බ්‍රහස්පතින්දා, 08 ජූනි 2023 08:56

රාජ්‍ය ආයතනවල දත්ත රැස් කිරීමට-නිරීක්ෂණයට ඩිජිටල් ප්‍රවර්ධන නියෝජිත ආයතනයක් පිහිටුවනවා Featured

ජනාධිපති රනිල් වික්‍රමසිංහ

ශ්‍රී ලංකාවේ ඇති සියලු රාජ්‍ය ආයතනවල දත්ත රැස් කිරීම හා නිරීක්ෂණයට පරිගණක යෙදවුම් නිර්මාණය කිරීමට ඩිජිටල් ප්‍රවර්ධන නියෝජිත ආයතනයක් ස්ථාපිත කිරීමට පියවර ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

ජනාධිපතිවරයා මේ අදහස් පළ කළේ ආණ්ඩු පක්ෂ හා විපක්ෂ මන්ත්‍රීවරුන් සමඟ ඊයේ (7) පාර්ලිමේන්තුවේ කමිටු කාමර අංක 1හි පැවති සාකච්ඡාවේදීය. රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාවේ නව සභාපතිවරයා ලෙස සමඟි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පත් කිරීමටද ජනාධිපතිවරයා මෙහිදී යෝජනා කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති:

“කාරක සභා සහ උපදේශක සභාවලට සභාපතිවරුන් පත් කිරීමේදී පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අනුව කටයුතු කළ යුතුයි. ස්ථාවර නියෝග අනුව රාජ්‍ය මුදල් කාරක සභාවේ සභාපති ධුරය විපක්ෂයේ මන්ත්‍රීවරයකුට දිය යුතුයි. ඒ වෙනුවෙන් හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයාගේ නම මෙන්ම තවත් මන්ත්‍රීවරුන්ගේ නම් කිහිපයක් යෝජනා වී තිබුණා. මයන්ත දිසානායක මන්ත්‍රීතුමා මෙහි සභාපති ධුරය සඳහා පත් කළ නමුත් ඔහු ඉවත් වුණා. විපක්ෂය යෝජනා කරනවා නම් හර්ෂ ද සිල්වා මන්ත්‍රීතුමාට රාජ්‍ය මුදල් කාරක සභාවේ සභාපති ධුරය දිය යුතුයි. මේ වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන ගිවිසුම පාර්ලිමේන්තුව විසින් සම්මත කර අවසන්. දැන් රාජ්‍ය මුදල් කාරක සභාවේ සභාපති ධුරයට පත් වන සභාපතිවරයාද ඊට අනුකූලව ඉදිරියට වැඩ කටයුතු සිදු කළ යුතුයි.

 “ලෝක බැංකු ආධාර යටතේ අතුරු අයවැය කාර්යාලයක් ස්ථාපිත කිරීමට මුදල් ලැබී තිබෙනවා. එය ඉදිරියට කරගෙන යෑමට ඔබේ සහාය අවශ්‍යයි. කාරක සභා සහ උපදේශක සභාවල සභාපතිවරුන්ට වගේම එහි නියෝජිතයන්ට තමන්ගේ වගකීම් එම සභා තුළින් ම තීරණය කර ලබාදිය යුතුයි.

“අතීතයේ මේ රටේ ප්‍රාදේශීය සභා මට්ටමින් දිස්ත්‍රික් ආදායම් නිලධාරීන් (DRO) සිටියා. ඉන්දියාවේ හිටියේ එකතු කිරීමේ නිලධාරීන් (Collecting officer). එහෙත් ලංකාවේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල ව්‍යාප්ත වන විට දිස්ත්‍රික් ආදායම් නිලධාරීන් නැති වෙලා ගියා. අනතුරුව ඒ කටයුත්තට හිටපු නිලධාරීන් ආණ්ඩුවට ආදායම් එකතු කරනවා වෙනුවට ආණ්ඩුවේ තිබුණු මුදල් වියදම් කිරීමට කටයුතු කළා. ඒ නිසා ආණ්ඩුවට ආදායම එකතු කිරීමට නැවත දිස්ත්‍රික් ආදායම් නිලධාරීන් දෙසීයක් වත් බඳවාගැනීමට සිදු වේවි.

ඒ වගේම රාජ්‍ය ආයතනවල දත්ත නිරීක්ෂණයට ‘පරිගණක යෙදවුම්‘ නිර්මාණය කිරීම මේ වන තුරු සිදු කළේ පෞද්ගලික අංශය මගින්. එය නැවැත්වීමට කටයුතු කළ යුතුයි. ඒ සඳහා ඩිජිටල් ප්‍රවර්ධන නියෝජිත ආයතනයක් ස්ථාපිත කිරීමට අපි කටයුතු කරනවා. ඒ අනුව ඉදිරියට ශ්‍රී ලංකාවේ සියලුම රාජ්‍ය ආයතනවල ‘පරිගණක යෙදවුම්‘ එම ආයතන මඟින් නිර්මාණය කර ගැනීමට හැකියාව තිබෙනවා. ඒ වගේම ආංශික අධීක්ෂණ කමිටුවලින් අයවැයට මාස දෙකකට පෙර රජයේ මුදල් වියදම් වූ ආකාරය පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කිරීමට කටයුතු කළ යුතුයි.”

හර්ෂ ද සිල්වා, පාඨලී චම්පික රණවක, මහින්දානන්ද අලුත්ගමගේ යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුද මෙහිදී අදහස් දැක්වූහ. අගමැති දිනේෂ් ගුණවර්ධන, කථානායක මහින්ද යාපා අබේවර්ධන, අධ්‍යාපන ඇමැති සහ සභානායක ආචාර්ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහත්වරුන් සහ පාර්ලිමේන්තුවේ පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු,පාර්ලිමේන්තු මහලේකම් කුෂානි රෝහණදීර, ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග, ජනාධිපති පාර්ලිමේන්තු කටයුතු ලේකම් මහාචාර්ය ආශු මාරසිංහ මහත්ම මහත්මීහුද මේ අවස්ථාවට එක්ව සිටියහ.

ශිරෝමි අබයසිංහ

336 x 200 Sinhala

නවතම පුවත්

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website