ඉරිදා, 11 ජූනි 2023 09:32

මාලබේ දරුවාගේ මරණයේ සුල මුල සැකකරු පාපොච්චාරණය කරයි Featured

මාලබේ හල්බරාව ප්‍රදේශයේ වැඩබිමක් අසල කැපුම් තුවාල සහිතව දරුවෙකු මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු ලබන 15 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ.

මුල්ලේරියාව පොලිස් වසමේ හල්බරාව ප්‍රදේශයේදී කුඩා දරුවෙකු වීදුරු බෝතලයක කටු ඇනී තුවාල වීමෙන් මියගොස් සිටින බවට පොලිසියට තොරතුරු ලැබී තිබුණි. එලෙස මියගොස් සිටියේ මාලඹේ හල්බරාව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු පහයි මාස හයක ජොනතන් මාර්ක් ෆොන්සේකා නම් දරුවාය.


අදාළ සිදුවීම සිදුවන අවස්ථාවේදී දරුවාගේ මව සිය රැකියාවට ගොස් සිට ඇති අතර හල්බරාව ප්‍රදේශයේ වැඩබිමක් අසළ දරුවා මියගොස් සිටියදී සොයාගැණුණි.

ඒ සම්බන්ධව තොරතුරු ලබා දී ඇත්තේ තණකොළ කපමින් සිටි පුද්ගලයෙකු බව වැඩබිම අසල පදිංචිකරුවන් ප්‍රකාශ කර ඇත. විමර්ශණවලින් ලැබුණු තොරතුරු අනුව ඊයේ(10) පස්වරුවේ එම ස්ථානයේ තණකොළ කපමින් සිටි පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකි විය.

නොසැලකිලිමත් ක්‍රියාවකින් දරුවාගේ මරණ සිදුකර, ඒ සම්බන්ධයෙන් පොලිසියට ව්‍යාජ තොරතුරු ලබා දී අසත්‍ය කතාවක් නිර්මාණය කිරීම සම්බන්ධයෙන් එම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

දරුවා වීදුරු බෝතලයක් සමග සෙල්ලම් කිරීමේ දී ඔහු බෝතලය මතට වැටී තුවාල ලැබු බවට සැකකරු මුලින්ම පොලිසියට දැනුම් දී ඇති බව පොලිසිය පවසයි.

සැකකරුගෙන් දීර්ඝ ප්‍රශ්න කිරීමේ දී ඔහුගේ පාපොච්චාරණය මගින් මෙවන් සිදුවීමක් අනාවරණය කර ඇත.

ඔහුගේ තණකොළ කපන යන්ත්‍රය දෝෂයක් නිසා එය එහි බිම තබා කිහිපවරක්ම ක්‍රියාත්මත කළ බවත්, එම අවස්ථාවේ එය වේගයෙන් ඉදිරියට ඇදී ගොස් තලය අසල තිබු හිස් මත්පැන් බෝතලයේ වැදී එය බිදී ගිය බවත්,එම අවස්ථාවේ තමා යන්ත්‍රය ඔසවා පැත්තට ගත් අවස්ථාවේ ඒ අසලින් සිට සිද්ධිය බලා සිටි දරුවාගේ උදරයේ තලය වැදී උදර ප්‍රදේශය බරපතල ලෙස කැපී ගිය බවට එම සැකකරු ප්‍රකාශ කළ බව පොලිසිය කියයි.

දරුවා මිය යාමට පැයකට පමණ පෙර එම ප්‍රදේශයේම පදිංචි තවත් කාන්තාවක් දරුවා එම වැඩබිමේ සිටින ආකාරය දැක තිබූ අතර ඇය පවසන්නේ එම අවස්ථාවේ තවත් පුද්ගලයෙක් ඒ අසළ තණකොළ කපමින් සිටි බවය.

මියගිය දරුවාගේ පියා වෙන්ව ජීවත් වන අතර මව දිවා කාලයේ රැකියාව සඳහා පිටත්ව යන හෙයින් දරුවා රැකබලාගනු ලැබ ඇත්තේ ඔහුගේ මිත්තනිය සහ සීයා විසින් ය.

සීයා මෙම අනතුර වූ වැඩබිමේ මුරකරු ලෙස සේවය කරන නමුත් ඊයේ ඔහු වෙනත් ගමනක් ගොස් ඇති අතර, සීයා දරුවාව අසළ නිවසක තබා යාමට සූදානම් වුවත් දරුවා පවසා ඇත්තේ “සීයා ගිහින් එන්න. මම තණකොළ කපන මාමා එක්ක පරිස්සමෙන් ඉන්නම්.” වශයෙනුයි.
දරුවා වීදුරු බෝතලයක් උඩ වැටී මියගොස් සිටින බවට අසළ නිවැසියෙකු වෙත දන්වා ඇත්තේ ද තණකොළ කපමින් සිටි පුද්ගලයා විසින් ය.

බිඳී ගිය වීදුරු බෝතලයේ කොටස් ඇති ස්ථානය සහ දරුවා මිය ගොස් වැටී සිටි ස්ථානය අතර පරතරය අඩි හතරක් වන නමුත් එම පරතරය තුළ බිම කිසිදු ලේ පැල්ලමක් නොතිබීම පොලිසියේ සැකයට මුල් වී ඇත.

එමෙන්ම මෙවැනි කුඩා දරුවකුගේ සිරුරට යටවී බෝතලයක් එතරම් කුඩා කැබලිවලට බිඳීයා නොහැකි බවත් පොලිසියේ නිරීක්ෂණය වී තිබුණි.

ඒ අනුව මෙය මනුෂ්‍ය ඝාතනයක්ද යන්න සම්බන්ධයෙන් අනාවරණය කර ගැනීම සඳහා කෙරෙන විමර්ශන වෙනුවෙන් මුල්ලේරියාව පොලීසිය අද දරුවාගේ සීයා සහ දරුවා මියයන අවස්ථාවේ එහි සිටි බව කියන තණකොළ කැපූ පුද්ගලයාගෙන් දීර්ඝ වශයෙන් ප්‍රශ්න කරන ලදි.


ඒ අනුව 51 හැවිරිදි සැකකරු ඊයේ අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණ වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 15 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි.

මුල්ලේරියාව පොලීසියේ ස්ථානාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකය.

 

DMN

නවතම පුවත්

 චිරං ජයතු

සැප්තැම්බර් 28 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website