සෙනසුරාදා, 20 මැයි 2023 11:06

පාස්පෝර්ට් කාක්කෝ 9ක් අත්අඩංගුවට – ජාවාරමට හවුල් නිලධාරීන් සොයන්නත් පරීක්‍ෂණ Featured

ආගමන විගමන දෙපාර්තමේන්තුවේ සංවිධානාත්මක කණ්ඩායමක් සහ තැරැව්කරුවන් පිරිසක් එක්ව රුපියල් 25,000 බැගින් මුදල් ලබාගෙන පිට පාරෙන් ගොස් විදේශ ගමන් බලපත්‍ර ලබාදීමේ ජාවාරමක සුලමුල හෙළිකර ගත් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ඊට සම්බන්ධ තැරැව්කරුවන් 09 දෙනකු ඊයේ (19 දා) අත්අඩංගුවට ගෙන ඇත.

මෙම මහා පරිමාණ ජාවාරමට සම්බන්ධ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ සංවිධානාත්මක කණ්ඩායමක් ද අත්අඩංගුවට ගැනීම සඳහා පුළුල් විමර්ශන ආරම්භ කර තිබේ.

විදේශ ගමන් බලපත්‍ර ලබාගැනීමට විශාල ජනකායක් දෛනිකව ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත පැමිණෙන අතර එහි ගමන් බලපත්‍ර නිකුත් කරන්නේ සීමිත පිරිසකට පමණි.

මේ හේතුව නිසා එම දෙපාර්තමේන්තු භූමියේ රැඳී සිටින තැරැව්කරුවන් රුපියල් 25,000 බැගින් මුදල් ලබාගෙන විදේශ ගමන් බලපත්‍ර ලබාදීම ඉතාම සංවිධානාත්මක අන්දමින් සිදුකරන බව පොලිස් විමර්ශනවලින් අනාවරණය විය.

ඒ අනුව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීහු පසුගිය දින කීපය පුරා ම ආගමන විගමන දෙපාර්තමේන්තු කාර්යාලයේ වෙස්වලාගෙන විමර්ශනයක් සිදු කළහ.

ඊයේ දිනයේ දී මෙම සංවිධානාත්මක ජාවාරම කරගෙන ගිය තැරැව්කරුවෝ 09 දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබූහ.

විමර්ශනවලින් හෙළිවී ඇත්තේ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් මෙම තැරැව්කරුවන් සමග සම්බන්ධවී මෙම ජාවාරම කරගෙන යන බවයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණය වෙත අද ඉදිරිපත් කිරීමට නියමිතය.

විදේශ ගතවීමේ අරමුණෙන් දුර බැහැර සිට පැමිණෙන අහිංසක ජනතාව රවටා ඔවුන්ගෙන් මේ ආකාරයට මුදල් ලබා ගන්නා තැරැව්කරුවන් සහ දූෂිත නිලධාරීන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් දිගටම ක්‍රියාත්මක කරන බව පොලිස් මූලස්ථානය පවසයි.

 

හේමන්ත රන්දුණු, චමින්ද සිල්වා

නවතම පුවත්

 චිරං ජයතු

සැප්තැම්බර් 28 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website