බ්‍රහස්පතින්දා, 06 ජූලි 2023 10:39

ධාවන ශූර රංග නඩුවෙන් නිදහස් Featured

මරණ බවට තර්ජනය කළ බියවද්දා යුද හමුදා කපිතාන්වරයකුගෙන් බලහත්කාරයෙන් රුපියල් ලක්‍ෂ හයක මුදලක් ලබාගැනීම හා ඒ සඳහා ආධාර අනුබලදීම ඇතුළු චෝදනා යටතේ පවරා තිබූ නඩුවක විත්තිකරුවන් වූ ආසියානු පදක්කම්ලාභී ධාවන ශූර රංග විමලවංශ හා පොලිස් කොස්තාපල් නිහාල් ජයන්ත යන මහත්වරුන් චෝදනා වලින් නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා පෙරේදා (04දා) නියෝග කළේය.

යුද හමුදා කපිතාන් සම්පත් අබේසිංහ මහතාට තර්ජනය කර එකී මුදල ලබාගැනීම ඇතුළු චෝදනා දෙකක් යටතේ නීතිපතිවරයා විසින් එම නඩුව පවරා තිබිණි.

විත්තිකරුවන්ට එරෙහිව ගොනුකර ඇති චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කර නොමැති බවට දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව නිගමනය කළ විනිසුරුවරයා විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ ශාබ්ධික වෙල්ලප්පිලි මහතා කළ ඉල්ලීම සලකා බලමින් එම නියෝගය කළේය.

2008 වසරේදී පැමිණිලිකරු විසින් කරන ලද අසත්‍ය පැමිණිල්ලක් මත අත්අඩංගුවට ගෙන රක්‍ෂිත බන්ධනාගාර ගත කළ තමාගේ ක්‍රීඩා ජීවිතය එකී නඩු කටයුත්ත නිසා බොහෝදුරට අඩපණ වූ බවත් ජාත්‍යන්තර ක්‍රීඩා තරග රැසකට සහභාගිවී රන් පදක්කම් ඇතුළු ජාත්‍යන්තර පදක්කම් කිහිපයක් දිනා ගනිමින් රටට ගෞරවයක් ලබාදුන් තමා එවැනි අභූත චෝදනාවලට ගොදුරු කිරීම ඉතා වැරදිසහගත බවත් ධාවන ශූර රංග විමලවංශ මහතා විත්තිය වෙනුවෙන් සාක්‍ෂි ලබාදෙමින් අධිකරණයට කීවේය.

නීතිඥ ශ්‍යාල් හේරත්, නීතිඥ වෛ්‍යජයන්තිමාලා නන්දසේන යන නීතිඥ මණ්ඩලය සමඟ ජ්‍යෙෂ්ඨ නීතිඥ ශාබ්ධික වෙල්ලප්පිලි මහතා විත්තිය වෙනුවෙන් පෙනී සිටියේය.


ඒ. ජේ. ඒ. අබේනායක

Last modified on බ්‍රහස්පතින්දා, 06 ජූලි 2023 10:41

නවතම පුවත්

 චිරං ජයතු

සැප්තැම්බර් 28 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website