සදුදා, 05 ජූනි 2023 08:29

සියම් නිකාය සමරුවට ත්‍රි‘මලේ සිට පයින්ම නුවර ආ සරණ යළිත් කන්තලේට Featured

සියම් නිකායේ 270 වස් සමරුවට ත්‍රි'මලයේ සිට මහනුවර දක්වා වැඩම කළ තායි භික්ෂු පරිස හා පාද චාරිකාවේ පැමිණ රටේම අවධානයට පාත්‍ර වූ 'සරණ' නම් වූ සුනඛයා යළිත් තමන් හැදී වැඩුණු කන්තලේ 94 ශ්‍රී ශෛලාරාම විහාරස්ථානය වෙත ඊයේ (4) අලුයම රැගෙන ඒමාට විහාරාධිපති හිමි ප්‍රමුඛ දායක සභාව පියවර ගෙන තිබිණි.

කන්තලේ සිට මහනුවරටත්, එතැනින් යළිත් කන්තලේ දක්වාත් පැමිණීමේදී කි.මී. 500ක පමණ දුරක් ගෙවා දින 21කට පසු 'සරණ' යළි විහාරස්ථානයට පැමිණීම සම්බන්ධව විහාරාධිපති හිමි ප්‍රමුඛ දායක සභාවේ ඇත්තෝ පසුවන්නේ නොමඳ සතුටකිනි. විහාරස්ථානයට පැමිණි උපාසක උපාසිකාවන්ගේ පවා ආදාරය දිනා සිටි 'සරණ' යළි විහාරස්ථානය වෙත ගෙන්වා ගත යුතු බව දායක සභාව රැස්ව තීරණය කළ බවත්, ඒ අනුව රු. 30,000ක් වැය කර වෑන් රියක් කුලියට ගෙන කොළඹ වත්තල ප්‍රදේශයේ සිට සුනඛයා විහාරස්ථානයට ගෙන්වා ගැනීමට පියවර ගත් බවත් ශෛලාරම විහාරාධිපති අත්තිඩියේ පුඤ්ඤරතන නාහිමියෝ පැවසූහ.

පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරය එල්ල කළ දා උපත ලැබීම හේතුවෙන් 'සහරාන්' ලෙස නම් ලද මේ සුනඛයා පාද චාරිකාවට එක්ව කන්තලේ සිට මහනුවරට පැමිණියේ 'සරණ' ලෙස නම් ලබමිනි. මුලින් සුනඛයාගේ ආගිය තොරතුරු කිසිවක් නොදැන සිටි පාද චාරිකාවේ නිරත පිරිස ඌට 'සරණ' ලෙස නම් තැබීය.

තායිලන්ත භික්ෂූන් ඇතුළු දායක දායිකාවන්ගේ නොමඳ ආදරයට පාත්‍ර වෙමින් පසුගිය 23 දින මහනුවර පැමිණි 'සරණ' පසුදින වත්තල ප්‍රදේශයට රැගෙන ගියේ පාද චාරිකාව සංවිධානය කළ කණ්ඩායමේ සමාජිකයකු විසිනි. මහනුවර සිට 'සරණ' වත්තල දක්වා රැගෙන යෑමට ඔහුටද රුපියල් 30,000 ක මුදලක් වැය වී තිබිණි.

විහාරස්ථ දායක සභාවේ සංවිධායක සුරාජ් ලක්මාල් මහතා මේ පිළිබඳව දැක්වූයේ මෙවන් අදහසකි: “සහරාන් ඉන්න තැන ගැන අපේ නායක හාමුදුරුවෝ විස්තර හොයා ගෙන අපට කිවුවා එයාව අරන් එන්න කියලා. ඒ අනුව අපි පෙසොන් පෝදා හවස 2.00ට විතර කන්තලෙන් කොළඹ එන්න පිටත් වුණා. බල්ලා රැකබලාගත් අය කිවුවා වත්තල ටවුමට එන්න කියලා. අපි රෑ 7.00ට විතර එතන්ට යන කොට එයාලා බල්ලා අරගෙන ආවා. අපව දැක්ක ගමන් එයා වල්ගෙ වනලා කෑගැහුවා. අපි කන්තලේට එනොකට පන්දර 2.00 විතර වුණා. නායක හාමුදුරුවෝ දැක්ක ගමන් මෙයා වාහනෙන් පැනලා ගිහින් උන්වහන්සේට වැන්දා. මෙයාට නෝනා කෙනෙක් ඉන්නවා එයාගේ නම 'යක්ෂණී'. එයා හරිම සැරයි. ඒ නිසා තමයි 'යක්ෂණී' කියලා නම දාලා තියෙන්නේ. සහරාන් දැක්ක විතරයි යක්ෂණීටත් හරිම සතුටුයි.“

“මෙයාට අපි දාපු නම 'සහරාන්'. ඒත් පාද චාරිකාවේ ගිය ඇත්තෝ දාපු නම 'සරණ'. අපි හැමෝම ඒ නමට කැමැතියි. ඒ නිසා දැන් හැමෝම සහරාන්ට කතා කරන්නේ 'සරණ' කියලා...“ විහාරාධිපති හිමියන් පැවසුවේ 'සරණ' සිවුරේ දැවටෙමින් උන්වහන්සේගේ පාද ස්පර්ශ කරමින් සිටියදීය.

 

DMN

336 x 200 Sinhala

නවතම පුවත්

පාස්කු විවාදය අද සහ හෙට

සැප්තැම්බර් 21 2023
Image

Stats

There are 29915 listings, 1184 categories and 93 owners in our website