සෙනසුරාදා, 27 මැයි 2023 14:47

අත්අඩංගුවට ගැනීම වළක්වන නියෝගයක් ඉල්ලා ජෙරොම් උසාවි යයි Featured

තමා විසින් පවත්වන ලද දේව මෙහෙයකදී බෞද්ධාගම ඇතුළු අන්‍යාගම්වලට අපහාස වන ප්‍රකාශයක් කළ බව පවසමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමන් අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ඇති බැවින් එය වළක්වන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා දේවගැති ජෙරොම් ප්‍රනාන්දු විසින් ඊයේ (26) ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කරන ලදි.

නීතිඥ උදාර මුහන්දිරම් මහතා මඟින් ඉදිරිපත් කර ඇති මේ පෙත්සමහි වගඋත්තරකරුවන් ලෙස පොලිස්පතිවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා, එහි අධ්‍යක්ෂවරයා සහ පරිගණක අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා නම් කරනු ලැබ සිටිති.

සිය අනුගාමිකයන් රැස් වූ දේව මෙහෙයක් ඉකුත් අප්‍රේල් 30 දා පැවැත්වුණු අතර, එහිදී තමා සිදු කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව දැන ගැනීමට ලැබුණු බව පෙත්සම්කරු කියයි.

තමන්ට එරෙහිව සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත සහ දණ්ඩ නීති සංග්‍රහය යටතේ පොලිසිය විසින් පරීක්ෂණ සිදු කරන බව දැන ගැනීමට ඇති බව පවසන පෙත්සම්කරු එම සිද්ධියට අදාළව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර තමන්ව සැකකරුවකු ලෙස නම් කිරීමටද පොලිසිය පියවර ගෙන ඇතැයි සඳහන් කරයි. තමාගේ එකී ප්‍රකාශය හේතුවෙන් ආගමික අසමඟියක් නිර්මාණය වන බව පොලිසිය විසින් ප්‍රකාශ කළද ඒ බව තහවුරු කිරීම සඳහා වන සිද්ධි හෝ සාක්ෂි පොලිසිය විසින් අධිකරණයට ඉදිරිපත් කර නැති බව ඔහු පෙන්වා දෙයි. තමා සිදු කළ ප්‍රකාශය මඟින් එම වැරදි උද්ගත නොවන බව පෙන්වා දෙන පෙත්සම්කරු එය ස්වකීය මතය පළ කිරීමක් පමණක් බව අවධාරණය කරයි. ඒ අනුව පොලිසිය විසින් තමා අත්අඩංගුවට ගත හොත් එය නීතිවිරෝධි බව පෙන්වා දෙන පෙත්සම්කරු එමඟින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට ප්‍රකාශ කරයි.

ඒ බවට තීන්දුවක් දෙන ලෙස සහ මේ පෙත්සම විභාග කොට අවසන් තීන්දුවක් ප්‍රකාශයට පත් කරන තුරු තමා අත්අඩංගුවට ගැනීම වළක්වන නියෝගයක් වග උත්තරකරුවන්ට නිකුත් ලෙස පෙත්සම්කාර දේවගැතිවරයා අධිකරණයෙන් ඉල්ලා සිටී.

නෙල්කා මැදගෙදර

නවතම පුවත්

 චිරං ජයතු

සැප්තැම්බර් 28 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website