සෙනසුරාදා, 20 මැයි 2023 11:16

වෛරය වපුරන්න එපා – කැනඩා අගමැතිට ශ්‍රී ලංකාවෙන් සැර උත්තරයක් Featured

මෙරට යුද සමයේ ජන සංහාරයක් වූ බවට කැනේඩියානු අගමැති ජස්ටින් ටෘඩෝ පෙරේදා (18දා) කළ ප්‍රකාශය වගකීම් විරහිත පක්‍ෂග්‍රාහී එකක් බවත් එය සාමය සංහිඳියාව වෙනුවට වෛරය ව්‍යාප්ත කිරීමක් බවත් විදේශ අමාත්‍යාංශය ඊයේ විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේය.

එම නිවේදනයේ මෙසේ ද දැක්වේ.

වෛරී, සාවද්‍ය තොරතුරු සහ අන්තවාදී අදහස් ප්‍රවර්ධනය කරන ගෝලීය වේදිකාවක් බවට කැනඩාව පත් කිරීමෙන් වළකින ලෙසත්, විකෘති කරුණු මත පදනම්ව ශ්‍රී ලංකාව කෙරෙහි දක්වන අනවශ්‍ය අවධානය නවතාලන ලෙසත් ශ්‍රී ලංකාව කැනඩාව සහ එහි නායකයන්ගෙන් ඉල්ලා සිටියි. මෙම ක්‍රියාව, “ලොව පුරා මානව හිමිකම් සුරකිමු” යනුවෙන් කැනේඩියානු අග්‍රාමාත්‍යවරයා සිදුකර ඇති අරමුණට පටහැනි වේ.

කැනඩාව තුළ තම පැවැත්ම තහවුරු කරගැනීමේ අරමුණින් සාවද්‍ය තොරතුරු පතුරුවා හරිමින් ව්‍යාජ වෛරයක් නිර්මාණය කිරීමට වෙහෙසෙන, දේශපාලනීකරණයට ලක් වූ ශ්‍රී ලංකා විරෝධී කොට්ඨාස ‘ජන සංහාරය’ පිළිබඳව හිතාමතා නිර්මාණය කර ඇති මෙම පදනම් විරහිත ප්‍රකාශය ශ්‍රී ලංකාව දැඩි ලෙස ප්‍රතික්ෂේප කරයි. සමාජ මාධ්‍ය වේදිකා ඇතුළුව විවිධාකාරයෙන් පළ වන දුෂ්ට තොරතුරු හරහා ඉස්මතු වන අන්තරායන්ට එරෙහිව මුළු ලොවම සටන් කරන මොහොතක මෙවැනි ක්‍රියාමාර්ගවලට එළඹීමෙන් වළකින ලෙස අපි ඉල්ලා සිටිමු.

දශක තුනකට අධික කාලයක් මුළුල්ලේ ලොව කුරිරුතම ත්‍රස්තවාදී සංවිධානයක් වන එල්.ටී.ටී.ඊ. සංවිධානය මෙහෙයවූ කුරිරු ත්‍රස්තවාදය හේතුවෙන් මෙරට සෑම ප්‍රදේශයකම විසූ දමිළ, මුස්ලිම්, සිංහල යන සියලුම ජන කොටස් පීඩාවට ලක්විය. මෙකී සියලුම ජන කොට්ඨාසවල ජීවනාලිය හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් යටපත් කෙරිණි. ශ්‍රී ලංකාවේ සහ විදේශීය නායකයන් මෙන්ම මධ්‍යස්ථ දමිළ නායකයන් ද එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් ම්ලේච්ඡ ලෙස ඝාතනය කරන ලදී. මෙම ත්‍රස්තවාදී සංවිධානය පරාජය කිරීම හේතුවෙන් මෙරට ආරක්‍ෂාව සහ ස්ථාවරත්වය ගොඩනැගීමට අවස්ථාව උදාවිය. කැනඩාව ඇතුළු ප්‍රජාතන්ත්‍රවාදී රටවල් කිහිපයක එල්.ටී.ටී.ඊ. සංවිධානය තවදුරටත් තහනම් කර ඇත. මෙරට ස්වෛරීභාවය, ඒකීයභාවය සහ භෞමික අඛණ්ඩතාව ආරක්‍ෂා කිරීම සඳහා ඉදිරියට පැමිණි ශ්‍රී ලාංකික රණවිරුවන් රැසක් ඝාතනයට ලක්වූ අතර තවත් බොහෝ දෙනකු ආබාධිත තත්ත්වයට පත් විය.

ශ්‍රී ලංකාව සහ කැනඩාව අතර හරවත් සහ අන්‍යොන්‍ය වශයෙන් ශක්තිමත් සබඳතාවක් පවත්වන ශ්‍රී ලාංකික සම්භවයක් සහිත කැනේඩියානු ප්‍රජාව හරහා දෙරටේ සබඳතා ශක්තිමත් වී ඇත. කැනඩාවේ සහ විදේශ රටවල ප්‍රජාවන් ධ්‍රැවීකරණයට ලක් නොවන පරිදි මෙම වේදිකාව භෘවිතා කරන ලෙසත්, මිනිසුන් අතර මිත්‍රත්වයේ සහ සහජීවනයේ බැඳීම් නිර්මාණය කිරීමට දායක වන ලෙසත් අපි කැනේඩියානු රජයෙන් සහ එහි නායකයන්ගෙන් ඉල්ලා සිටිමු.

 

නවතම පුවත්

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website