බදාදා, 26 අප්‍රේල් 2023 21:08

පොලිසියේ නව පුටුපෙරළිය අනීතිකද? Featured

පොලිසියේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් 7දෙනෙකු ස්ථානමාරු කිරීම මේවන විට ආන්දෝලනයට ලක්ව තිබේ. ඒ මෙම ස්ථානමාරුවීම් අනීතික බවට නියෝජ්‍ය පොලිස්පතිවරුන් දෙදෙනෙකු අභියෝග කර සිටීම හමුවේය.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් 07 දෙනෙකුට ස්ථානමාරු...

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් 07 දෙනෙකුට පොලිස්පතිවරයා විසින් (අප්‍රේල් 25 වැනිදා) සිට ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබා දී තිබේ.

ජාතික පොලිස් කොමිෂන් සභාවේ ආවරණ අනුමැතියට යටත්ව සේවා අවශ්‍යතා මත මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ අනුමැතිය ඇතිව පොලිස්පතිවරයා විසින් මෙම ස්ථානමාරුවීම් සිදුකර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව පැවසීය.

ruo

කෙසේවෙතත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ගේ ස්ථාන මාරුවීම් සම්බන්ධයෙන් මේවන විට ආන්දෝලනයක් හටගෙන ඇත.

ඒ, දකුණු පළාත සහ මධ්‍යම පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් දෙදෙනා විසින් සිය ස්ථාන මාරුවීම් සම්බන්ධයෙන් ජාතික පොලිස් කොමිෂන් සභාවට ලිපි යොමු කිරීමත් සමගයි.

ස්ථාන මාරුවීම් නියෝගය අනීතිකයි..අසාධාරණයි.

දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කරනු ලබන අජිත් රෝහණ විසින් ජාතික පොලිස් කොමිසමේ සභාපති චන්ද්‍රා ප්‍රනාන්දු සහ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වියානි ගුණතිලක වෙත ලිපි දෙකක් යොමු කර තිබේ.

එම ලිපි මගින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කර ඇත්තේ තමන්ව නැගෙනහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස මාරුකර යැවීම සම්බන්ධයෙන් ගැටලුවක් පවතින බවයි.

තමන්ව නැගෙනහිර පළාතට මාරු කරන ලෙස මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් විසින් පොලිස්පතිවරයාට උපදෙස් ලබාදී ඇති බවත් අමාත්‍යවරයාගේ එම තීරණය ද්වේෂසහගත, ආසාධාරණ තීරණයක් බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ විසින් ජාතික පොලිස් කොමිෂන් සභාවේ සභාපතිවරයා වෙත යොමු කළ ලිපියේ දැක්වෙයි.

ඔහු සඳහන් කර ඇත්තේ අප්‍රේල් 18 වැනිදා පැවැති රැස්වීමකින් පසු, අමාත්‍යවරයා තමන් කැඳවා දකුණු පළාත පාලනයකින් තොර බව ප්‍රකාශ කර සිටි බවය.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ජාතික පොලිස් කොමිසමේ සාමාජිකයින්ට ආරාධනාකර සිටින්නේ බස්නාහිර සහ දකුණු පළාතේ වෙඩි තැබීම් ඇතුළු අපරාධ සිද්ධි පිළිබඳ සංඛ්‍යා දත්ත සසඳා බලන ලෙසය.

එමෙන්ම අමාත්‍යවරයා තමන් වෙත මෙම සියලු හිරිහැර කරනු ලබන්නේ එක් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු ආරක්ෂා කිරීමට බවද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පොලිස් කොමිසමේ සභාපතිවරයා වෙත යැවූ ලිපියේ දැක්වෙයි

vb

මහජන ආරක්ෂක අමාත්‍යවරයා කටයුතු කරන්නේ එක් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු ආරක්ෂා කිරීමට බවට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ චෝදනා කර සිටියි.

මේ අතර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ විසින් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වියානි ගුණතිලක වෙත ලිපියක් යොමු කරමින් මෙලෙස සඳහන් කර ඇත.

" අපගේ රටෙහි උත්තරීතර නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් පොලිස් නිලධාරියෙකුගේ ස්ථාන මාරුවීම් සිදු කිරීමට බලය ලබා දී ඇත්තේ ජාතික පොලිස් කොමිෂන් සභාවට වන අතර, ජාතික පොලිස් කොමිෂන් සභාවේ විසින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ගේ ස්ථාන මාරුවීම් අනුමත කිරීමට ඔබ වෙත කිසිදු බලයක් ලබා දී නොමැත බව කාරුණිකව දන්වා සිටිමි. තව ද, ස්ථාන මාරුවීම් පටිපාටියේ ' ආවරණ අනුමැතිය' යන්නෙන් සිද්ධාන්තයක් නොමැත.

"ඒ අනුව, පොලිස් කොමිෂන් සභාව මෙම ස්ථාන මාරුවීම් අනුමත කර නොමැතිනම්, ස්ථාන මාරුවීම් නියෝගය අනීතික හා නීතියට පටහැනි නියෝගයක් වන අතර, එය බලාතික්‍රමණයකි."

"පොලිස් ආඥා පනතේ 56 වැනි වගන්තිය අනුව සහ විජේසුරිය එදිරව රජය 1974 NLR 25 නඩුවේ තීරණය අනුව අනීතික නියෝගය ක්‍රියාත්මක කිරීමට මා බැදී නොමැත."

"ඒ අනුව, පොලිස් කොමිෂන් සභාවේ අනුමැතියකින් තොරව ලබා දී ඇති එම ස්ථාන මාරුවීම් නියෝගය ක්‍රියාත්මක කිරීමට මා බැඳී නොමැති බව කාරුණිකව දන්වා සිටිමි." යනුවෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ විසින් සිය ලිපියේ සඳහන් කර ඇත.

වසරක් තුල ස්ථාන මාරුවීම් 03ක්..

මේ අතර 2022 වසරේ අප්‍රේල් මාසයේ සිට මේ දක්වා තමන්ට ස්ථාන මාරුවීම් තුනක් ලබාදී ඇති බව මධ්‍යම පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය සඳහන් කර සිටියි.

ජාතික පොලිස් කොමිසමේ සභාපති චන්ද්‍රා ප්‍රනාන්දු වෙත ලිපියක් යොමු කරමින් ඔහු මේ බව සඳහන් කර ඇත.

එම ලිපියෙහි ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ තමන්ව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අපරාධ හා රථවාහන ලෙස ස්ථාන මාරු කිරීමට ගත් තීරණය අසාධාරණ හා හේතුවක් දක්වා නොමැති එකක් බවත්, ඊට එරෙහිව ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙසයි.

මිට පෙර ද එනම් 2022 වසරේ අප්‍රේල් මාසයේදි මධ්‍යම පළාත, වයඹ පළාත හා උතුරු පළාත භාර නිලධාරියා ලෙස විටින් විට අවස්ථා 03 කදී තමන් සේවා ස්ථානමාරුවීම් සඳහා ලක් වූ බව ඔහු අදාළ ලිපියෙන් පවසා තිබේ.

විනයගරුක නිලධාරියෙකු ලෙස තමන් මහජන ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා දුන් නියෝග ක්‍රියාත්මක කළ අතර පසුව එම ස්ථාන මාරු සිදුකළ ආකාරය පිළිබඳ සෑහීමකට පත් නොවීම සම්බන්ධයෙන් පොලිස්පතිවරයා වෙත අභියාචනයක් ඉදිරිපත් කළ බව ද එම ලිපියේ දැක්වෙයි.

එම අභියාචනයේ පිටපතක් ද කාරුණික පරික්‍ෂාව සඳහා යොමුකර ඇති බව ද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය, ජාතික පොලිස් කොමිසමේ සභාපතිවරයා වෙත යොමු කළ ලිපියේ සඳහන් වෙයි.

ජාතික පොලිස් කොමිසම මොකද කියන්නේ?

මේ සම්බන්ධයෙන් ජාතික පොලිස් කොමිෂන් සභාවේ සභාපති චන්ද්‍රා ප්‍රනාන්දුගෙන් බීබීසි සිංහල විමසීමක් කළේය.

ඔහු සඳහන් කළේ මාරුවීම් සම්බන්ධයෙන් ලිපියක් තමන්ට ලැබී නොමැති බවය.

ආවරණ අනුමැතිය යටතේ ආදාළ මාරුවීම් කිරීමෙන් අනතුරුව අනුමැතිය සඳහා යොමු කෙරෙන බව ඔහු සඳහන් කළේය.

චන්ද්‍රා ප්‍රනාන්දු කියා සිටියේ මෙවැනි ගැටළු පොලිස්පතිවරයා සමග සාකච්ඡා කර විසඳා ගත යුතුව තිබූ බවය.

ඔහු පැවසුවේ, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් ස්ථාන මාරු කිරීමේදී ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය හෝ ආවරණ අනුමැතිය ලබා ගත යුතු බවය.

හදිසියෙන් කරනු ලබන මාරු කිරීම් ආවරණ අනුමැතියට යටත්වන බවද ඔහු සඳහන් කළේය.

 

BBC

නවතම පුවත්

 චිරං ජයතු

සැප්තැම්බර් 28 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website