රට බංකොලොත් බව ප්‍රකාශයට පත්කිරීමෙන් පසු ඉකුත් වසරක කාලයේදී රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් තුන්සිය හැත්තෑපහකට අධික පිරිසක් හා අනෙකුත් වෛද්‍යවරුන් දසදහසකට ආසන්න පිරිසක් රටහැර යෑමත්, රෝහල්වලට අවශ්‍ය හෘද කැතිටකරණ, ඖෂධ හා අනෙකුත් වෛද්‍ය උපකරණ හිඟය නිසාත් රෝහල්වල ප්‍රතිකාර කටයුතු මේ වනවිට දැඩි අර්බුදයකට ගොස් ඇතැයි වෛද්‍යවරු පවසති.
විශේෂඥ වෛද්‍යවරුන්ගේ හා අනෙකුත් වෛද්‍යවරුන්ගේ හිඟය නිසා කිලිනොච්චිය, මුලතිව්, අනුරාධපුර, තංගල්ල, හම්බන්තොට, දෙහිඅත්තකණ්ඩිය ඇතුළු රජයේ රෝහල් ගණනාවක ප්‍රතිකාර සායන හා සැත්කම් කටයුතු බරපතළ ලෙස කඩාවැටීමකට ලක්ව ඇතැයි විශේෂඥ වෛද්‍යවරු පැවැසූහ.
මේ අතර මහනුවර රෝහලේ හෘද සැත්කම් සඳහා අත්‍යවශ්‍ය හෘද කැතිටකරණ යන්ත්‍ර දෙකෙන් එකක් අක්‍රියවීම නිසා පොරොත්තු ලේඛනයේ සිටින හෘද රෝගීන් 8024 දෙනකුගේ ජීවිත බරපතළ අනතුරකට ලක්ව තිබෙන බව රෝහල් ප්‍රකාශකයෙක් සඳහන් කළේය.
ඒ සම්බන්ධයෙන් රජයේ විකිරණ විද්‍යා තාක්‍ෂණවේදීන්ගේ සංගමයේ සභාපති චානක ධර්මවික්‍රම මහතා මාධ්‍ය හමුවේ කියා සිටියේ හෘද රෝගීන්ගේ හෘද කපාටවල ඇති දෝෂ හදුනාගැනීම, රුධිර කිරීටක ධමනි අවහිරවීම් හා ස්ටෙන්ට් ආදී කටයුතු කිරීමට අත්‍යවශ්‍ය කැතිටකරණ යන්ත්‍ර දෙකෙන් එකක් අක්‍රිය වී ඇති බවයි. අනෙක් යන්ත්‍රය ද දෝෂ සහිත බැවින් හෘද රෝගීන් රෝගය හඳුනාගැනීමට පෙර මියයෑමේ අවදානමකට ලක්ව සිටින බවයි.
මෙම රෝග හඳුනාගැනීම පුද්ගලික රෝහලකින් කර ගැනීමට රුපියල් ලක්‍ෂයක් පමණ වැයවන බවත් ස්ටෙන්ට් දැමීමට නම් රුපියල් ලක්‍ෂ දහයක් දොළහක් වැයවන බවත් ඔහු කීවේය.
මීට අමතරව රිජ්වේ ආර්යා ළමා රෝහලේ ද වකුගඩු පරීක්‍ෂණ යන්ත්‍ර, පිළිකා හදුනාගන්නා උපකරරණවල සහ ඖෂධවල බරපතළ හිඟයක් ද මතුවී තිබේ.
රෝහලේ අධ්‍යක්‍ෂිකා විශේෂඥ වෛද්‍ය හිමාලි විජේගුණසේකර මහත්මිය අප වෙත පවසා සිටියේ ගම්පහ රජයේ මූලික රෝහලේ පවතින බෙහෙත් හිඟයට විසඳුමක් වශයෙන් පරිත්‍යාගශීලීන්ගෙන් අවශ්‍ය බෙහෙත් ලබාගැනීමට ක්‍රියාකරන බවයි.
හදවත් රෝගීන්ට අවශ්‍ය බෙහෙත් ලබාගැනීම සඳහා මෙම පියවර ගැනීමට තීරණය කළ බවද ඇය සඳහන් කළාය.
කොලෙස්ටරෝල්, ප්‍රෙෂර් මෙන්ම දියවැඩියාව සඳහා බරපතළ ඖෂධ හිඟයක් තිබෙන අතර මෙම ඖෂධවල ලැයිස්තුවක් පරිත්‍යාගශීලීන්ගෙන් ගෙන්වා ගැනීමට එම ලැයිස්තු, සංවර්ධන සභාවට සහ සංවර්ධන පදනමට භාරදුන් බවද ඇය සඳහන් කළාය.
මේ අතර මෙම රෝහලට මුදල් අයකරන වාට්ටු පහක් ආරම්භ කිරීම පිළිබඳ රෝහල් අධ්‍යක්‍ෂවරියගේ දැඩි අවධානය යොමුවී ඇත. මේ අතර මෙරට සමස්ත වශේෂඥ වෛද්‍යවරු දෙදහස් හාරසියයක් පමණ සිටින බවත් ඔවුන්ගෙන් දෙසිය අසූවක් පමණ වයස අවුරුදු හැට පිරී විශ්‍රාම යන බවත් ඊට අමතරව අපේක්‍ෂා භංගත්වයට පත්ව සිටින විශේෂඥ වෛද්‍යවරුන් තුන්සිය හැත්තෑපහක පමණ පිරිසක් ඉකුත් මාස දොළහක කාලයේදී රටහැර ගොස් ඇති බවත් විශේෂඥ වෛද්‍යවරු කියා සිටිති.
මීට අමතරව දැනට විශේෂඥ වෛද්‍ය පුහුණුව ලබාගැනීම සඳහා විදෙස්ගතව සිටින වෛද්‍යවරුන්ගෙන් සියයට පනහක්ම ආපසු මෙරටට නොඑන බවට දැනුම්දී තිබෙන බවද විශේෂඥ වෛද්‍යවරු පැවැසූහ.
විශේෂඥ වෛද්‍ය හිඟය නිසා දෙහිඅත්තකණ්ඩිය රෝහල වසා දමන තැනට පත්ව තිබූ බවද වාර්තා වී ඇත. මීට අමතරව අනුරාධපුර, කිලිනොච්චිය, මුලතිව් යන රෝහල්වල ද කටයුතු බරපතළ ලෙස කඩාවැටී ඇතැයි ද වෛද්‍යවරු පවසති.
මේ සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමල් විජේසිංහ මහතාගෙන් දිවයින කළ විමසීමේදී ඒ මහතා ද කියා සිටියේ විශේෂඥ වෛද්‍යවරුන් මෙන්ම අනෙකුත් වෛද්‍යවරු රටහැර යෑම දෙගුණයකින් පමණ වැඩිවී තිබෙන බවයි.
මේ වනවිට බොහෝ වෛද්‍යවරුන් විදේශගත වීමේ අරමුණින් ඒ ඒ රටවල විභාග වලට අයැදුම්පත් යොමු කිරීමට පටන්ගෙන ඇතැයි ද ඒ මහතා පැවැසීය.
මෙම ප්‍රවණතාව පිළිබඳ වහාම සැලකිල්ල යොමු කර ඊට පිළියම් යෙදිය යුතු බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සෞඛ්‍ය බලධාරීන්ට ඒ පිළිබඳ යෝජනාවලියක් ලබාදී ඇති බවත් ඒ මහතා කීය.
සායනික, විශේෂඥ, ළමා රෝග, ශල්‍ය හා නාරි, ප්‍රසව යන අංශවල විශේෂඥ වෛද්‍යවරුන් රටහැර යෑම අඛණ්ඩව සිදුවීම හේතුවෙන් ප්‍රධාන පෙළේ රෝහල් රැසක සේවා කටයුතු දැඩි අකර්මණ්‍ය තත්ත්වයකට පත්ව ඇතැයි වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය ද මේ අතර කියා සිටී.
අදාළ ක්‍ෂේත්‍රවල විශේෂඥ වෛද්‍යවරුන්ට විදේශ රටවල පවතින ඉල්ලුම වැඩිවීම හේතුවෙන් මෙම තත්ත්වය ඇතිව තිබෙන බව එම සන්ධානයේ සභාපති, වෛද්‍ය චමල් සංජීව මහතා පැවැති මාධ්‍ය හමුවකදී පැවැසීය.
එමෙන්ම හෘද රෝගීන්, වකුගඩු රෝගීන්, අක්මා රෝගීන් සහ පිළිකා රෝගීන් ද දිගු කාලීන වෛද්‍ය සායන වෙත පැමිණෙන බැවින් මේ වන විට පවතින වෛද්‍ය හිඟයට අමතරව ඖෂධ සහ ශල්‍ය උපකරණ හිඟය ද මෙම රෝගීන්ට දරුණු ලෙස බලපෑම් ඇතිකර තිබෙන බවද වෛද්‍යවරයා පැවැසීය.
ශිරාන් රණසිංහ, නෝමන් පලිහවඩන,
සුජීව තත්සර