුතු වේ.”

නවතම පුවත්

 චිරං ජයතු

සැප්තැම්බර් 28 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website