සෙනසුරාදා, 06 මැයි 2023 01:16

“ජාතික රෝහලේ ක්‍ෂුද්‍රජීවී අංශයේ අනාරක්‍ෂිත බවින් සේවකයන් දෙදෙනෙකුට මෙලියොයිඩෝසිස්” Featured

කොළඹ ජාතික රෝහලේ ක්ෂුද්‍රජීවවේදී අංශයෙහි සේවය කරන සෞඛ්‍ය කාර්ය සහායකයන් දෙදෙනෙකු අනාරක්ෂිත වැඩ පරිසරය හේතුවෙන් මෙලියොයිඩෝසිස් රෝගයට ගොදුරු වී ඇතැයි සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් පැවසීය.

මේ වන විට ඔවුන් දෙදෙනා රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවත් ඔහු කීය.

මෙලියොයිඩෝසිස් නම් බැක්ටීරියාව ඔවුන්ට ආසාදනය වී ඇත්තේ සිය රාජකාරි කටයුතු අතරතුර යැයි ද එය රාජකාරිමය අනතුරක් ලෙස සැලකීමට සාධක වැඩි නිසා ඒ පිළිබඳව විධිමත් විමර්ශනයක් සිදු කරන්නැයි ඉල්ලමින් සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය ශ්‍රී ලංකා ජාතික රෝහල නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්ගෙන් ලිඛිතව ඉල්ලීමක් කළ බවද හෙතෙම පැවසීය.

එම සෞඛ්‍ය කාර්ය සහායක නිලධාරීන් දෙදෙනා සේවය කරන අදාළ ක්ෂුද්‍රජීවී අංශයෙහි ඇති ජීවාණුහරණ යන්ත්‍රය වසරක පමණ සිට ක්‍රියා විරහිත වී පවතින බව රවී කුමුදේශ් කීය.

ඒ සම්බන්ධයෙන් ප්‍රධාන වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ නිලධාරියා, ක්ෂුද්‍රජීවවේදඥවරියව දැනුවත් කර ඇතත් ඒ සඳහා කිසිදු පිළියමක් ගෙන නොමැති බවට ඔහු චෝදනා කළේ ය.

විවිධ රෝග තත්ත්ව හඳුනා ගැනීමට සැක සහිත රෝගීන්ගේ ජෛව සාම්පල තුළ ඇති ආසාදිත ක්ෂුද්‍ර ජීවීන් මේ රසායනාගාර තුළ වගා කොට රසායනාගාර පරික්ෂා කිරීම් සිදු කරන බව ද හෙතෙම පෙන්වා දුන්නේ ය.

එවන් ස්ථානයක ඇති ජීවානුහරණ යන්ත්‍රයක් වසරක් තිස්සේ ක්‍රියා විරහිතව තිබියදීත් ආරක්ෂිත ක්‍රමවේදයන්වලට සම්පූර්ණයෙන් පටහැනි අයුරින් ආසාදිත ක්ෂුද්‍රජීව වගා පිරිසිදු කරන ලෙස මෙහි සේවකයන්ට නියෝග කොට ඇතැයි ද ඔහු ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්ට යොමු කළ ලිපියෙන් චෝදනා කොට ඇත.

අනාරක්ෂිත වැඩ පරිසරයක් තුළදී මේ බැක්ටීරියාව ආසාදනය වූ සෞඛ්‍ය සහායකවරයෙක් එම රෝගයෙන් ආසාදනය වී රෝහල්ගතව තිබියදී පවා, ඒ හා සමාන රෝග ලක්ෂණ ඇති වූ අනෙක් සෞඛ්‍ය සහායිකාවට ප්‍රතිකාර සඳහා රෝහල්ගත නොවන ලෙසට එහි සිටින ක්ෂුද්‍රජීවවේදී විශේෂඥ වෛද්‍යවරියක බලපෑම් කොට ඇති බව ද රවී කුමුදේශ් යොමු කළ ලිපියෙහි සඳහන් වේ.

frty

 

නවතම පුවත්

 චිරං ජයතු

සැප්තැම්බර් 28 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website