සදුදා, 13 පෙබරවාරි 2023 20:05

21 ක් වතාවක් මැතිවරණය කල් දාන්න සැලසුම් කර දැන් අලුත් කුමන්ත්‍රණයක්…. Featured

පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය ආණ්ඩුව මේ වනවිට 21 ක් වතාවක් කල් දැමීම සඳහා සැලසුම් සකස් කළ නමුත් ඒ සියල්ල ව්‍යර්ථ වී ගිය පසුබිමක නව කුමන්ත්‍රණයක් මගින් මැතිවරණයට මුදල් නොදී සිටීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අනාවරණය කරයි.

ඒ මහතා මේ බව පවසා සිටියේ පානදුර ප්‍රදේශයේ පැවති රැස්වීමක් අමතමිනි. මේ සඳහා නව ලංකා නිදහස් පක්ෂ නායක කුමාර වෙල්ගම මහතාද සම්බන්ධ විය.

එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ පාඨලී චම්පික රණවක මහතා;

“පාර්ලිමේන්තුව මගින් මේ මැතිවරණය කල් දැමීමට කිසිම ඉඩකඩක් දැන් නැහැ. ඒ සඳහා ගෙනා අණපනත් ආදියෙන් කිසිම බාධාවක් නැහැ. අධිකරණය පැත්තෙන් සැකමුසු භාවයක් තිබුණා නම් පසුගිය 10 වනදා අධිකරණය ඉදිරියේ මැතිවරණ කොමිසම කළ ප්‍රකාශයෙන් එය නැතිවී ගියා. දැන් කැබිනට් මණ්ඩලය තීරණය කරලා තියෙනවා මැතිවරණ කොමිසමට දෙන වියදම් නතර කරන්න. මාර්තු 09 පෙර මැතිවරණ කොමිසම පැත්තෙන් සිදුවිය යුතු විශාල රාජකාරී ප්‍රමාණයක් තිබෙනවා. පළවෙනි එක තමයි මේ තැපැල් ඡන්දය පැවැත්වීම. එය පෙබරවාරි 22,23,24 දින යොදලා තියෙනවා. ඒ සඳහා ඡන්ද කාඩ්පත් අපේ නිවෙස්වලට ලැබෙන්න ඕනේ 19 වනදා. 19 වෙනිදට ඡන්ද කාඩ්පත් ලැබෙන්න නම් දැන් ඒවා මුද්‍රණය කරලා ඒවා බෙදාහැරීමේ ක්‍රියාදාමයක් තියෙන්න ඕනේ. ඉතින් ඒක නිසා මේ මැතිවරණය 09 වනදා එකපාරට අහසින් වැටුණා වගේ කරන්න බැහැ. ඡන්ද පත්‍රික මුද්‍රණය, බෙදාහැරීම, අදාළ ඡන්ද මධ්‍යස්ථාන සූදානම් කිරීම, ආරක්ෂක සේවාවන් සූදානම් කිරීම, තැපැල් ඡන්දය පැවැත්වීම යනාදිය කලයුතුයි. මැතිවරණ කොමිසම ඒ අභියෝගය භාර අරගෙන කරගෙන යනවා. ඉතින් මැතිවරණ කොමිසමට මේ සඳහා මුදල් සපයන්නේ නැහැ කියලා රාවයක් දැන් පවත්වගෙන යනවා. මුදල් නැහැ කියන එක කිසිසේත්ම උත්තරයක් නෙමෙයි, මෑත කාලයේ ආණ්ඩුව පවත්වපු උත්සව දිහා බලනකොට. ආණ්ඩුවේ ආදායම් ගැන බලනකොට දවසක ආණ්ඩුවේ ආදායම තමයි මේ මැතිවරණය පවත්වන්න යන්නේ. මෑතදී විශාල උද්ඝෝෂණයක් ඇති වුණා වෘත්තීයවේදීන්, වෛද්‍යවරු, ඉංජිනේරුවෝ, කළමනාකාර සේවාවලින් තමන්ට අතිරේක බදු (PAYE tax) පනවලා තියෙනවා කියලා. ඒ බද්දෙන් මේ වගේ මැතිවරණ 10 ක් පවත්වන්න පුළුවන්. නීතිය දන්න නිලධාරීන් හැටියට, මුදල් අමාත්‍යංශයේ ලේකම්තුමා මතක තබා ගත යුතුයි මෛත්‍රීපාල සිරිසේන මහතාට , ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම්තුමාට, පොලිස්පතිතුමාට, බුද්ධි අංශ නිලධාරීන්ට ශ්‍රේෂ්ඨාධිකරණය පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ලබා දීපු නඩු තීන්දු. ඒ නඩු තීන්දුව මඟින් ඉතා නිශ්චිතව අමාත්‍යංශ ලේකම්වරු තමන්ට ව්‍යවස්ථාවෙන් පැනවී තිබෙන නියෝග පිළිපැදීමට අනිවාර්යෙන් බැඳී සිටිනවා කියන දේ පෙන්වා දුන්නා. නීතිගරුක නිලධාරියෙක් හැටියට එතුමා ඒ කාර්යය කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා.

මේ මැතිවරණයෙන් 10% වඩා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ඡන්ද ලැබෙන්නේ නෑ. ලැබීම ලැබීම වැළැක්වීමත් අපේ ජාතික වගකීමක්. අමාරුවෙන් අනුන්ගේ කරේ එල්ලිලා පාර්ලිමේන්තුවට එන මහින්ද රාජපක්ෂ මහත්මයා, චමල් මහත්තයා ඇතුළු ඒ රාජපක්ෂ පරම්පරාවේ දේශපාලනය මේ 09 වෙනිදාට අවසානයක් කිරීම අප සියලු දෙනාගේම වගකීම. නව දේශපාලනය ගොඩනගන්න අලුත් කට්ටියත් ඕනේ. පළපුරුදු පිරිසකුත් ඕනේ. පළාත් පාලන ආයතන ගෙනියන්න වෙන්නේ අපේ ස්වශක්තියෙන්. 2017 දී මේ පානදුරේ විශාල කුණු කන්දක් තිබුණනේ. අපි තමයි ඒ ප්‍රශ්නේ විසඳලා දුන්නේ. ඒ කළමනාකරණ හැකියාව, ඒ සඳහා අපි ඉදිරියේදී කැපවීමෙන් කටයුතු කරමු.

ඉන් අනතුරුව රැස්වීම අමතමින් අදහස් දැක්වූ නව ලංකා නිදහස් පක්ෂ නායක කුමාර වෙල්ගම මහතා පවසා සිටියේ 2015 සිටම හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාව මෙරට පාලකයෙකු වශයෙන් පත් කිරීම නුසුදුසු බවට මුලින්ම හඬ නැගුවේ තමන් බවත් එම ප්‍රකාශ සිදුකරනු ලැබුවේ අනාගතය දැක බවත්ය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කුමාර වෙල්ගම මහතා;

“අද රටේ පොඩි ළමයින් මන්ද පෝෂණයෙන් පෙළෙනවා. ඉස්කෝලේ යන ළමයින්ට පොත් ගන්න විදියක් නැහැ. ගොවියෝ පොහොර නැතුව කෑගහනවා. ඒ වගේම මුළු රටම බොහොම අමාරුවෙන් පෙලෙන කාලයක්. ඉතින් ඒ නිසා මේකට අලුත් මුහුණු වැටෙන්න ඕනේ කියන එක මම පිළිගන්නවා.පරණ මුහුණුත් තියෙන්න ඕනේ. නැත්නම් අලුත් මුහුණට තනියම යන්න අමාරුයි. මේ පක්ෂ නායකයෝ හිතා ගන්න ඕනේ දැන්වත් දූෂණය නවත්තන්න. මේ පළාත් පාලනය තමන්ම ගමේ ජනතාවත් එක්ක එක්කහු වෙලා දියුණු කරනවා ඇරෙන්න වෙනත් මාර්ගයක් නැහැ කියන එක අද අපිට පැහැදිලිව අවබෝධ කරලා දුන්නා. එදා පාලනය කරපු විදියට යන්න ලෑස්ති වෙන්න එපා. එහෙම ගියොත් මේ රටේ කිසි කෙනෙක් ඉතුරු වෙන්නේ නැහැ. වයසක අපි විතරයි ඉතුරු වෙන්නේ. දැන් එක එක පක්ෂ වලින් එනවා. ඔවුන්ගේ පසු විපරම බලන්න.”

Q&A

ප්‍රශ්නය: 13 ව්‍යවස්ථා සංශෝධනය ගේනවා. ඒ සම්බන්ධයෙන් ඔබතුමාගේ මතය මොකක්ද?

පිළිතුර: පාර්ලිමේන්තුව විසින් පළාත් සභා මැතිවරණ පැවැත්වීම පිළිබඳ පනතක් අනුමත කළා. 50% ක් කොට්ඨාශ පදනමෙනුත් 50% ක් අනුපාත පදනමෙනුත්. ඒ පිළිබඳව කොට්ඨාශ නිර්ණය කිරීමට ගියහම ආවා ගැටලුවක්. එය නිරාකරණය කරන්න මුලින්ම පළාත් සභා ඡන්දේ පවත්වන්න ඕන. පළමුව මේ උතුර දකුණ කලබල කරන් නැතුව මැතිවරණය තියන්න.
ප්‍රශ්නය: ජාතික ජනබලවේගය කියනවා රටේම බලය ඒගොල්ලෝ අල්ලනවා. අවුරුදු 75 දූෂණ, ඒගොල්ලෝ ඉවත් කරනවා කියලා. දැන් ඔබතුමාත් හිටපු ඇමතිවරයෙක් හැටියට මොකද මේ ගැන කියන්න තියෙන්නේ?

පිළිතුර: අපි අපේ ඇමතිකම් ඉතාම නිවැරදිව කරලා, රටට සේවය කලා. 75 ක කාලය තුළ මේ රටේ ඡන්ද දේශපාලනය විතරක් නෙමෙයි තිබුණේ. කැරලිත් තිබුණා, අරගලත් තිබුණා, ත්‍රස්තවාදයත් තිබුණා. මිනී කීයක් අසූ හත, අසූ නවය පිච්චුනාද?

කොපමණ නම් අපරාධ සිද්ධ වුණාද? මේ 75 වසරක ශාපය මැතිවරණවලින් පත්වෙච්ච දේශපාලකයින්ගේ සාපය විතරක් නෙවෙයි. ඒකට ඔය කැරලි ගහපු ඔය හැමෝමත් වගකියන්න ඕනේ. ඇත්ත වශයෙන්ම ඒ සිදුවෙච්ච සිදුවීම් නිසා රටට අහිමි වෙච්ච ජාතික ධනය ඩොලර් බිලියන 200ක් රටේ මුළු ණය ඩොලර් බිලියන 50යි. ඒ වගේ හතර ගුණයක් මේ කැරලි කෝලාහල නිසා විදේශ මැදිහත්වීම් නිසා, බෙදුම්වාදී ත්‍රස්තවාදය නිසා රටට අහිමි වෙලා තියෙනවා. ඔය දේශප්‍රේමී ව්‍යාපාර ආදී ඔක්කොමත් එක්ක මෙය බාරගන්න ඕන.”

– Media unit

නවතම පුවත්

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website