බදාදා, 21 ජූනි 2023 10:01

ශ්‍රී ලංකන් ගුවන් සේවය ප්‍රමාදයි - කොරියානු රැකියා සදහා ශ්‍රමිකයින් යැවීමට නොහැකිවෙයි Featured

කොරියානු රැකියා සදහා පිටත්ව යන ශ්‍රමිකයින් ගමන් ගන්නා ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යූ එල් 470 දරණ ගුවන් යානය ඊයේ(20) දිනයේදීත් පැය 12ක් පමණ ප්‍රමාදවීම නිසා එම ශ්‍රමිකයින් කණ්ඩායම කොරියාව බලා පිටත් කර යැවීමට නොහැකිව ඇත.

කොරියාව බලා ශ්‍රමිකයින් රැගෙන යන ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් ගුවන් යානා දිගින් දිගටම මේ ආකාරයට ප්‍රමාද වීම නිසා කොරියානු රැකියා සදහා ශ්‍රමිකයින් පිටත් කර යැවීම බරපතල ගැටලුවක් බවට පත්ව තිබෙන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පවසයි.


කොරියානු රැකියා සදහා පිටත්ව යන 800 වැනි කණ්ඩායම ලෙස මෙම කණ්ඩායම දකුණු කොරියාව බලා පිටත් කර යැවීමට අවශ්‍ය සියලුම කටයුතු ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් සූදානම් කර තිබුණි. කොරියාවේ ධීවර ක්ෂේත්‍රයේ රැකියා සදහා ශ්‍රමිකයින් පනස් දෙදෙනෙක් මේ ආකාරයට පිටත්ව යාමට නියමිතව සිටි නමුත් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ප්‍රමාදය නිසා ඔවුන් ඊයේ දිනයේදී කොරියාවට නොඑවන ලෙසට කොරියානු මානව සම්පත් දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට දැනුම්දී ඇත.

පසුගිය මැයි 23 වැනිදාද මේ ආකාරයට ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් ගුවන් යානයක් ප්‍රමාද වූ අතර එම ගුවන් යානයෙන් කොරියාව බලා පිටත්ව යාමට නියමිතව සිටි ශ්‍රී ලාංකික ්‍රශ්‍රමිකයින් කොරියාවට භාරගැනීම එරට මානව සම්පත් දෙපාර්තමේන්තුව ප්‍රතික්ෂේප කළේය. ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මැදිහත්වීම මත එම ශ්‍රමිකයින් ජුනි 4 වැනිදා කොරියාව බලා පිටත් යැවීමට කටයුතු කළ නමුත් එදිනද එම ගුවන් යානය පැය දෙකක් පමණ ප්‍රමාද වී තිබ්නි.

මේ ආකාරයට කොරියානු රැකියා සදහා ශ්‍රමිකයින් රැගෙන යන ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් ගුවන් යානා ප්‍රමාදයට පත්වීම බරපතල තත්වයක් වන අතර මේ නිසා කොරියානු රැකියා සදහා ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් යොමු කිරීම බරපතල ප්‍රශ්නයක් බවට පත්ව තිබෙන බව අමාත්‍යවරයා අවධාරණය කරයි.

මේ සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් තීරණ ගැනීම සිදුවන බවද මනුෂ නානායක්කාර අමාත්‍යවරයා තරයේ අවධාරණය කර සිටී.

 

DMN

නවතම පුවත්

 චිරං ජයතු

සැප්තැම්බර් 28 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website