බදාදා, 26 ජූලි 2023 08:50

විනිසුරු වැටුපට බදු පැනවීමට එරෙහි අතුරු තහනම අත්හිටුවයි – පෙත්සම් 3ක් විභාගයට Featured

රජය විසින් මෑතකදී පැනවූ නව බදු ප්‍රතිපත්තිය අනුව අධිකරණ විනිසුරුවරුන් හා කම්කරු විනිශ්චය සභා සභාපතිවරුන්ගේ වැටුප් හා දීමනාවලින් බදු අයකර ගැනීම අත්හිටුවමින් තම අධිකරණය විසින් පනවා තිබූ අතුරු තහනම් නියෝගය තවදුරටත් දීර්ඝ නොකිරීමට අභියාචනාධිකරණය ඊයේ (25 දා) තීරණය කළේය.

පංචපුද්ගල විනිසුරු මඬුල්ලේ බහුතර එකඟතාවය අනුව එම අතුරු තහනම තවදුරටත් දීර්ඝ නොකිරීමට තීරණය කර ඇතැයි අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා විවෘත අධිකරණය හමුවේ සියලු පාර්ශ්වවලට පැවසීය.

මහෙස්ත්‍රාත්වරුන් හා දිසා විනිසුරුවරුන් සාමාජිකත්වය දරන ශ්‍රී ලංකා අධිකරණ නිලධාරීන්ගේ සංගමය, ශ්‍රී ලංකා මහාධිකරණ විනිසුරුවරුන්ගේ සංගමය සහ කම්කරු විනිශ්චය සභා සභාපතිවරුන්ගේ සංගමය විසින් එකී බදු ප්‍රතිපත්තිය අනුව කටයුතු කිරීම වළක්වන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර තිබූ රිට් ආඥා පෙත්සම් තුනක් විභාගයට ගැනීමට ද පංචපුද්ගල විනිසුරු මඬුල්ල ඒකමතිකව අවසර ලබා දුන්නේය. එම පෙත්සම් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න, සෝභිත රාජකරුණා, මේනකා විජේසුන්දර, ඩී. එම්. සමරකෝන් සහ නීල් ඉද්දවෙල යන පංචාපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ කැඳවිණි.

එම පෙත්සම්වල වගඋත්තරකරු ලෙස නම් කොට තිබූ අධිකරණ අමාත්‍යාංශයේ ලේකම්වරයා, අධිකරණ අමාත්‍යාංශයේ ප්‍රධාන ගණකාධිකාරිවරයා, දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල්වරයා හා නීතිපතිවරයා වෙත නොතිසි යැවීමට ද විනිසුරු මඬුල්ල නියෝග කළේය.

පෙත්සම්කරුවන් වෙනුවෙන් නීතිඥ සවිනි ප්‍රනාන්දු, සඳුන් නාගහවත්ත, සුගත් කල්දේරා ඇතුළු නීතිඥ මණ්ඩලයක් සමඟ ජනාධිපති නීතිඥ ෂමිල් පෙරේරා හා ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා පෙනී සිටියහ.

ඒ. ජේ. ඒ. අබේනායක

නවතම පුවත්

 චිරං ජයතු

සැප්තැම්බර් 28 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website