බ්‍රහස්පතින්දා, 15 ජූනි 2023 10:53

රාජ්‍ය, පෞද්ගලික පාසල් පද්ධතියේ ප්‍රමිතිය පරීක්ෂා කිරීමට යාන්ත්‍රණයක් අවශ්‍යයි – ජනපති Featured

ලොව සංවර්ධිත සෑම රටක්ම ඉදිරියට පැමිණ ඇත්තේ එම රටේ මානව සම්පත දියුණු කිරීමෙන් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය.

එබැවින් 2048 දියුණු රටක් පිළිබඳ අරමුණු සාක්ෂාත් කර ගැනීමේ දී නිසි අධ්‍යාපන ක්‍රමවේදයක් මෙන්ම පුහුණු ශ්‍රම බලකායක් රටට අවශ්‍ය බව ද ජනාධිපතිවරයා අවධාරණය කළේය.


ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව සකස් කිරීමේ අමාත්‍ය කමිටුවට සහාය වීම සඳහා පත් කරන ලද විශේෂඥ කමිටුවේ පළමු සාකච්ඡාවට ඊයේ (14) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී එක් වෙමිනි.

මෙරට මානව සම්පත පෙළගැස්වීමත්, අධ්‍යාපන ක්‍රමයෙන් දැනුම කුසලතා හා හැකියාවන්ගෙන් සමන්විත ශ්‍රම බලකායක් ගොඩනැගීම සහ ශ්‍රී ලංකාව කලාපයේ අධ්‍යාපන කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීමත් අරමුණු කර ගනිමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සභාපතීත්වයෙන් යුතුව දස දෙනෙකුගෙන් සමන්විත ‘අධ්‍යාපන අමාත්‍ය කමිටුව’ පත් කර තිබේ.

ඊට සහාය වීම සඳහා පත් කර ඇති මෙම විශේෂඥ කමිටුව මගින් පූර්ව ළමාවිය සහ පෙරපාසල් අධ්‍යාපනය, ප්‍රථමික හා ද්විතියීක අධ්‍යාපනය, උසස් අධ්‍යාපනය, වෘත්තීය පුහුණු සහ තොරතුරු තාක්ෂණ යන ක්ෂේත්‍ර 05 ඔස්සේ සිදු කළ යුතු ප්‍රතිසංස්කරණ පිළිබඳ සොයා බලා සකස් කරන ලද වාර්තාව නියමිත කාල සීමාව තුළ ජනාධිපතිවරයා වෙත භාරදීමට නියමිතය.

ඉදිරි අභියෝග ජය ගත හැකි අනාගත පරපුරක් ගොඩනැඟිම සහ පුහුණු ශ්‍රම බලකායක් රට තුළ ගොඩනැඟීමට අධ්‍යාපන ක්‍රමයේ සිදු කළ යුතු කඩිනම් සංශෝධන පිළිබඳව මෙහිදී පුළුල් ලෙස සාකච්ඡාවට ලක් කෙරිණි.

විභාග නියමිත කාලසීමාවන් තුළදී පැවැත්වීමේ අවශ්‍යතාව මෙහිදී අවධාරණය කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අ.පො.ස (උසස් පෙළ) විභාගය පැවැත්වීම සඳහා නිශ්චිත මාසයක් නෛතිකව ප්‍රකාශයට පත් කරන බවත්, එය වෙනස්කරනවා නම් ඒ බව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර අනුමැතිය ලබාගත යුතු අතර අතිශය බරපතළ තත්ත්වයක හැර එය වෙනස් කිරීමට නොහැකි වන අන්දමින් නීති සකස් කරන බවත් අවධාරණය කළේය.

වසර 13ක කාලයක් ළමුන් පාසැල් අධ්‍යාපනයයේ රඳවා ගැනීමේ අවශ්‍යතාවය පිළිබඳව ද මෙහිදි ජනාධිපතිවරයා නිලධාරීන්ගේ අවධානය යොමු කළ අතර අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය සහ 05 වසර ශිෂ්‍යත්ව විභාගයේ අවශ්‍යතාව පිළිබඳ කඩිනමින් සාකච්ඡා කර තීරණයකට පැමිණිය යුතු බව ද සඳහන් කළේය.

එසේම අධ්‍යාපනය තාක්ෂණය සමඟ බද්ධව ඉදිරියට යාමේ අවශ්‍යතාවත්, පාසල් පද්ධතියේ ප්‍රමිතිය පවත්වාගෙන යාමේ අවශ්‍යතාවත් ජනාධිපතිවරයා අවධාරණය කළ අතර පාසල් ළමුන්ගේ ඉංග්‍රීසි දැනුම වර්ධනය කිරීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග කෙරෙහි ද අවධානය යොමු කළේය.

රජයේ සහ පෞද්ගලික පාසල්වලද ගුණාත්මක අධ්‍යාපන තත්ත්වයක් තහවුරු විය යුතු බවත් ඒ සඳහා පරීක්ෂක කාර්යාල ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවයත් ජනාධිපතිවරයා පැහැදිළි කළේය.

වෘත්තීය පුහුණු ක්ෂේත්‍රය ද කඩිනම් වෙනස්කම්වලට ලක් කිරීමේ අවශ්‍යතාව පෙන්වා දුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පුහුණු ශ්‍රම බලකායක් සිටින රටක් නියත වශයෙන් සංවර්ධනය කරා ගමන් කරන බැවින් ඉදිරි ශ්‍රම වෙළෙඳපොළට අවශ්‍ය පුහුණ ශ්‍රමිකයින් බිහි කිරීම සඳහා මෙරට වෘත්තීය පුහුණු ක්ෂේත්‍රය ද කඩිනම් වෙනස්කම්වලට ලක් කළ යුතු බව පැවසීය.

 

DMN

නවතම පුවත්

 චිරං ජයතු

සැප්තැම්බර් 28 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website