අඟහරුවාදා, 06 ජූනි 2023 11:26

ළමා අපචාර නඩු විභාග ප්‍රමාදය වැලැක්වීමට අවධානය Featured

ළමා අපචාර සම්බන්ධයෙන් පවරන ලද නඩු විභාග කිරීමේ දී සිදුවන ප්‍රමාදය පිළිබඳව ළමුන්, කාන්තාවන් හා ස්ත්‍රී-පුරුෂ සමාජභාවය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අවධානය යොමු කර බව වාර්තා වෙයි.

rydefw

එලෙස සිදුවන ප්‍රමාදය හේතුවෙන් වින්දිතයා හට සමාජීයව, මානසිකව හා කායිකව සිදුවන අගතිය පිළිබඳව මෙහිදී වැඩිදුරටත් සාකච්ඡා කෙරිණි. ඒ අනුව මෙම තත්ත්වය මග හරවා ගැනීමට ගත හැකි පියවර පිළිබඳව විමර්ශනය කළ යුතු බවට කමිටුව විසින් තීරණය කර ඇත.

ළමුන්, කාන්තාවන් හා ස්ත්‍රී-පුරුෂ සමාජභාවය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ තලතා අතුකෝරල මහත්මියගේ සභාපතීත්වයෙන් මැයි 25 වැනිදා පාර්ලිමේන්තු පරිශ්‍රයේදී රැස්විය. තවද 2015 සිට 2020 දක්වා පැවැති කාන්තාවන් හා ස්ත්‍රී-පුරුෂ සමාජභාවය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් විමර්ශනය කර ගනු ලැබූ තීරණ ඉදිරියට ගෙනයාමට කටයුතු කළ යුතු බවටද මෙහිදී යෝජනා විය. එහිදී සාකච්ඡා කර අවසාන ප්‍රතිඵලයක් කරා ලඟාවීමට නොහැකි වූ කරුණු සම්බන්ධයෙන් නැවත අවධානය යොමු කළ යුතු බවටද කාරක සභාව විසින් තීරණය කර ඇත.

පාසල් අධ්‍යාපන විෂය නිර්දේශය සඳහා නීතිය විෂයයක් ලෙස ඇතුලත් කළ යුතු බව මෙම කාරක සභාව විසින් හඳුනා ගන්නා ලදී. ඒ අනුව එම කරුණ සම්බන්ධයෙන් අදාළ අධ්‍යාපනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවට යොමු කළ යුතු බවටද මෙහිදී යෝජනා විය.

එමෙන්ම, කාන්තාවන් ගෘහ සේවය සඳහා විදෙස් ගතවීම රටට විදේශ විනිමයක් ගෙන දුන්නද කාන්තාව ගෘහය අතහැර යෑම නිසා පවුල තුළ උද්ගත වන ගැටලු හා සමාජ ගැටලු හේතුවෙන් වක්‍රාකාරයෙන් රජයට දැරීමට සිදුවන පිරිවැය වැඩි බවද මෙහිදී සාකච්ඡා විය. කාන්තාවන් ගෘහ සේවයට යැවීම වෙනුවට වෘත්තීමය වශයෙන් පුහුණුවක් ලබාදී වඩාත් හොඳ රැකියා අංශ සඳහා යොමු කිරීමට කටයුතු කළ යුතු බවද කාරක සභාවේදී වැඩිදුරටත් සාකච්ඡා විය.

එයට අමතරව නීත්‍යානුකූලභාවය පිළිබඳ ගැටලු සහිත විදේශ රැකියා නියෝජිත ආයතන පිළිබඳවත්, තානාපති කාර්යාලවල පවතින අක්‍රමිකතා හේතුවෙන් විදේශ ශ්‍රමිකයන්ගේ ගැටලු නිසියාකාරව නොවිස‍ඳීම පිළිබඳවත් මෙහිදී වැඩිදුරටත් අවධානය යොමු විය. එහිදී
අදාළ ක්‍රියාවලිය නියාමනය කිරීමට වැඩපිළිවෙළක් සකස් කළ යුතු බවද යෝජනා විය. ඇතැම් රටවල ශ්‍රමිකයන් සඳහා සුරැකුම් මධ්‍යස්ථාන නොමැතිවීමෙන් ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට මුහුණ පෑමට සිදුවන ගැටලු පිළිබඳව කාරක සභාවේ අවධානය යොමු විය. කාරක සභාව විසින් එම කරුණු සම්බන්ධයෙන් ඉදිරියේ දී අධීක්ෂණය කිරීම සඳහා කටයුතු කරන බවට සාමාජිකත්වය එකඟ විය.

මෙම අවස්ථාව සඳහා ආංශික අධීක්ෂණ කාරක සභාවේ සාමාජික මන්ත්‍රීවරුන් වන රෝහිණී කුමාරි විජේරත්න, උද්දික ප්‍රේමරත්න, රාජිකා වික්‍රමසිංහ, මංජුලා දිසානායක, (ආචාර්ය) හරිනි අමරසූරිය, ජගත් සමරවික්‍රම යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් සහභාගී වූහ. එසේම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද එම අවස්ථාව සඳහා එක්විය.

 

DMN

336 x 200 Sinhala

නවතම පුවත්

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website