සෙනසුරාදා, 10 ජූනි 2023 09:27

ජාතික ආරක්‍ෂාවට තර්ජනයක් – ටෙලිකොම් විකුණන්න එපා -අංශික අධීක්‍ෂණ කාරක සභාවෙන් පාර්ලිමේන්තුවට නිර්දේශයක් Featured

මෙරට ජාතික ආරක්‍ෂාවට තර්ජනයක් විය හැකි බැවින් ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය පෞද්ගලීකරණයට නිර්දේශ නොකරන බව ජාතික ආරක්‍ෂාව පිළිබඳ අංශික අධීක්‍ෂණ කාරක සභාව පාර්ලිමේන්තුවට ඊයේ (9 දා) දින විශේෂ වාර්තාවක් ඉදිරිපත් කරමින් සඳහන් කර සිටී.

ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය පෞද්ගලීකරණය කිරීමෙන් ජාතික ආරක්‍ෂාවට වන බලපෑම් යන මැයෙන් එම විශේෂ වාර්තාව ඊයේ දින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා විසින් සභාවට ඉදිරිපත් කරමින් මේ බව සඳහන් කරන ලදි.

එම කාරක සභාව විසින් අදාළ වාර්තාවෙන් ටෙලිකොම් ආයතනය පෞද්ගලීකරණය නොකිරීමට අදාළව විශේෂ නිර්දේශ තුනක් ද ඉදිරිපත් කර ඇත.

ඒ අනුව ජාතික ආරක්‍ෂාවට තර්ජනයක් වන බැවින් එම ආයතනය පෞද්ගලීකරණය කිරීමට නිර්දේශ නොකරන අතර ත්‍රස්තවාදීන්ට අන්තවාදීන්ට කුමන හෝ ආකාරයකින් උදව් කළ කිසිදු සංවිධානයකට ටෙලිකොම් ආයතනයේ කිසිදු කොටසක් මිලදී ගෙන ජාතික වත්කම් පාලනයට ඉඩ නොදිය යුතු යැයිද එම වාර්තාව සඳහන් කරයි.

දැනටත් පෞද්ගලික අංශය වෙත ටෙලිකොම් සමාගමේ කොටස් ඇතත් රජයට කොටස් 4905 ක් පවතින බැවින් තවදුරටත් පුද්ගලික රාජ්‍ය හවුල්කරුවන් යටතේ රජය ලාභ ලබමින් ජාතික ආරක්‍ෂාවද තහවුරු කරමින් පවත්වාගෙන යා යුතුව ඇතැයිද එමඟින් කියා සිටී.

පිටු 10 කින් සමන්විත අදාළ වාර්තාව මගින් ටෙලිකොම් ආයතනය සඳහා ජාතික වැදගත්කම මෙන්ම එමඟින් ජාතික ආරක්‍ෂාවට සිදුවිය හැකි බරපතළ තත්ත්වයන් පිළිබඳව ද කරුණු දීර්ඝව දක්වා ඇති අතර එවැනි ආයතන අත්පත් කර ගනිමින් විවිධ සංවිධාන ඇතැම් රාජ්‍ය දුර්වල කර ඇති අයුරුද පැහැදිලි කරදී තිබේ. මෙම කාරක සභාවේ සාමාජික මන්ත්‍රීවරුන් ලෙස චන්දිම වීරක්කොඩි, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, මහාචාර්ය චන්න ජයසුමන, චාල්ස් නිර්මලනාදන්, සම්පත් අතුකෝරල, සුමිත් උඩුකුඹුර, මේජර් ප්‍රදීප් උඳුගොඩ, මේජර් සුදර්ශන් දෙනිපිටිය, නිමල් පියතිස්ස යන මහත්වරුන් කටයුතු කර ඇත.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

336 x 200 Sinhala

නවතම පුවත්

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website