සදුදා, 17 අප්‍රේල් 2023 22:31

රිලවුන්ගේ ඇත්ත කතාව Featured

අනුරාධපුරය, පොළොන්නරුව, දඹුල්ල සහ මහනුවර ශ්‍රී දළදා මාලිගාව ඇතුළු මෙරට පූජනිය ස්ථානවල මෙන්ම රටේ බහුලව දකින්නට ලැබෙන රිලවුන්, මෙරට තුළ අවස්ථා රැසකදීම සාකච්ජාවන්ට බඳුන් වූ මාතෘකාවක් බවට පත්විය.

ඒ, රිලවුන්ගෙන් සිදුවන වගා හානි සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍යංශය විසින් කළ ප්‍රකාශයන් සහ එම සත්ත්ව ගහණය පාලනය කිරීමට පියවර ගත යුතු බවට සිදුකළ යෝජනා හේතුවෙනි.

"පොල් ත්‍රිකෝණයට බරපතලම හානිය සිදු කරනු ලබන්නේ රිළවුන් විසින් බවත්, 2022 වසරේදී පමණක් පොල්ගෙඩි මිලියන 200ක් රිලවුන් සහ දඬු ලේනන් විනාශ කර ඇති බවත්," කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් නිකුත් කළ වාර්තාවක දැක්වෙයි.

ඉන් පොල්ගෙඩි මිලියන 92ක්ම විනාශ කර තිබුණේ ඉකුත් වසරේ මුල් මාස හය තුළ බව ද එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන්ව ඇත.

 මේ අතර, පසුගිය දා කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී පැවති සාකච්ජාවක දී චීනයේ නියෝජිතයින් පිරිසක් විසින් මෙරටින් රිලවුන් ලක්ෂයක් ලබාදෙන ලෙස ඉල්ලීමක් සිදුකර ඇති බවට ද එම අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක සඳහන් විය.

ඒ සමග රිලවුන් චීනයට ලබාදීම සම්බන්ධයෙන් මේ වන විට මෙරට ජන සමාජය තුළ දැඩි කතාබහක් ඇති වී තිබේ. ඒ සම්බන්ධයෙන් බීබීසී සිංහල සේවය ද කරුණු සොයා බැලීමක් සිදුකරන ලදී.

කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක සඳහන් වූයේ මෙරට රිලවුන් ගහනය ලක්ෂ 30ක් පමණ වන බව යි. නමුත් එම ප්‍රකාශය අසත්‍ය බව පරිසරවේදීන් ප්‍රකාශ කර සිටියි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජ්‍යෙෂ්ඨ පරිසරවේදී නීතිඥ ජගත් ගුණවර්ධන බීබීසී සිංහල සේවයට සඳහන් කළේ, මෙරට සිටින රිලවුන් සම්බන්ධයෙන් මෙතෙක් නිසි අධ්‍යයනයක් සිදුකර නොමැති බව යි.

"ශ්‍රී ලංකාවේ සිටින රිලවුන් සම්බන්ධයෙන් කිසිම කෙනෙක් අධ්‍යයනයක් සිදුකරලා නැහැ. ඒ වගේම මෙරට රිලවුන් බහුලව සිටින ප්‍රදේශ මොනවා ද යන්න සම්බන්ධයෙන් තොරතුරු ලබා ගැනීමට සමීක්ෂණයක් සිදුකරලා නැහැ," ජ්‍යෙෂ්ඨ පරිසරවේදී නීතිඥ ජගත් ගුණවර්ධන ප්‍රකාශ කර සිටියේ ය.

රිලවා ලංකාවට පමණක් ආවේණික සතෙක් ද?


මෙරට බහුලව දක්නට ලැබෙන වඳුරු විශේෂයක් වන රිලවා ශ්‍රී ලංකාවට පමණක් ආවේණික සත්ත්ව කොට්ඨාසයක් බව ජ්‍යෙෂ්ඨ පරිසරවේදී ජගත් ගුණවර්ධන බීබීසී සිංහල සේවය වෙත සඳහන් කළේ ය.

'ටෝක් මැකාක්' හෙවත් 'මැකාකා සිනිකා' යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වනු ලබන රිලවා ශ්‍රී ලංකාවට ආවේණික සතුන් කොට්ඨාසයක්. වෙන කිසිදු රටක දකින්නට ලැබෙන්න නැහැ," ඔහු පැවසුවේ ය.

'වාර්තාව නැතිව වගා හානි පිළිබඳව හෝ ගන්න ඕන පියවරක් පිළිබඳව හෝ තීරණයක් ගන්න අවශ්‍ය දත්ත අප සතුව නැහැ'


රිලවුන්ගෙන් වගාවන්ට සිදුවන හානි වලක්වා ගැනීම සඳහා යෝජනා ඉදිරිපත් කිරීම සඳහා කමිටුවක් පත්කරනු ලැබුව ද, හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පුහුණු ආයතනය විසින් ඒ සම්බන්ධයෙන් සකස් කළ වාර්තාව මෙතෙක් ලබා නොදීම නිසා ඒ සම්බන්ධයෙන් කිසිදු යෝජනාවක් ඉදිරිපත් කිරීමට හැකියාවක් නොලැබුණු බව නීතිඥ ජගත් ගුණවර්ධන පවසා සිටියි.

"වගා හානි වලක්වා ගන්න අවශ්‍ය යෝජනා ඉදිරිපත් කරන්න කියලා පසුගිය වසරේ අගභාගයේ දී අමාත්‍යවරයා පිහිටවපු කමිටුවට මේ දක්වා හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පුහුණු ආයතනය විසින් සකස් කරපු වාර්තාව මෙතෙක් ලබාදී නැහැ. එම වාර්තාව ලබාදෙන්න කියලා අවස්ථා ගණනාවක දී අප පුන පුනා ඉල්ලීම් කළා. ඒ වාර්තාවේ තමයි ඇමතිතුමා කියන මේ සංඛ්‍යාලේඛන තියෙනවනම් තියෙන්න ඕන. ඒ වාර්තාව අපිට නොදෙන හේතුව අදටත් අපි දන්නේ නැහැ. ඒ වාර්තාව නැතිව වගා හානි පිළිබඳව හෝ ගන්න ඕන පියවරක් පිළිබඳව හෝ තීරණයක් ගන්න අවශ්‍ය දත්ත අප සතුව නැහැ. ඒ නිසා වැඩේ ඇණ හිටියා," නීතිඥවරයා පැවසුවේය.

වගා හානි වැළැක්වීමේ පියවර යෝජනා කිරීමට වාර්තාවේ අඩංගු විය යුතු කරුණු මොනවාද?


වගා හානි වැළැක්වීම සම්බන්ධයෙන් අවශ්‍ය පියවර යෝජනා කළ යුතු වන්නේ නම් ලබාදෙන වාර්තාවේ අඩංගු විය යුතු කරුණු සම්බන්ධයෙන් ද මෙහිදී ජ්‍යෙෂ්ඨ පරිසරවේදී නීතිඥ ජගත් ගුණවර්ධන කරුණු පැහැදිලි කිරීමක් සිදු කළේ ය.

"එම වාර්තාවේ මෙන්න මේ කරුණු ටික අනිවාර්යෙන්ම අඩංගු විය යුතුයි.

  • රිලවුන්ගෙන් කොයි උප විශේෂය ද හානිකර වෙන්නේ?
  • කොයි දිස්ත්‍රික්කවලට ද හානිකර වෙන්නේ?
  • එම දිස්ත්‍රික්කවල කුමන වගාවන්වලට ද වැඩිපුරම හානිකර වෙන්නේ?
  • ඒ වගේම එම දිස්ත්‍රික්කවල ගහණ ගණත්වය කොපමණ ද? (ගහණ ගණත්වය කියන්නේ වර්ග කිලෝමීටරයකට සතුන් කොපමණ පිරිසක් සිටිනවාද?)


ඒ විස්තර මොකුත් අපිට තිබුනේ නැති නිසා අපට ඒ ගැන නිසි පියවරක් යෝජනා කරන්න බැරිවුනා," නීතිඥ ගුණවර්ධන බීබීසී සිංහල සේවය වෙත පැවසුවේ ය.

මෙරට රිලවුන් චීනයට ලබාදෙන්නේ නම් ඊට පෙර අවධානය යොමු කළ යුතු වැදගත් කරුණු
චීනයට මෙරටින් රිලවුන් ලක්ෂයක් යැවීමට පෙර ඒ සම්බන්ධයෙන් රජය අවධානය යොමු කළ යුතු කරුණු කිහිපයක් ඇති බව නීතිඥ ගුණවර්ධන පෙන්වා දෙයි.

"රිලවු ලක්ෂය තෝරන්න නම් ඒ ඒ දිස්ත්‍රික්කවල සිටින ගහණ ගණත්වය ගැන අප දැනගෙන සිටිය යුතුයි. රිලවාගෙත් උප විශේෂ තියෙනවා. සමහර වාර්තාවල කියැවෙනවා උප විශේෂ දෙකයි කියලා, සමහර වාර්තාවල කියැවෙනවා උප විශේෂ හයක් සිටිනවා කියලා. එතකොට අපි දන්නෙම නැතුව දුර්ලභ විශේෂයන් යැවුවොත් ඒ විශේෂය මෙරටින් නැතිවී යනවා. සමහර විට ඒ දුර්ලභ විශේෂය මිනිසුන්ටවත්, වගාවන්ටවත් හානියක් නොකරන වනවාසී සත්ත්ව කොට්ඨාසයක් වෙන්න පුළුවන්," ඔහු පැවසීය.

රිලවා වගා හානි සත්ත්වයෙක් බවට පත්වූ හේතුව කවරේද?


රිලවා වගා හානි සත්ත්වයෙකු බවට පත්වීමට ප්‍රධාන හේතුව මිනිසුන්ගේ ක්‍රියාකාරකම් බව ද පරිසරවේදී නීතිඥ ජගත් ගුණවර්ධන පවසයි.

"අප බලන්න ඕන ඇයි රිලවුන් වගා හානි සත්ත්වයෙකු බවට පත්වූයේ කියලා. ඔවුන්ගේ වාසස්ථාන බවට පත්ව තිබූ වනාන්තර, ලඳු කැලෑ කුට්ටි මිනිස් ක්‍රියාකාරකම් නිසා විනාශ වුන නිසා එම සතුන් ගම්වලට පැමිණියා. නැත්නම් ගම්මුන් ගියා කැලය ඇතුලට. ඒවා අපි හරියට අධ්‍යයනය කරන්න ඕන. එහෙම නැතුව රිලවු වැඩියි කියලා ඒ සත්තු මරලා මේ ප්‍රශ්නය විසදන්න කියලා කියන කතා සාහසිකයි. මේ ප්‍රශ්නයේ සාදාචාරාත්මක පැතිකඩක්, විද්‍යාත්මක පැතිකඩක් වගේම නීතිමය පැතිකඩක් තියෙනවා. මේ තුනම ඒකාග්‍රවෙන තැනයි විසඳුම තියෙන්නේ. කෘෂිකර්ම අමාත්‍යාංශය කියනව නම් රිලවුන් ලක්ෂ 30ක් රටේ ඉන්නවනම් ඒකෙන් ලක්ෂයක් චීනයට යවනවානම් එකෙන් කොයි දිස්ත්‍රික්කයේ ද ප්‍රශ්නය විසදෙන්නේ කියලා කියන්න ඕන," ඔහු පැවසුවේ ය.

'රිලවුන් අල්ලන්න ගිහින් හිතුවට වඩා ප්‍රශ්න ඇතිවෙන්න පුළුවන්'


රිලවුන් ඇල්ලීමට යාමේ දී හිතුවාට වඩා ගැටලුසහගත තත්ත්වයන් ද මතුවිය හැකි බව පරිසරවේදී ජගත් ගුණවර්ධන ප්‍රකාශ කර සිටියි.

"රිලවුන් ලක්ෂයක් අල්ලනවා නම් පලවෙනි වටයේ අල්ලන්නේ කුමන දිස්ත්‍රික්කයෙන් ද? රිලවුන් රංචුවම අල්ලනවා ද නැත්නම් භාගයක් අල්ලනවාද? එම රංචුවේ සිටින ගැහුණු සතුන් පමණක් අල්ලනවාද, නැත්නම් පිරිමි සතුන් පමණක් අල්ලනවද? සමහර වෙලාවට මේවා අල්ලන්න ගිහින් හිතුවටත් වඩා වැඩි ප්‍රශ්න ඇතිවෙන්න පුළුවන්. මොකද මේ රිලවු රංචුවල ආධිපත්‍ය තියන් ඉන්නේ පිරිමි සතුන්. එතකොට ඒ රංචුවේ පිරිමි සතුන් විතරක් අයින් කළොත් ඒ රංචුවට අලුත් පිරිමි සතුන් එනවා. එතකොට තිබුනටත් වඩා රංචුව බෝවෙන්න පුළුවන්. සත්තු එකතු කරනවා කියන්නේ ගල් කැට එකතු කරනවා වගේ දෙයක් නෙමෙයි," නීතිඥ ජගත් ගුණවර්ධන සඳහන් කළේය.

ලංකාවේ රිලවුන් රැගෙන යන්නේ වෛද්‍ය පර්යේෂණාගාර සඳහා ද?


එක්වරම රිලවුන් ලක්ෂයක ප්‍රමාණයක් චීනයට යැවීම පිළිබඳ කතිකාවතාවක් මතුවීම ගැටලු සහගත තත්ත්වයක් බව වනජීවී සහ ස්වභාව ආරක්ෂණ සංගමයේ හිටපු සභාපති ස්පෙන්සර් මැනුවල්පිල්ලේ පවසයි.

බීබීසී සිංහල සේවය වෙත ඔහු සඳහන් කලේ චීනයේ සත්ත්ව උද්‍යානවලට බව පවසමින් මෙලෙස මෙරටින් රිලවුන් රැගෙන යන්නේ වෛද්‍ය පර්යේෂණාගාර සඳහා ලබාදීමට ද යන්න සම්බන්ධයෙන් සැකයක් මතුවී ඇති බවයි.

"චීනයට මැකාක්ස් ලක්ෂයක් යවන එක ගැන අපිට ලොකු සැකයක් තිබෙනවා. චීනයේ ලියාපදිංචි සත්ත්ව උද්‍යාන තියෙන්නේ 18යි. එතකොට එක සත්ත්ව උද්‍යානයකට පන්දහසකට වඩා රිලවු තියාගන්න බැහැනේ? ඉතිහාසය බැලුවොත් තේරෙයි ගිනිකොනදිග ආසියාවෙන් වෛද්‍ය පර්යේෂණාගාර වලට යවන සතුන්ගේ අඩුපාඩුවක් තියෙනවා. අමෙරිකාව වගේ රටවල තියෙන ඖෂධ නිෂ්පාදන කරන පර්යේෂණාගාර සඳහා සත්තු යොදා ගන්නවා. අපිට ලොකු සැකයක් තියෙනවා චීනය හරහා එවැනි කර්මාන්තයකට රිලවුන් යොමු කිරීමේ වැඩපිළිවෙලක් ද මේ කරන්න හදන්නේ කියලා. ඒ නිසයි අපි මෙයට විරුද්ධ වගේම ඊට එරෙහිව ගත හැකි නීතිමය කරුණු මොනවාද කියා සොයා බලමින් සිටිනවා," වනජීවී සහ ස්වභාව ආරක්ෂණ සංගමයේ හිටපු සභාපති ස්පෙන්සර් මැනුවල්පිල්ලේ එලෙස පැවසුවේය.

රිලවුන් චීනයට යැවීම හෝ එම සතුන්ගේ ගහණය පාලනය කිරීමට වෙඩි තැබීම ගොවීන් අනුමත කරනවා ද?


රිලවුන් නිසා සෘජුවම ගැටලුවලට මුහුණ දී සිටින මෙරට ගොවි ජනතාව එම සතුන් චීනයට යැවීම සම්බන්ධයෙන් දරනු ලබන්නේ කුමන ආකාරයේ මතයක් ද යන්න සම්බන්ධයෙන් ද බීබීසී සිංහල සේවය සොයා බැලීමක් සිදු කරන ලදී.

මෙහිදී ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් සමස්ත ලංකා ගොවි සම්මේලනයේ සභාපති නාමල් කරුණාරත්න පවසා සිටියේ සතුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් රජය වගකීම දැරිය යුතු බවයි.

"කැලය ඇතුලේ සතුන්ට ජීවත්වීමට අවශ්‍ය පරිසරය ගොඩනැගීමේ වගකීම රජය සතුයි. කැලය ඇතුලේ සතුන්ට ආහාර හිඟවෙලා තිබෙනවා. ඒ කැලේ ඇතුලේ ඇතැම් ආක්‍රමණික ශාඛයන්ගේ ව්‍යාප්තිය වැඩි නිසා. උදාහරණයක් විදිහට ගත්තොත් ගිනිසිලියා කියන ආක්‍රමණික ශාඛය කැලෑ තුළ ව්‍යාප්ත වෙලා තිබෙනවා. "

"රිලවු, දඬු ලේන්නු, වදුරෝ කියන සත්තු සහ මිනිස්සු අතර විශාල ගැටුමක් තියෙනවා. අපගේ රටේ වගාබිම් වලින් සීයයට 40ක් පමණ වාර්ෂිකව නාස්ති වෙනවා මේ සත්තුන්ගේ ප්‍රශ්නයත් එක්ක. මේ රිලවුන්, වදුරන් සහ දඬු ලේන්නුන් ගෙන් පොල්ගස් වලට සිදුවන හානිය විශාලයි. මෙන්න මේ ගැටලුව කළමනාකරණය කරන්න ඕන. "

"මිනිස්සු සහ සත්තු අතර ඇතිවී තිබෙන මේ ගැටුම පාලනය කරන්න විද්‍යාත්මක ක්‍රමවේදයක් අනුගමනය කරන්න ඕන. මිනිස්සු අතර උපත් පාලන ක්‍රමයක් තිබෙනවා. ඒ වගේ ක්‍රමවේදයක් අනුගමනය කරමින් ගම්වැදී ඉන්න සත්තු ටික විද්‍යාත්මක ක්‍රමවේදයක් අනුගමනය කරමින් ඔවුන්ට හිමි නිජබිමට යවන්න ඕන ක්‍රමවේදයක් තියෙන්න අවශ්‍යයි. ඒ වගේම සතුන්ගේ බෝවීම පාලනය කරන්න ලෝකයේ ඇති ක්‍රමවේදයන් ගැන සොයා බලමින් කටයුතු කරන්න අවශ්‍යයි."

"මේ සත්තු චීනයට ඉල්ලන්නේ මසට නම්, ඒ පිළිබඳව රටේ තියෙන සංස්කෘතිය එක්ක වෙනත් ගැටලුවක් ඇතිවෙන්න පුළුවන්. අපි මේකෙදි මතුකරන කාරණය තමයි සත්තුන්ගේ ප්‍රශ්නය නිසා රටේ ආහාර නිෂ්පාදන ක්‍රියාවලියේ සියයට 40කට බලපෑම් එල්ලවෙලා තියෙනවා. ඒකේ වගඋත්තරකාරයා මිනිසායි. මිනිසා කියන්නේ සාමාන්‍ය ජනතාව නෙමෙයි රටේ පාලකයින්. මේ ප්‍රශ්නය සීරු මාරුවෙන් විසදන්න අවශ්‍යයි."

"මේ සත්තු පටවනවා කියන්නකෝ ඔක්කොම. එහෙම සත්තු පටවලා මේ ප්‍රශ්නයට විසඳුමක් ලැබෙනවා ද? මේ ප්‍රශ්නයට විද්‍යාත්මක ප්‍රවේශයක ඉදලා සියලු පාර්ශවයන් එක්වෙලා සාකච්ජා කරලා තීරණයන් ගන්න අවශ්‍යයි."

"ඒ වගේම සත්ව ගහනය පාලනයට කියලා රිලවුන් වැනි සතුන් වෙඩි තබා මැරීම සුදුසු නැහැ. එය අපේ රටේ සංස්කෘතියට ගැලපෙන්නේ නැහැ. විශේෂයෙන් රටේ සතුන් සම්බන්ධයෙන් තිබෙන අණපනත් අනුව ඊට ඉඩක් ලබා දෙන්නේ නැහැ," සමස්ත ලංකා ගොවි සම්මේලනයේ සභාපති නාමල් කරුණාරත්න මෙම ගැටලුව සම්බන්ධයෙන් සිය අදහස් ප්‍රකාශ කළේය.

රිලවුන් චීනයට යැවීම ස්ථිර ද?


මෙරට සිට චීනයට රිලවුන් ලක්ෂයක ප්‍රමාණයක් යැවීමට තීරණය කර අවසන් ද, එමෙන්ම මෙලෙස රිලවුන් ලක්ෂයක් ඉල්ලා සිටියේ කවුරුන් ද යන්න සම්බන්ධයෙන් බීබීසී සිංහල සේවය කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් කරුණු විමසීමක් සිදුකරන ලදී.

එහිදී එම අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක ධර්ම වන්නිනායක සඳහන් කර සිටියේ චීනය පුරා සත්ත්ව උද්‍යාන දහසක් පවත්වාගෙන යනු ලබන සමාගමක් විසින් මෙම ඉල්ලීම සිදුකර ඇති බවත් මේ දක්වා එම සතුන් ලබාදීම සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගෙන නොමැති බවයි.

"චීනයේ එක සමාගමක්, ඒ කියන්නේ චීනයේ සත්ත්ව උද්‍යාන දහසක් වගේ පවත්වාගෙන යන සමාගමක්. ඒ සමාගම කියන්නේ ඔවුන්ගේ සත්ත්ව උද්‍යානවලට රිලවු නැහැයි කියලා. ඔවුන්ට දැනට සිටින ප්‍රමාණය මදියි. ලංකාවේ රිලවු ලක්ෂ 30ක් විතර සිටිනවා. ඒ නිසා ඉන් ලක්ෂයක් පමණ ලබා දෙන්න කියලා ඉල්ලීමක් කළා."

"ඒ ඉල්ලීම ආවට පස්සේ කෘෂිකර්ම අමාත්‍යාංශය විදිහට අපිට තනිවම මේ සම්බන්ධයෙන් කටයුතු කරන්න බැහැ. වනජීවී සහ වන සංරක්ෂණ පනත තියෙන්නේ අපේ යටතේ නෙමෙයි. ඒ නිසා සියලුම අංශ කැඳවලා සාකච්ජාවක් කළා. ඒකට වනජීවී දෙපාර්තමේන්තුව ආවා, සත්ත්ව උද්‍යාන දෙපාර්තමේන්තුව, කෘෂිකර්ම අමාත්‍යාංශයත් ඇතුළුව සියලුම අංශ ගෙනල්ලා සාකච්ජාවක් කළා."

"දැනට තියෙන ප්‍රතිපාදන යටතේ සත්ත්ව උද්‍යාන වෙත සතුන් ලබාදීමේ ගැටලුවක් නැහැ. ඒ කියන්නේ සත්ත්ව උද්‍යාන සඳහා සතුන් ලබාදෙන්න පුළුවන්. රිලවා කියන්නේ ආරක්‍ෂිත ලැයිස්තුවේ සිටින සතෙක් නෙමෙයි. ඒ වුවත් මේ සම්බන්ධව වැඩිදුරටත් නීතිමය පසුබිමක් සකස් කරන්න අවශ්‍යයි කියලා අමාත්‍යතුමා පැවසුවා."

"ඒ අනුව මේ කරුණ සම්බන්ධයෙන් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරලා අමාත්‍ය මණ්ඩලය දැනුවත් කරලා, අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය මත මේ නීතිමය කටයුතු සම්පාදනය කරන්න කමිටුවක් පත් කරන්න. එතකොට ඒ කමිටුවට කෘෂිකර්ම අමාත්‍යාංශය, නීතිපති දෙපාර්තමේන්තුව, වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය, වනජීවී දෙපාර්තමේන්තුව, ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව නියෝජනය කරනවා. ඒ කමිටුව රැස්වී ගන්නා තීරණය අනුව තමයි ඉදිරි තීන්දු ගන්නේ. ඒ ඇරෙන්න රිලවුන් චීනයට යවන්න මේ වෙද්දී තීරණයක් අරන් නැහැ," කෘෂිකර්ම අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක ධර්ම වන්නිනායක බීබීසී සිංහල සේවයට පවසා සිටියේය.

මේ අතර රිළවුන් ඇල්ලීම සඳහා දුරස්ථ පාලකයකයින් ක්‍රියාත්මත කළ හැකි විශේෂ කූඩු වර්ගයක් හඳුන්වා දීමට ද කෘෂිකර්ම අමාත්‍යංශය විසින් සැළසුම් කර ඇත. එම කූඩු භාවිතා කිරීම සඳහා රිළවුන් අල්ලනු ලබන පුද්ගලයින්ට විශේෂ පුහුණුවක් ලබා දීමට ද නියමිතයි.

tew

'රිලවුන් ගේ මස් වලට ඉල්ලුමක් නැහැ'


රිලවුන්ගේ මාංශ ආහාරයට ගැනීමට ජනතාව පෙළඹී සිටියානම් මෙවැනි ගැටලුවක් පැන නොනැගීමට තිබු බව පරිසරය යුක්ති කේන්ද්‍රයේ ජ්‍යෙෂ්ඨ උපදේශක හේමන්ත විතානගේ පවසයි.

බීබීසී සිංහල සේවය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ එම සත්වයාගේ මස් වල රසය සම්බන්ධව ඇති ගැටලුවක් එලෙස ඔවුන් මිනිස් පරිභෝජනයට නොගැනීමට හේතුවක් වී ඇති බවයි.

"රිලවුන් ගේ මස් වලට ඉල්ලුමක් නැහැ. රිලවුන්ගේ මස්වල රහ නිසා මිනිසුන්ගේ ඉල්ලුමක් නැහැ ඕකට. ඒ වගේම මේ සතා මනුස්සයෙක්ගේ රූප ලක්ෂණ තියෙන නිසා මිනිසුන් එම මස් කෑමට පෙළඹෙන්නේ නැහැ. ඒ නිසා තමයි මේ වර්ගය වැඩි වෙලා තියෙන්නේ. ඉත්තෑවෝ, වල් ඌරන් වැනි සතුන් මිනිස්සු කනවා නේ. නමුත් මේ සතාව කන්නේ නැහැ. ඒ වගේම මොණරව කන්නේ නැහැ දෙවියන්ගේ වාහනය හන්දා. එකක් සංස්කෘතික සහ ආගමික කියන කරුණු දෙක නිසා මේ ප්‍රශ්නය ඇතිවෙලා තියෙන්නේ." යනුවෙන් හෙතෙම අදහස් දැක්වීය.

රිලවුන්ගෙන් ගෙවතු සහ වගාවන්ට සිදුවන හානි වැඩිවීමට තවත් හේතුවක් ලෙස රටේ සිදුවන වන විනාශය සහ මිනිස් ක්‍රියාකාරකම් ද ප්‍රධාන කරුණක් වී ඇති බව ඔහු සඳහන් කළේය.

"දැන් ඔය කතා කරන ගොවියෝ, දේශපාලකයින් නිසා වනාන්තර වලට සිදුවෙලා තියෙන හානිය බලන්න. ඒ වගේම බලන්න වන්දනාවේ යන වන්දනා නඩවල සිටින අය. ඒ අය රටකජු, බිස්කට් වගේ ඔක්කොම දෙන නිසා මේ ගහනය වැඩි වෙලා තියෙන්නේ. කැලෑවේ ඇතුලේ ඔවුන්ට තියෙන ආහාර සීමා වෙන හන්දා රිලවුන්ගේ පරපුර සීමා වෙනවා. ඔවුන්ගේ අලුත් පැටවූ හැදෙන එක සීමා වෙනවා. වනාන්තරයෙන් එලියට ආවම ගෙවතුවල ඕන තරම් කෑම තියෙනවා, ආගමික ස්ථාන ආසන්නයේ තියෙන කසල භාජනවල කෑම තියෙනවා ඕන විදිහට. මේවා කාලා කාලා පැටවූ වර්ධනය වෙනවා. ඒ නිසා තමයි මේ ගැටලුව ඇතිවෙලා තියෙන්නේ. ඒ නිසයි අපි යෝජනා කරන්නේ කැලෑවන් නැවත ඇතිකරලා ඔවුන්ට ස්වභාවිකව ජීවත්වීමට හැකි පරිසරයක් නැවත සාදා දීය යුතුයි කියලා." යනුවෙන් හේමන්ත විතානගේ බිබිසි සිංහල වෙත පවසා සිටියේය.

චීනය සහ මාංශ වෙළඳපොළ


කෙසේ වෙතත් රිලවුන් චිනයට යැවෙන්නේ මාංශ පරිභෝජනයට ද යන්න පිළිබඳව මේ වන විට සමාජ මාධ්‍ය තුළ දැඩි කතා බහට ලක්වෙන මාතෘකාවකි. පරිසරවේදීන් මෙන්ම සමාන්‍ය ජනතාව ද මේ සම්බන්ධයෙන් විවිධ අදහස් පළ කරනු දක්නට ලැබේ.

චීනය ලෝකයේ විශාලතම පාරිභෝගික මස් වෙළඳපොළ ලෙස සලකනු ලැබේ. 1990 දශකයේ මුල් භාගයේ සිට චීනයේ මස් පරිභෝජනය ක්‍රමයෙන් වැඩි විය. 2021 දී, චීන ජාතිකයන් මස් ටොන් මිලියන 100කට ආසන්න ප්‍රමාණයක් පරිභෝජනය කළ බව වාර්තාවන් හි දැක්වෙයි.

සමස්තයක් වශයෙන් ගනු ලැබූ විට එය ගෝලීය මාංශ පරිභෝජනයෙන් සියයට 27ක ප්‍රමාණයක් බවත්, එමෙන්ම එම ප්‍රමාණය අමෙරිකා එක්සත් ජනපදයේ මුළු මාංශ පරිභෝජනය මෙන් දෙගුණයක් ලෙසත් සලකනු ලබයි.

ව්‍යාපාර සහ ආර්ථික විද්‍යා පර්යේෂණ ආයතනයක් වන මැකින්සි ග්ලෝබල් ආයතනය පෙන්වා දෙන්නේ චීනයේ දැවැන්ත ජනගහණය සහ වර්ධනය වන මධ්‍යම පන්තිය හේතුවෙන් ඉදිරි දශකය තුළ මාංශ වෙළඳපොළ සඳහා සැලකිය යුතු වෙළඳපල ඉල්ලුමක් ඇතිවනු ඇති බවයි.

2022 සහ 2026 යන කාල සීමාව තුල දී එහි වෙළඳපොළ ඉල්ලුම වසරින් වසර සියයට 1කින් වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කෙරෙන බව ද එම ආයතනය පෙන්වා දෙයි.

නවතම පුවත්

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website