අඟහරුවාදා, 13 ජූනි 2023 09:22

පිළිකා සෛල නසන නව පෝෂක ඖෂධයක් Featured

මහාචාර්ය සමීර ආර්. සමරකෝන් ජෛව රසායන, අනුක රසායන සහ ජෛව තාක්ෂණ ආයතනය, කොළඹ විශ්වවිද්‍යාලය

පිළිකාවක් ජීවිතයක් විනාශ මුඛයට ඇදගෙන යන භයානක, මාරක බෝනොවන රෝගයකි. ඇතැම් රෝග සඳහා ලොව ඖෂධ ඇත. පිළිකා රෝගය පාලනය සඳහා ද යම් යම් ඖෂධ තිබුණද මෙම පිළිකා සෛල විනාශ කර පිළිකා රෝගය පාලනය කළ හැකි නව ඖෂධයක් කොළඹ විශ්වවිද්‍යාලයේ විද්වතුන් පිරිසක් විසින් සොයා ගෙන තිබේ. මෙම නව ඖෂධය මඟින් පිළිකා සෛල පාලනය කරමින් පිළිකා තත්ත්වය පාලනය කිරීමට හැකි බව කොළඹ විශ්වවිද්‍යාලයේ ජෛව රසායන, අනුක රසායන සහ ජෛව තාක්ෂණ ආයතනයේ මහාචාර්ය සමීර ආර්. සමරකෝන් මහතා පවසයි. මේ ඒ පිළිබඳව මහාචාර්යවරයා සමඟ සිදු කළ සාකච්ඡාවකි.

කොළඹ විශ්වවිද්‍යාලය මඟින් දීර්ඝ කාලයක සිට පිළිකා රෝගය පාලනය කිරීම සඳහා පර්යේෂණ රැසක් පවත්වනු ලබනවා. එම පර්යේෂණවල ප්‍රතිඵල ලෙස පිළිකා සෛල පාලනය සඳහා බෙහෙතක් සොයා ගත් බවට තොරතුරු සඳහන් වෙනවා. ඒ ඖෂධය කුමක්ද ? එහි ප්‍රතිඵලය කෙතරම් දුරට සාර්ථකද ?

අප කණ්ඩායමක් විදිහට දිගු කාලයක සිට පිළිකා පිළිබඳවත් එම පිළිකා තත්ත්වයන් සුව කළ හැක්කේ කෙසේද ඒ සඳහා බෙහෙත් නිෂ්පාදනය කළ හැක්කේ කෙසේද කියලා පර්යේෂණ සිදු කළා. එහිදී අපි අංශ දෙකක් ඔස්සේ පර්යේෂණ සිදු කරනවා. එක් පර්යේෂණයක් බටහිර වෛද්‍ය ක්‍රමය ඔස්සේ සිදු කරනවා. ඒවා තවමත් පර්යේෂණ මට්ටමේ සිදු වෙනවා.

ඒ පර්යේෂණවල වර්තමාන තත්ත්වය මොන වගේද?

එහි සාර්ථකත්වය යම් මට්ටමක තිබෙනවා. එහෙත්, බටහිර වෛද්‍ය ක්‍රමය යටතේ සිදු කරනු ලබන පර්යේෂණවල තත්ත්වය අනුව තවත් ටික කාලයකින් එහි ප්‍රතිඵල ලබා ගැනීමට හැකියාව ලැබේවි. මේ සඳහා අපේ කාර්ය මණ්ඩලය එකම කණ්ඩායමක් විදිහට ලොකු කැපවීමකින් වැඩ කරනවා.

මේ දිනවල පිළිකා සෛල පාලනය සඳහා වූ බෙහෙත ප්‍රවෘත්ති මවන කරුණක් බවට පත් වෙලා. ඔබ කලින් සඳහන් කළ පර්යේෂණය සහ සාර්ථක ප්‍රතිඵල පෙන්වූ බෙහෙත මොකක්ද?

අපි මූලිකව විවිධ ඖෂධ හා ශාක ඇසුරු කර ගනිමින් විවිධ පරීක්ෂණ සිදු කරමින් බටහිර ක්‍රමයේ බෙහෙතක් නිෂ්පාදනය කිරීමට කටයුතු කරමින් සිටිනවා. විවිධ සංයෝග හඳුනා ගනිමින් ඒ සංයෝග අත්හදා බලමින් මේ බටහිර ක්‍රමටය සකස් කළ බෙහෙත පිළිබඳව පර්යේෂණ සිදු කරනු ලබනවා. එයින් අපි සොයා බලන්නේ මේ ප්‍රතිකාර ක්‍රමවලින් පිළිකා සෛල කොතෙක් දුරට නැති කිරීමට හැකියාව තිබෙනවාද කියලයි. ඒ මම පෙන්වා දුන්නේ බටහිර ක්‍රමයට අප නිෂ්පාදනය කරන බෙහෙතට පුළුවන්ද කියලයි.

ඒ අතර බටහිර නොවන ක්‍රමයක් පිළිබඳවත් අපි විශ්වවිද්‍යාලය තුළ පර්යේෂණ සිදු කළා. එතැනදී අපි බැලුවේ දේශීය ක්‍රම උපයෝගී කර ගෙන පිළිකා නාශක ඖෂධයක් සාර්ථක විදිහට නිෂ්පාදනය කිරීමටයි. අපට දැන් ඒ පර්යේෂණයේ හොඳ ප්‍රතිඵල ලැබී තිබෙනවා. එම බෙහෙත් මඟින් පිළිකා සෛල ඇති වීම මෙන්ම ප්‍රතිකාර ලබා අර්ධ සුවය ලැබූ රෝගීන්ගේ රෝගී තත්ත්වය පූර්ණ විදිහට සුවපත් කිරීමට හැකි තත්ත්වයක් පෙන්නුම් කර තිබෙනවා. ඇත්තෙන්ම මෙම බෙහෙත් පිළිකා රෝගීන් වෙත සාර්ථක ප්‍රතිඵල අත්පත් කර ගැනීමට හැකි වටිනා ඖෂධයක් විදිහට සඳහන් කරන්න පුළුවන්.

කිමෝ තෙරපි, රේඩියෝ තෙරපි ක්‍රම මඟිනුයි මෙතෙක් කල් පිළිකා රෝගීන්ගේ රෝගී තත්ත්වයන් පාලනය කළේ. එහෙත් මෙම ක්‍රම මඟින් වුවද පූර්ණ සුවයක් නොලැබුණු අය රැසක් සිටියා. නව බෙහෙත් මෙවැනි රෝගීන් වෙත බලපාන්නේ කොහොමද?

ඔව්. පිළිකා රෝගය මැඬලීම සඳහා ඔබ සඳහන් කළ විදිහේ තෙරපි වර්ග ලබා දෙනවා. ඒ තෙරපි ලබා දෙන්නේ මූලික වශයෙන් සැත්කමකින් පිළිකා සෛල ඉවත් කිරීමෙන් පසුවයි. එසේ පිළිකා සෛල ඉවත් කළත් සියයට සියයක් ඒ සෛල ඉවත් වීමක් සිදුවෙන්නේ නැහැ. ඒ නිසයි කිමෝ තෙරපි සහ රේඩියෝ තෙරපි ප්‍රතිකාර ලබා දෙන්නේ. අප නිෂ්පාදනය කළ බෙහෙත පිළිකා රෝගීන් සඳහා වූ පෝෂක ඖෂයක් විදිහට පාවිච්චි කළ හැකියි. එමඟින් පිළිකා සෛල නැවත ඇතිවීම පාලනය වෙනවා වගේම රෝගීන් සුවපත් කිරීමටත් ලොකු ඉඩක් ලැබෙනවා.

අද පිළිකාව වැනි රෝගයක් සඳහා භාවිත කරනු ලබන ඖෂධ වර්ග මිලෙන් ඉතාමත් අධිකයි. ඒ නිසා ආර්ථික අපහසුතා ඇති අයට මේ බෙහෙත් ලබා ගැනීමට නොහැකි වන අවස්ථා පිළිබඳව ද පසුගිය කාලයේදී වාර්තා වුණා. එහෙත් අප නිෂ්පාදනය කළ පිළිකාවට එරෙහි ඖෂධය සෙසු පිළිකා නාශක බෙහෙත්වලට වඩා අඩු මුදලකට ගන්න පුළුවන් වගේම එයින් ලැබෙන ප්‍රතිඵල ද වඩාත් සාර්ථකයි. මෙමඟින් පිළිකා සෛල මරා දැමීමට ලොකු ඉඩක් වගේම ශක්තියත් තිබෙන බව පර්යේෂණවලින් තහවුරු වෙලා තිබෙනවා.

බටහිර ප්‍රතිකාර ක්‍රම සහ දේශීය ප්‍රතිකාර ක්‍රම අතර දිගු කලක සිට පැවැතුණේ නොගැළපීමක්. බටහිර වෛද්‍යවරු මෙන්ම දේශීය වෛද්‍යවරුද එකිනෙකට මෙම වෛද්‍ය ක්‍රම ප්‍රතික්ෂේප කළා. ඔබ කණ්ඩායමට හැකියාව ලැබිලා තිබෙනවා මෙම පිළිගත් ක්‍රම දෙක අනුගමනය කරමින් සාර්ථක වෙන්න. ඒ ගැන යම් පැහැදිලි කිරීමක් කළ හැකිද?

මම මේ ගැන සොයා බැලුවා, ලෝකයේ මෙවැනි වෛද්‍ය ක්‍රම ක්‍රියාත්මක වෙන්නේ කොහොමද ඒවා සාර්ථක වෙන්නේ මොන විදිහටද කියලා. මම මෙතැනදී කියුබාව පිළිබඳවත් විශේෂයෙන් සොයා බැලුවා. කියුබාව කියන්නේ වෛද්‍ය විද්‍යාත්මක අතින් ගොඩක් ඉදිරියෙන් ඉන්න රටක්. ඒ රට වෛද්‍ය විද්‍යාත්මකව දියුණු වෙන්න ප්‍රමුඛ හේතුව බවට පත්ව තිබෙන්නේ, ඒ රටේ තිබෙන සාම්ප්‍රදායික දේශීය ක්‍රම සහ බටහිර ක්‍රම එක්වයි. කියුබාවේ වෛද්‍ය විද්‍යාව සාර්ථකත්වය වෙත ගමන් කර තිබෙන්නේ එහි ආදර්ශයක් විදිහටයි අපිත් මෙවැනි දේශීය සහ බටහිර යන ක්‍රම දෙකම එක්කර කටයුතු කරන්න කටයුතු කළේ. අපි දැන් සාර්ථක විදිහට නිෂ්පාදනය කර තිබෙන පිළිකා රෝගීන් සඳහා වූ පෝෂණ ඖෂධයත් එවැන්නක් විදිහට සඳහන් කළ හැකියි.

නිෂ්පාදනය කර තිබෙන පිළිකා නාශක පෝෂණ ඖෂධය සහ තවමත් පර්යේෂණ මට්ටමේ ඇති බටහිර පිළිකා නාශක බෙහෙත අතර තිබෙන්නේ කුමන ආකාරයේ වෙනස්කමක්ද?

පර්යේෂණ මට්ටමේ තිබෙන්නේ එන්නත් සහ පෙති කරල් වශයෙන් ලබා ගන්න පුළුවන් බෙහෙතක්. අපේ අරමුණ තමයි, පිළිකා නාශක එන්නතක් නිෂ්පාදනය කිරීම හෝ කරලක්, පෙත්තක් විදිහට නිෂ්පාදනය කිරීමයි. ඒ සඳහා වූ සාර්ථක ගමනක් අප දැනටමත් ගිහින් තිබෙනවා. නුදුරේදී අපට මේ ඉලක්කයත් සාර්ථක කර ගැනීමට පුළුවන් කම ලැබේවි කියලා මම විශ්වාස කරනවා.

අද භාවිත වන බොහෝ පිළිකා නාශක බෙහෙත් සහ තෙරපි ක්‍රමවල විශාල ලෙස අතුරු ආබාධ ඇතිවීමේ ප්‍රවණතාවක් තිබෙනවා. සමහර අවස්ථාවල රෝගියා මිය යන්නේ රෝගයෙන් නොවෙයි, බෙහෙතෙන් ඇති වුණ අතුරු ආබාධ නිසයි. ඔබ ඇතුළු කණ්ඩායම නිෂ්පාදනය කර වෙළෙඳපොළ වෙත නිකුත් කර තිබෙන පිළිකා නාශක බෙහෙතේ එවැනි අතුරු ආබාධ නැද්ද?

බටහිර බෙහෙත් විදිහට නිෂ්පාදනය වෙන බොහෝ දේවල්වල අතුරු ආබාධ තත්ත්වයන් රැසක් ඇති වෙනවා. එහෙත් අපේ බෙහෙතේ අතුරු ආබාධ තත්ත්වයන් ඇත්තේම නැහැ. අපි රැස්කළ තොරතුරු අනුව ප්‍රතිශක්තිය සහිත තරුණ පිරිස් වෙත අපගේ බෙහෙත් ලබා දීම නිසා ඔවුන් පූර්ණ සුවයට පත් වූ අවස්ථා තිබෙනවා. වෙනත් රෝගවලින් පෙළෙන සහ වයස්ගත පිරිස්වලට වඩා තරුණ පිළිකා රෝගීන්ට අපේ බෙහෙතෙන් ලොකු ප්‍රතිඵලයක් ලබා ගැනීමට හැකියාව ඇති බව තහවුරු වෙලා තිබෙනවා.

මෙම නව ඖෂධය සොයා ගැනීමට සඳහා ලැබුණේ මොන විදිහේ සහායක්ද?

ඇත්තෙන්ම අපට මේ පර්යේෂණ පෙළ සාර්ථක කර ගැනීමට හැකියාව ලැබුණහොත් එහි ගරුත්වය යන්නේ රටටයි. එමඟින් රෝගී ජීවිත විශාල ප්‍රමාණයක් සුවපත් කර ගැනීමටත් අකලට මරණයට පත්වීම වැළැක්වීමටත් හැකියාව ලැබෙනවා. මෙම කාර්ය සඳහා මා සමඟ පිරිසක් වෙහෙසෙනවා. අපි සියලු දෙනා එක් කණ්ඩායමක් විදිහට වැඩ කරගෙන යනවා. අපේ මේ පර්යේෂණ කටයුතුවලට විදේශ ආධාර වගේම දේශීය වශයෙන්ද ආධාර ලැබුණා. ඒ වගේම දේශීය සමාගමකද සහාය ලැබුණා. මේ පර්යේෂණ සාර්ථක ලෙස ඉදිරියට අරන් ගිහින් මානව ප්‍රජාවට සහනයක් ලබාදීම අපේ අරමුණයි.

ඔබ දීර්ඝ කාලයක සිට පිළිකා රෝගය පිළිබඳව සහ ඒ සඳහා අවශ්‍ය ප්‍රතිකාර මොනවාද යන්න ගැන පර්යේෂණ පවත්වන්නකු විදිහට එදාට සාපේක්ෂව අද පිළිකා රෝගයේ පැතිර යාම වැඩි වීමට හේතු විදිහට දකින්නේ කුමක්ද?

මෙයට විවිධ හේතු බලපානු ලබනවා. අපේ ආහාර රටාව, ජීවන රටාව, එක් හේතුවක් බවට පත්ව තිබෙනවා. අද අපි ගත කරන්නේ අතීතයට වඩා වෙනස් සහ වැරැදි ආහාර සහ චර්යා රටාවකුයි. ඒ රටාව නිසා පිළිකා වැනි රෝග තත්ත්වයන් උග්‍ර වීමට හේතු නිර්මාණය වෙලා තිබෙනවා. දුම්පානය මත්පැන් පානය නිසාත් පිළිකා ඇති වෙන්න ඉඩ වැඩියි. අපි සියල්ලන් තුළ පිළිකා සෛල අඩු වැඩි වශයෙන් තියෙනවා. ඒ සෛල ඇති වෙන්නේ අපේ වැරැදි පුරුදු නිසයි. පිළිකා වැඩි වීමට මේ දේවල් ප්‍රධානයි.

ඒ වගේම තාක්ෂණය නිසා අද පිළිකා රෝගීන් හඳුනා ගැනීම පහසු වෙලා තිබෙනවා. එහෙත්, එදා බොහෝ අය තමන්ට පිළිකාවක් තිබෙනවා කියලා නොදැනුවත්වම මිය යනවා. මේ සියලු කරුණු නිසා පිළිකාව අද මානවයාට මරණය ගෙන එන භයානක බෝ නොවන රෝගයක් බවට පත්වෙලා තිබෙනවා. එනිසා මේ තත්ත්වය වැළැක්වීමට වහාම කටයුතු කළ යුතුයි.

උදිත ගුණවර්ධන

 

නවතම පුවත්

 චිරං ජයතු

සැප්තැම්බර් 28 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website