අඟහරුවාදා, 09 මැයි 2023 21:27

ළමා මනස පරිස්සමින් හඳුනාගන්න Featured

නමින් කතා කිරීම ළමා මනසට කොතරම් බලපාන්නේද?

ළමා මනස ඉතාමත් සංවේදීය. ළදරුවාගේ උපතේ සිට කුටුම්භය තුළ ගත කරන කාල පරාසය ඉතාමත් වැදගත්ය. දරුවා මෙළොව එළිය දුටු විගස හඳුනා ගන්නේ තමන්ගේ මව හා පියාය. ප්‍රථම නැදෑකම ඇති කරගන්නේ තමන්ගේ පවුල සමඟය.

දෙමාපියන් සමීපයේ හැදී වැඩෙන දරුවාට ආදරය සෙනෙහස අත්‍යවශ්‍යම උපාංගයන්ය. මෙම කාලය තුළ දරුවාට සිදු වන සිදුවීම් ඔහුගේ හෝ ඇයගේ මනසට තදින්ම බලපානු ලබයි.

කුඩා දරුවන්ට ඇති වන මානසික ආතතිය පිළිබඳව වැඩිහිටි සමාජයේ අවධානය යොමු විය යුතුය.

කුඩා කාලයේදී දරුවාට ඇති වන මානසික ආතතිය සමස්ත ජීවිතයේම පැවැත්ම තීරණය වීමට බලපෑ හැකිය. කුඩා කාලයේදීම දරුවාට ආදරණීය නමක් පටබැඳ භාවිත කරයි. මෙය දෙමාපියන් දරුවාට ආදරය කරන ක්‍රියාවකි. කාලයත් සමඟ එය දරුවාට බලපාන්නේ කෙසේදැයි ඔවුන් නොසිතයි. බොහෝ විට පවුලේ වැඩිමහල් දරුවා මේ තත්ත්වයට ගොදුරු වේ. මෙම වෙනස දරුවාට දැනෙන්නට පටන්ගන්නේ පවුලට තවත් සාමාජිකයකු එකතු වූ පසුවය. ආදරණීය වදන්වලින් ආමන්ත්‍රණය බැඳීමක් හදවතට සමීප වීමට ඉවහල් වේ. දරුවන් අම්මාට “අම්මා” යැයි ආමන්ත්‍රණය නොකර වෙනත් නමකින් ආමන්ත්‍රණය කළ විට ඒ බැඳීමේ දුරස්ථභාවයක් දැනෙයි. දරුවන්ටද එසේමය. දරුවන් සෑම විටම ආදරය සොයයි. දරුවන්ට පටබැඳි නාමයන්ගෙන් ආමන්ත්‍රණය කිරීම දෙමාපියන් විසින් නොකළ යුතුය. “දුව”, “පුතා”, “දෝණි”, “චූටි පුතා” වැනි ආමන්ත්‍රණයකට දරුවන් ප්‍රිය කරයි. දෙමාපියන් තම දරුවන්ට එකසේ ඇලුම් කරයි. පවුල තුළ එක් එක් දරුවාට වෙනස් ආකාරවලින් සැලකීම ළමා මනස තුළ ආතතිය ඇති වීමට හේතුවේ. දෙමාපියන් වැඩිමහල් දරුවාට පටබැඳි නමින් ආමන්ත්‍රණය කොට කුඩා දරුවාට චූටි පුතා යනුවෙන් ආමන්ත්‍රණය කරයි. දෙමාපියන් මෙය සිතා මතා නොකළද මේ තුළින් දරුවන් පරස්පරතා ඇති කර ගනියි. ආදරය ගැටලුසහගත තත්ත්වයකට ගෙන ඒමට මෙය බලපානු ලබයි. මෙවැනි ආකල්පයක් දරුවන් තුළ ඇති වීම තුළින් පවුල සහ දරුවා අතර පවතින අන්තර් සබඳතාවය දුරස්වීමට මෙය බලපානු ලබයි. කුඩා කාලයේදී දෙමාපියන්ගේ වියෝවීම්, පාසලේ සම වයස් මිතුරන් නිසා ඇති වන ගැටලු ළමා මානසික ආතතිය ඇති වීමට හේතු වේ.

සම වයස් මිතුරන් නුසුදුසු ලෙස නම් පටබැඳීම ඔවුන් අතරින් කොන් කිරීමට ලක් කිරීම තුළින් ඇති වන බලපෑම අවදානම්ය.

වැඩිහිටියන් මේ පිළිබඳව නිසි අවබෝධයක් ලබා තිබීම තුළින් විය හැකි බලපෑම් පාලනය කරගත හැක. බෝහෝ දරුවන් තමන්ට ඇති අසනීප තත්ත්වයන් පිළිබඳ අවශ්‍ය ප්‍රමාණයටත් වඩා සිතයි. එමෙන්ම කලකිරීමට පත් විය හැක. දරුවන්ගේ ක්‍රියාකාරකම්වල ස්වභාවය පිළිබඳව අවධානයෙන් සිටීම වැදගත්ය. වැඩිහිටියන් විසින් දරුවන්ට නුසුදුසු දඬුවම් ලබා දීම නොකළ යුතුය. ඒ ඔස්සේ දරුවා කායික මෙන්ම මානසික පීඩාවන්ට ගොදුරු වීමේ හැකියාව ඇත. දෙමාපියන් එකිනෙකාගෙන් වෙන් වීම නිසා දරුවාට එක් අයෙකු මුණගැසිමේ ඉඩ ඇහිරී යා හැක. මෙවැනි තත්ත්වයන් ළමා මනසට සෘජුව බලපානු ලබයි. මෙවැනි ගැටලුකාරී අවස්ථාවන් ඇති වීමේ ඉඩකඩ අවම කිරීමට වැඩිහිටියන් වගබලාගත යුතුය. අධ්‍යාපනයට සියලු දෙනාම එකසේ දස්කම් නොපායි.

එබැවින් පීඩාකාරී අයුරින් දරුවන්ට බලපෑම් කිරීම නොකළ යුතුය. ඛේදජනක අවස්ථාවන්ට මූලබීජය මේ තුළින් ගොඩනැඟිය හැකිය.

අධ්‍යාපන දුර්වලතා හෝ වෙනත් කරුණු නිසා නිතරම දෙමාපියන්ගේ සහ ගුරුවරුන්ගේ දෝෂාරෝපණයට ලක් වීම අනාගතය පිළිබඳව බියක් ඇති කර ගැනීම ළමා මනසට බලපානු ලබයි. ළමා හිංසනවලට ලක් වීම ළමා අතවරවලට ගොදුරු වීමට සිදුවීමෙන් ව්‍යසනකාරී තත්ත්වයන්ට මුහුණ දීමට මඟ සැලසේ. විභාගවලට අනිසි ලෙස බියක් ඇති කර ගැනීම මෙන්ම වැඩිහිටියන් දරුවාගේ හැකියාවට වැඩියෙන් බලාපොරොත්තු වීම තුළින් අවදානම්සහගත තත්ත්වයන්ට මුහුණ දිය හැකිය. දරුවන්ගේ හෝමෝනවල හදිසි වෙනස්කම් සිදුවීමෙන් මොළයේ සංයුතිය වෙනස් වී යා හැකිය. මානසික ආතතිය ඇති වීමටද එය ප්‍රබල ලෙස සාධක සපයනු ලැබේ. වැඩිහිටියන් දරුවන් සමඟ සබඳතා ගොඩනඟා ගැනීමේදී ඉතාමත් අවබෝධයෙන් යුතුව ඔවුන් සමඟ කටයුතු කළ යුතුය. සෑම විටම දරුවාගේ හොඳම යහළුවා විය යුතුය. අනවශ්‍ය ලෙස මනසට පීඩාකාරී යැයි හැඟෙන දරුවා අකමැති දේට පෙළඹවීම නොකළ යුතුය.

දරුවාගේ සිතැඟි අවබෝධ කර ගැනීමට හැකියාව තිබිය යුතුය.

දරුවකු මෙම තත්ත්වයන්ට ගොදුරු වූ විට එය හඳුනා ගැනීමට හැකි ලක්ෂණ කිහිපයක් ඇත. කෑම අරුචිය, මතක ශක්තිය දුර්වල වන බව දැනීම, තමාටම තුවාලකර ගැනීමට පෙළඹීම, පවුලේ සාමාජිකයන්ගෙන් ඈත් වීම, මිතුරන්ගෙන් ඈත් වීම, දරුවාගේ බර අඩු වීම, වැඩිපුර නිදා ගැනීම හෝ පමණට වඩා නිදි මැරීම ඔවුන් තුළින් දැකගත හැකිය. මේ පිළිබඳව වැඩිහිටියන්ට අවබෝධයක් තිබීමත් අවශ්‍ය සාධකයක් ය. මෙවැනි අවස්ථාවක් හඳුනාගත් විගස දරුවා අපහසුතාවයට පත්වන ආකාරයේ ප්‍රශ්න ඇසීමෙන් වැළකිය යුතුය. එමෙන්ම දරුවා තනි වී නොමැති බව දරුවාට දැනෙන සේ දරුවාට ආදරයෙන් ළං විය යුතුය. එමෙන්ම දරුවාගේ ගැටලුව සහ සිතේ ඇති වේදනාව අසා දැන ගැනීමට තරම් දෙමාපියන් සූක්ෂම විය යුතුය.

ක්‍රීඩා කිරීමට හෝ ව්‍යායාම කිරීමට දරුවා පෙළඹවීම මගින් සිරුර වෙහෙසෙන විට මානසික ආතතිය බොහෝ දුරට පාලනය කර ගත හැකිය.

එමෙන්ම දරුවාගේ ගුරුවරුන් දැනුවත් කිරීමෙන් ඔවුන් අතින් දරුවාට සිදු වන ගැටලු අවම කරගත හැකිය. මානසික ආතතිය ඉහළ නංවන ක්ෂණික ආහාර වර්ග ලබා දීමෙන් වැළකිය යුතු අතර සමබර ආහාර වේලක් ලබා දිය යුතුය. නිසි පෝෂණය මානසික ආතතිය පාලනය කර ගැනීමට සහය සලසනු ලබයි. එමෙන්ම දරුවාව මනෝ උපදේශකවරයකු වෙත ගෙන යෑමද නිවැරදි ක්‍රියාමාර්ගයක් වේ. මෙවැනි තත්ත්වයන් සමනය කිරීමට ඔවුන් මනා හැකියාවක් සහිත පුද්ගලයන් වූ බැවින් අනවශ්‍ය බියක් ඇති කර නොගත යුතුය.

මනෝ උපදේශකවරයකු හමුවීමට සිදුවීම ලැජ්ජාවට කරුණක් සේ නොසිතිය යුතුය.

දරුවාගේ අනාගතය සාර්ථක කර ගැනීමට හොඳම ක්‍රමය එය විය හැකිය. දෙමාපියන් දරුවන් පිළිබඳ විෂයෙහි මනා අවබෝධයකින් කටයුතු කළ යුතුය. දරුවන් බලාපොරොත්තු වන ආදරය ලබා දිය යුතුය. කුටුම්භය තුළින් දරුවාට ලැබෙන ආදරය ගිලිහෙන විට දරුවා වෙනත් අයගේ අවධානයට යොමු වීමට උත්සාහ දැරිය හැකිය. පවුල තුළින් නොලැබෙන ආදරය, ආදරණීය ආමන්ත්‍රණය පිටස්තරයාගෙන් ලැබීම තුළින් දරුවා ඔවුන්ට වඩාත් සමීප විය හැකිය. තම පවුල හැරදා පිටින් ලැබෙන ආදරය වෙත යෑමට වුවද දරුවා පෙළඹිය හැකිය. එබැවින් ඔවුන්ගේ සිතැඟි තේරුම් ගැනීමට වැඩිහිටියන් සූක්ෂම විය යුතුය.

දරුවාට ඇති විය හැකි මානසික ආතතියෙන් ඔවුන් මුදා ගැනීමට නම් දරුවාට සමීප වන්න. හොඳම යාලුවා වන්න. ඒ තුළින් ඔබට දීප්තිමත් අනාගතයකට උරුමකම් කියන වටිනා දරුවකු නිර්මාණය කරගත හැක.

 

ආර්. ඩී. ඩී. සේපාලිකා සෙව්වන්දි
ජනසන්නිවේදන අධ්‍යයන අංශය.
කැළණිය විශ්වවිද්‍යාලය.

නවතම පුවත්

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website