අඟහරුවාදා, 13 ජූනි 2023 09:16

ණය වෙලා අමාරුවේ වැටුණා නම් එන්න අපි ළඟට - ණය සහනදායක මණ්ඩලීය දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කළමනාකරණ සහකාර සමන් එදිරිසිංහ Featured

දුගීකම සහ නොදැනුවත්කම නිසා දරු පවුල් සමඟ අසරණ වූවෝ බොහෝ වෙති. එක අතකින් අතමාරුවට ගත් ණය, අහස උසට එකතු වී වැල් පොලියක් බවට පත්ව තිබේ. අනෙක් අතින් උකසට තැබූ ගේ දොර සින්න වන තැනට කටයුතු යෙදී ඇත. සමහරුන්ගේ හේනට,

කුඹුරට අත්වී ඇත්තේ ද ඒ ඉරණමමය. ජීවනාධාර වෙනුවෙන් රජය වැඩිම වියදමක් දරන අතරතුර, අධික ණය බරෙන් මිරිකෙන කාටත් උපරිම සහන සැලසීමටත් කටයුතු කර ඇත. ණය සහනදායක මණ්ඩලීය දෙපාර්තමේන්තුව අධිකරණ අමාත්‍යංශය යටතේ ඇති එවැනි ආයතනයකි. එහි ප්‍රධාන කළමනාකරණ සහකාර සමන් එදිරිසිංහ මහතා සමඟ ණය බරෙන් මිරිකෙන ඔබ වෙනුවෙන් කළ කතා බහ මෙසේ ගෙන හැර දක්වමු.

මේ සහන, පොලී මුදලාලිලාගෙන් ඔබව බේරාගැනීමටයි

මාසික පොලිය ඉතා ඉහළ අගයක් ගන්නා අය සමඟ ගනුදෙනු කිරීම අවදානම්

ණය සහනදායී මණ්ඩලයේ සහන ලැබිය හැකි බව බොහෝදෙනා දන්නේ නැහැ

 සමහරු උකසට තැබූ ඔප්පු, තිරප්පු නිසා බොහෝ අවුල් වියවුල්වලට පත්වෙලා?

ඔව්. ඒ කාටත් රැකවරණයක්, අස්වැසිල්ලක් සලසා දීමේ අරමුණ ඇතිවයි රජයෙන් ණය සහනදායක මණ්ඩලීය දෙපාර්තමේන්තුව පිහිටුවා තියෙන්නේ. 1941 අංක 29 දරන ණය සහනදායක ආඥා පනතෙන් මේ ආයතනය ස්ථාපිත කර තියෙනවා. එසේම, 1999 අංක 29 දරන සං‍‍‍ශෝධන පනතට අනුව හුදෙක් ණය ගනුදෙනුවක් සඳහාම සින්නක්කර ඔප්පුවක් මත කරන ලද පැවරුමක් සම්බන්ධව ද මැදිහත් වී සහන සලසා දීමට ප්‍රතිපාදන මේ මණ්ඩලයට තියෙනවා. එහිදී අදාළ ගනුදෙනුව ඇත්ත වශයෙන්ම ණය ගනුදෙනුවක් සඳහාම භාරයක් නැතහොත් ඇපයක් ලෙස කරන ලද පැවරුමක් බවට ණයකරු සාක්ෂි සහිතව මේ මණ්ඩලයට ඒත්තු ගැන්විය යුතුයි. එහිදී එම පැවරීම කර වසර තුනක කාලයක් ඉක්ම යෑමට පෙර ණය සහනදායක මණ්ඩලයට ඉල්ලීමක් ඉදිරිපත් කළ යුතු වගත් අවධාරණය කළ යුතුයි. පොරොන්දු සින්නක්කරයක් නම් එහි කාලය අවසන් වීමට කලින් පැමිණිල්ල ඉදිරිපත් කළ යුතුව තියෙනවා. උකස් ඔප්පුවක් පිළිබඳ ගැටලුවකදී අධිකරණයක ඊට අදාළ නඩු කටයුත්තක් පැවරීමට කලින් ඉල්ලුම්පත යොමු කළ යුතු වෙනවා.

 තමන් පදිංචි නිවෙස උකසට තබා ණයක් ගත් කෙනකුට යම් හෙයකින් ඒ ණය පියවා ගැනීමට නොහැකි වුණොත්, ඇති වන තත්ත්වය කෙබඳුද?

එවිට ඒ තැනැත්තා ඇතුළු ඔහුගේ යැපෙන්නන්ට මහ මඟට බහින්නට වන තැනට කරුණු යෙදෙන්නත් පුළුවන්. එවිට ණය ගැතියන්ට තවදුරටත් සහනයක්, අස්වැසිල්ලක් සලසා දීමට විධි විධාන මේ අනුව පවතිනවා. ඒ වග මහ ජනතාව අතරට ගෙන යෑම ඉතා වැදගත්. ඒත්, තවම සමහරු දන්නේ නැහැ. ඒ නිසා උකසට තැබූ දේපළ සින්න වූ පසුව ඒ පීඩාවෙන් යුතුව වියරුවෙන්, කනස්සල්ලෙන් හැසිරෙන අය පිළිබඳ ප්‍රවෘත්ති ජනමාධ්‍ය ඔස්සේ තවමත් අසන්නට දකින්නට ලැබෙනවා.

 ණය සහන ඉල්ලුම්පතක් සම්බන්ධයෙන් කටයුතු කෙරෙන අන්දම කුමක්ද ?

සෑම අයදුම්පතක්ම එය ලැබෙන දිනය අනුව ලියාපදිංචි කෙරෙනවා. ඊට අදාළ අංකය නොපමාව ඉල්ලුම්කරුට දන්වා යවනවා. වැඩි දුර විස්තර විමසා එවන ලිපි සඳහාත් තැපෑලෙන් පිළිතුරු යවනවා. ඒ වගේම, අදාළ අයදුම්පත් මූලික වශයෙන් පරික්ෂා කරනවා. ඉන් අනතුරව, ඉඩම් ලියාපදිංචි කිරීමේ ලේකම් වෙත හා අදාළ ණය හිමි වෙත ආඥා පනතේ විධි විධාන අනුව තහනම් නියෝග නිකුත් කිරීම, මූලික විභාග සඳහා සහභාගි වන්නැයි ඉල්ලුම්කරුට දන්වා යැවීම ආදී පියවර ගැනෙනවා. ඉල්ලුම් පත්‍රයක් සම්බන්ධ තීරණයක් ගැනීමේදී සැලකිල්ලට ගන්නා කරුණු ගණනාවක් වෙනවා. නිශ්චිත වශයෙන් ණයකරුට ලැබුණු හෝ ණයට ගත් මුදල් ප්‍රමාණයත් අදාළ ණය මුදලට නියම කරන ලද පොලියේ සාධාරණත්වය, අදාළ ණය සම්බන්ධයෙන් ගෙවීමට එකඟ වී ඇති පොලී ප්‍රමාණය, ණය කොන්දේසි, ණයකරුට මුදල් ගෙවීමට ඇති හැකියාව මෙන්ම සැලකිල්ලට ගත හැකි යැයි මණ්ඩලය අදහස් කරන වෙනත් කරුණු ආදිය ඊට අදාළයි.

 ඒත්, විවිධ ගනුදෙනුවලදී අගතියට පත් වන සෑම විටකදීම සහන සලසා දීමට ණය සහන මණ්ඩලයට හැකියාවක් තිබෙනවාද?

ඇත්තෙන්ම. ඒ වගත් අවධාරණයෙන් කිව යුතුමයි. ණය සහනදායක මණ්ඩලීය දෙපාර්තමේන්තුවෙන් සහන ඉල්ලා සිටිය හැක්කේ මහ බැංකුවේ ලියාපදිංචි නොකළ මූල්‍ය ආයතන, පොලීකරුවන් ආදීන් සමඟ කළ ගනුදෙනුවලදී උකස් කළ නිශ්චල දේපළවලට අදාළව පමණයි. එනම්, ගේ දොර, වතුපිටි හෝ ගොඩමඩ කෘෂිකාර්මික ඉඩම් උකස් තැබීම්වලට අදාළවයි. ඒ අනුව උකස් තැබූ හෝ පොරොන්දු සින්නක්කරයක් මත ගනු ලැබූ ණය මුදලක් ආපසු ගෙවීම සම්බන්ධයෙන් ඇති වන ගැටලුවකදී ණය හිමියා සහ ණය ගැතියා දෙදෙනාටම සාධාරණයක් වන අයුරින් කටයුතු කිරීම මෙහි අරමුණයි. ඉහළ මාසික පොලියක් වෙනුවට වාර්ෂික සහන පොලියකට යටත්ව ණය වාරික ගෙවීමට හැකියාව මෙයින් ලැබෙනවා. නඩු විමසීමක් විදියට දෙපාර්ශ්වය කැඳවා උකසට අදාළව විභාග කිරීමක් කරනවා. එහිදී වැඩි නැඹුරුවක් තිබෙන්නේ සමථකරණයට යොමු කිරීමටයි.

මේ සඳහා මුදල් අයකරන්නේ නැහැ. නීතිඥවරු පෙනී සිටීමක් අත්‍යවශ්‍ය නැහැ. දෙපාර්ශ්වයට නීතිඥවරු නැතිව තනි තනිව වුණත් කරුණු දක්වන්න පුළුවන්. මෙහි සභාපති විනිසුරු ඇතුළු සාමාජිකයන් විශ්‍රාමික අධිකරණ විනිසුරුවරු. පරිපාලන සේවයේ විශ්‍රාමික ඉහළ නිලධාරීන්. ඒ අනුව අදාළ කාරණයට අදාළව සහතිකයක් ණය සහනදායක මණ්ඩලයෙන් නිකුත් කරනවා. මේ සියලු සහන පොදු ජනතාව සඳහායි. ඒ නිසා අතමාරුවට, හිතවත්කමට සහ කට වචනය විශ්වාස කරමින් කළ ගනුදෙනුවලදී අන්තිමේදී අමාරුවේ වැටුණු ඕනෑම කෙනෙකුට පිළිසරණක් ණය සහනදායී මණ්ඩලයෙන් ලැබිය හැකියි. ඒ සඳහා මුදල් අයකරන්නේ නැහැ. අයදුම්පත් ණය සහනදායක මණ්ඩලයීය කාර්යාලවලින් නොමිලයේ ලැබෙනවා. එහෙමත් නැතිනම් www.moj.gov.lk බා ගත කර ගත හැකියි.

 ඒ අතින් ඇති වටිනාකම පැහැදිලි කළොත්?

උකස් ගනුදෙනුවලදී ඇති ආරවුල් පිළිබඳ නිතර අසන්නට ලැබෙනවා. ඒත්, ඒ පිළිබඳ ණය සහනදායක මණ්ඩලයට පැමිණිලි කර ඇති විට ඊට අදාළව නිකුත් කරන සහතිකය නීතිය පිළිගන්නා ප්‍රබල ලියවිල්ලක්. යම් විදියකින් උකසට අදාළ කරුණුවලදී පොලිසිය පැමිණිලි විභාග කරද්දී අපේ ආයතනයට කළ පැමිණිල්ලට අදාළ නඩුවක් විභාග කෙරෙන වග තහවුරු කරන්නට ණය සහනදායක මණ්ඩලීය දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරන සහතිකය ඉතා වැදගත්. එය අධිකරණය පිළිගන්නවා. එවිට පැමිණිලිකරුට අගතියක් වෙන්නේ නැහැ. ලියාපදිංචි නොකළ තැන්වලින් ණය ගත් විට අයකරන ඉහළ පොලී අනුපාත සාමාන්‍ය, සරල අනුපාතවලට පහත දැමීමට මෙහිදී තීන්දු කළ හැකියි. එයිනුත් උකස නිසා පීඩාවට පත් පාර්ශ්වයට අස්වැසිල්ලක් ලැබෙනවා.

අනෙක, දෙපාර්ශ්වයේ කරුණු දැක්වීම්වලට අදාළව උපරිම මට්ටමට ඒ කාටත් සහන සැලසීමක් අනිවාර්යයෙන්ම මෙහිදී වෙනවා. තවදුරටත් එකඟ නොවන තත්ත්ව යටතේ අධිකරණයේ නඩු පැවරීමකටත් ගියොත් කෙටි කලෙකදී නඩුව හමාර වන්නට මෙයින් ඉඩකඩ සැලසෙනවා. ඉන් නඩු ගොඩගැසීමත් වැළකෙනවා. බේරුම් කිරීමකදී ණයකාර පක්ෂයට හැකියාව පරිදි වාරික ක්‍රමයක් මත ණය පියවීමට අවසර ලැබෙනවා.

 ඒත්, මේ සහන ලබන්න කොළඹ එන්න වෙනවා නේද?

එහෙම නැහැ. මෙතෙක් කලක් කොළඹ කේන්ද්‍රීයව තමයි මේ දෙපාර්තමේන්තුවේ කටයුතු කෙරුණේ. ඒත්, මෑත කාලීනව අපෙන් සහන අපේක්ෂා කරන පිරිස වැඩි වෙලා තියෙනවා. ඒ නිසා ශාඛා කාර්යාල ගම්පහ, කුරුණෑගල, ගාල්ල ප්‍රදේශවල පිහිටුවා තියෙනවා. ඒ වගේම, කොළඹ, බොරැල්ල මංසන්ධියට යාබදව පිහිටා තිබෙන අපේ ප්‍රධාන කාර්යාල සංකීර්ණයේ දෙකොටසක් වෙනවා. ඒ, ප්‍රධාන කාර්යාලය සහ කොළඹ ශාඛා කාර්යාලය විදියටයි. ඒ දෙකෙන්ම දෙවිදියකට සේවා සැපයෙනවා.

 ශාඛා කාර්යාල කිහිපයකින් රටම ආවරණය කෙරෙන්නේ කොහොමද?

කලින් කොළඹ ප්‍රධාන කාර්යාලය විතරයි තිබුණේ. ඒත්, වසර කිහිපයක ඉඳන් ඉල්ලුම්පත් ලැබීමේ වැඩිවීමක් පෙන්නුම් කරනවා. ඊට සරිලන විදියට සේවා පුළුල් කෙරුණා. ඒ අනුව ගම්පහ දිස්ත්‍රික්කය වැඩිපුර ණය සහන ඉල්ලුම්පත් ලැබෙන ප්‍රදේශයක් විදියට හඳුනා ගැනුණා. ඊට අමතරව ගාල්ල කාර්යාලය මඟින් දකුණු පළාතම ආවරණය කෙරෙනවා. කොළඹ ප්‍රධාන සහ කොළඹ ශාඛා කාර්යාල මඟින් වෙන වෙනම ප්‍රදේශ වෙන් කරගෙන සේවා සලසනවා. ඒ අනුව ප්‍රධාන කාර්යාලය මඟින් බදුල්ල, අම්පාර, කල්මුනේ, මඩකලපුව, කොළඹ, අවිස්සාවේල්ල, හෝමාගම යන ප්‍රදේශවලට අදාළ ඉල්ලුම්පත්වලට අදාළ කටයුතු කරනවා. කොළඹ ශාඛා කාර්යාලයෙන් රත්නපුර, ඇඹිලිපිටිය, නුවරඑළිය, මොනරාගල, කළුතර, පාණදුර කලාප ආවරණය කෙරෙනවා.

 දිවයිනම ආවරණය කිරීමට ඔබලාට සම්පත් ප්‍රමාණවත්ද?

හිඟ, අඩු පාඩුකම් නැතුවා නෙවෙයි. ඒත්, පවතින සීමිත සම්පත් උපයෝගී කරගෙන කටයුතු කරනවා. ඇතැම් රාජකාරි සඳහාම වෙන්වූ නිලධාරීන් නැතිකමින් වෙනත් සේවාවල නියුතු අයගෙන් රාජකාරි ආවරණය කර ගැනීමට සිදු වෙනවා. ණය සහනදායී මණ්ඩලයේ ලේකම්වරිය දුර බැහැර ප්‍රදේශවලටත් යමින් කටයුතු සඳහා වෙහෙසෙනවා.

 මෙහිදී අසන්නට දකින්නට ලැබෙන අත්දැකීම් අනුව ඔබට ජනතාවට යම් උපදෙසක් දිය හැකිද ?

මෙරට පිළිගත්, ලියාපදිංචි ආයතනයක් සමඟ නිතර ගනුදෙනු කිරීමට වග බලාගැනීම කාටත් නුවණට හුරුයි. එහෙම නැතිව අසල්වාසින්ගෙන්, පොලී මුදලාලිලාගෙන් මුදල් දේපළ උකසට තබා ගත් අයට සහන සැලසීමයි මේ මණ්ඩලයෙන් කෙරෙන්නේ. මාසික පොලිය ඉතා ඉහළ අගයක් ගන්නා අය එක්ක තවදුරටත් ගනුදෙනු කිරීමත් අවදානම්. තවම සමහරු ඔවුන්ගේ උකසට අදාළව ණය සහනදායී මණ්ඩලයෙන් සහන ලැබිය හැකි වග දන්නේ නැහැ.

නුවන් මහේෂ් ජයවික්‍රම

ඡායාරූපය - මාලන් කරුණාරත්න

නවතම පුවත්

 චිරං ජයතු

සැප්තැම්බර් 28 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website