බදාදා, 05 ජූලි 2023 08:55

රාගම රෝහලේ බලධාරීන්ගේ නොසැලකිල්ලෙන් නූපන් තුන් නිවුන් දරුවන් සමඟ මව අවසන් ගමන් යයි Featured

“මගේ දරුවා විශාල වේදනාවක් දරාගෙන කෑගහද්දි කවුරු හරි ඇවිත් බැලුවා නම් අද මෙහෙම දෙයක් වෙන්නේ නැහැ. දුව ගැන බලන්න කිවුවත් කවුරුත් බැලුවේ නැහැ. මගේ දරුවා මැරුණේ රෝහල් බලධාරීන්ගේ නොසැලකිලිමත් බව නිසා“ යැයි තුන් නිවුන් දරුවන් බිහි කිරීමේ බලාපොරොත්තුවෙන් සිටියදී රාගම රෝහලේදී මිය ගිය ලවන්ති ජයසූරියගේ මව හඬා වැටෙමින් පැවසුවාය.

 

වසර ගණනාවක් දරු සුරතල් බැලීමට පෙරුම් පිරූ ලවන්ති ජයසූරිය මහත්මිය ඒ වාසනාව පෙනි පෙනී තිබියදීම තමාට ලද ඒ උතුම් වූ දායාදයත් සමඟම මෙලොව හැර ගියේ ඇයගේ ඥාතීන්ගේ පමණක් නොව, දරු සුරතල් බලන සියලු දෙනාගේ දෙනෙතට කඳුළක් එක් කරමිනි.

තුන් නිවුන් දරුවන් බිහි කිරීමට සිටි ලවන්ති ජයසූරිය මහත්මියගේ දරු ගැබට මාස 6ක් සම්පූර්ණ වීමෙන් පසු අධික රුධිර වහනයක් සිදු වීම නිසා ප්‍රතිකාර සඳහා රාගම රෝහලට ඇතුළත් වී තිබේ.

මාකොළ, පමුණුවිල විදුහලේ ඉතිහාස විෂය සම්බන්ධ ගුරුවරියක වූ 36 හැවිරිදි ඇය වසර 10ක කාලයක් දරු සුරතල් බැලීමට පෙරුම් පුරමින් සිට එම සිහිනය සැබෑ නොවුණ තැන, නළ දරු උපතක් මඟින් හෝ ඒ වාසනාව තමාට හිමි කරගැනීමට පෙරුම් පිරුවාය. ඇය ඒ අනුව පෞද්ගලික රෝහලකදී නළ දරු සැත්කමක් සිදු කරගෙන දරුවන් තිදෙනකුගේම මවක වීමට වාසනාව ලද්දාය. ඒ දරුවන්ගේ මුහුණු බැලීමට දැඩි ආශාවෙන් සිටින අතරතුර ඇයගේ දරු ගැබට මාස 6ක් සම්පූර්ණ වූ අවස්ථාවේ අධික ලෙස රුධිර වහනය හේතුවෙන් වරින් වර පෞද්ගලික රෝහලකින් ප්‍රතිකාර ගෙන ඇති ඇය පසුව රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් වන්නේ ඇය ප්‍රතිකාර ලැබූ මහාචාර්ය වෛද්‍යවරයාගේ උපදෙස් පරිදිය.

“දුව බෙහෙත් ගත්ත මහාචාර්යවරයා ස්කෑන් කරලා බලලා කිවුවා දුවට රාගම රෝහලේ එයාගේ වාට්ටුවට ඇතුළත් වෙන්න කියලා. අපට ඊට අවශ්‍ය ලිපියක් ද දුන්නා. මම ඇවිත් බලන්නම් කියලා මහාචාර්යවරයා කිවුවත් දවස් තුනක් යන කල් දුව බලන්න ආවේ නැහැ. දුව හැමතිස්සෙම මගේ යටිබඩ රිදෙනවා, කොන්ද රිදෙනවා කියලා කෑගැහුවා. විශාල වේදනාවක් මගේ දරුවා දැරුවා. මම කාර්ය මණ්ඩලයේ මිසීලාට කොන්ද නමලා කිවුවා ඇවිත් දුවව ටිකක් බලන්න කියලා. එත් කවුරුත් අවේ නැහැ. ඔය කාලෙට ඔහොම තමයි, කියලා ඒ අය කිවුවා. පස්සේ දරුවා හිටගෙන ඉන්න විට ලේ කුට්ටියක් එක්ක දරුවෙක් බිමට වැටුණා. ඒක දැකපු මිඩ් වයිෆ් කෙනෙක් ඇවිත් අපෝ කියලා වීල් චෙයා එකක් ගෙනත් දුවව වාඩි කෙරෙවුවා. එතකොට තමයි හැමෝගෙම ඇස් ඇරුණේ. එයා ඇවිත් බිම තිබුණ ලේ කුට්ටිය මගේ දරුවාගේ උකුළ උඩින් තිබ්බා. ලේ පෙරෙද්දි දුවව ලේබර් රූම් එකට අරගෙන ගියා. අරගෙන ගිය පාරේ හරකෙක් මැරිලා වගේ ලේ ගොඩක් තිබුණා. මගේ දරුවා පාන්දර 5 වෙනකල් වේදනාවෙන් කෑගැහුවා; දැඟලුවා. දරුවෝ තුන් දෙනාට මොනා වුණාද අපි දන්නේ නැහැ. අපි දරුවෝ දෙන්නෙක් දැක්කේ නැහැ. අපට පෙන්නුවේ නැහැ. මොන තරම් කරුමයක් කරලා තිබෙනවාද අපට මෙහෙම වෙන්න. මේ දේට වගකියන්න ඕනෑ රෝහල් බලධාරීන්....“ යැයිද මිය ගිය ලවන්තිගේ මව ඇඬූ කඳුළින් යුතුව පැවසුවාය.

මෙලොව එළිය නොදුටු සිය බිලිඳු දරුවන් සමඟ ඇය අවසන් ගමන් ගියේ තවත් මෙවැනි අම්මා කෙනකුට මෙවන් විපතක් හිමි කර නොදෙන්නට රෝහල් බලධාරීන්ගේ ඇස් අරවමිනි. ඉතිරි කලල දෙක සැත්කමකින් ඉවත් කළද අවසානයේ ඇයට ජීවිතයෙන් සමු ගැනීමට සිදු විය. රාගම ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය අංශවල නොසැලකිල්ල හේතුවෙන් මේ මරණ සිදු වූ බවට එම මවගේ පවුලේ ඥාතීහුද චෝදනා කළහ.

ඇයගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ඊයේ (4) පමුණුවිල පොදු සුසාන භූමියේදී සිදු කෙරිණි.

rtf

මේ අවාසනාවන්ත සිද්ධිය පිිළිබඳ උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ වෛද්‍ය අධ්‍යක්ෂ එස්. ලියනගේ මහතාගෙන් දුරකතනයෙන් විමසීමක් කළ අතර ඒ මහතා මෙසේ පැවසුවේය:

“මේ අවාසනාවන්ත සිද්ධියට මුහුණ පෑ කාන්තාව නළදරු උපතක් සඳහා පෞද්ගලික රෝහලකින් මූලික උපදෙස් ගෙන නළදරුවන් තිදෙනකු තැන්පත් කරගෙන තිබුණා. දරු ගැබට මාස හයකින් පස්සෙ ඇති වූ සංකුලතාවකට පෞද්ගලික රෝහලකින් ප්‍රතිකාර කරලා අවසානයේ ඒ රෝහලෙන් තමයි රාගම රෝහලට එවුවෙ. මගේ වෛද්‍යවරුන් ඔවුන්ට හැකි උපරිමෙන් ලෙඩාට අවශ්‍ය ප්‍රතිකාර කළා.දවස් හතරක් පමණ ඒ මව මේ රෝහලේ නේවාසිකව හිටියා. පස්වන දිනයේ තමයි මේ අවාසනාවන්ත සිද්ධියට මුහුණ දුන්නේ. ඔය කියන වෛද්‍යවරයාම තමයි මීට ඉහත නළදරුවන් හයදෙනකු එක් මවකගෙ කුසයේ තැන්පත් කරලා මහත් හාස්කමක් කළේ. එදා කවුරුත් ප්‍රශංසා කළා. අද මේ රෝහලටත් වෛද්‍යවරුන්ටත් වැරදි කියනවා. පෞද්ගලික රෝහල්වලින් වැරදුණාට පසුව අපට ගේන්නේ අවසාන අවස්ථාවේදී. අපි රජයේ රෝහල් වශයෙන් නළදරුවන් තැන්පත් කිරීම් කරන්නෙ නෑ. මේ රෝහල ගම්පහ දිස්ත්‍රික්කයේ තියෙන ලොකුම රෝහල. පුත්තලමෙන් කුරුණෑගලින් පවා බරපතළ තත්ත්වයේ පසු වන රෝගීන් රැගෙන එනවා. දවසකට 400කට වැඩි රෝගීන් පිරිසක් නේවාසික රෝගීන් ලෙස මෙහෙට එනවා. මියගිය කාන්තාවට රෝහලෙන් නොසැලකූ බව කීම මට පිළිගන්න බැහැ.

ඇඳ ඉහපත වාර්තාව ඒකට සාක්ෂියක්. මේ කළල තුන කුස තුළ තැන්පත් කර සති 23කින් විතර පස්සෙ තමයි මේ සංකුලතා ඇවිත් තිබුණේ. දැන් ඉතිං අපේ රෝහලට දොස් පැවරීම අපට නවත්වන්න බැහැ.“

 

DMN

නවතම පුවත්

 චිරං ජයතු

සැප්තැම්බර් 28 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website