අඟහරුවාදා, 14 පෙබරවාරි 2023 20:33

ජනාධිපති නින්දිත වෑයමක..- හෙලිකොප්ටරය Featured

නිදහස් ජනතා සන්ධානය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

ජනතා පරමාධිපත්‍යය රැකගැනීමට සැවොම එක්වෙමු


ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ මූලික සිද්ධාන්තය වනුයේ රටක බහුතර කැමැත්ත මත පිහිටා කටයුතු කිරීමය.ජනාධිපතිවරණය, මහ මැතිවරණය, පළාත් පාලන මැතිවරණය ආදී වශයෙන් වන සියලූ මැතිවරණවලදී ජනතාවට සිය ඡන්දය ප‍්‍රකාශ කර තමන්ට කැමති පාලකයන් තෝරාගැනීමේ අවස්ථාව හිමිවෙයි. ජනතාවගේ බහුතර කැමැත්ත මත පිහිටා රාජ්‍ය පිළිබඳව තීන්දු තීරණ ගැනීමටත්, රට පරිපාලනය කිරීමටත් මහජන නියෝජිතයන්ට නීත්‍යනුකුල බලය හිමිවන්නේ එවිටය. එම අවස්ථාව උදාවන්නේ මැතිවරණයක් තුළින් පමණකි.

වර්තමානයේ ශ‍්‍රී ලංකාවේ බලයේ සිටිනුයේ කිසිදු ජනතා කැමැත්තක් නොමැති, ජනතාවගෙන් ප‍්‍රතික්ෂේප වූ, ජනමතයක් නැති, අනුප‍්‍රාප්තික ජනාධිපතිවරයෙක් සහ ආණ්ඩුවකි. තමන් වෙත පවතින ජනතා අප‍්‍රසාදය හෙළිදරව්වීම වැළැක්වීම සඳහා මැතිවරණ කල් දැමීමට ජනාධිපතිවරයා සහ ආණ්ඩුව හැකි සෑම උත්සාහයක්ම දරමින් සිටියි.විසි වතාවක් එම උත්සාහය ගත් බව මැතිවරණ කොමිසම මීට පෙර හෙළිදරව් කරනු ලැබීය.

අද (14) දින තැපැල් ඡන්දයට එරෙහිව විසි එක්වැනි තහංචියද එළිදැක්වූ අතර, එමගින් ප‍්‍රජාතන්ත‍්‍රවාදය ඝාතනය කිරීම සදහා ආණ්ඩුව දරණ උත්සාහය මනාව පැහැදිලි වෙයි.

මේ මොහොතේද මුදල් ඇමතිවරයා ලෙස ජනාධිපතිවරයා පළාත් පාලන මැතිවරණයට අවශ්‍ය ප‍්‍රතිපාදන ලබාදීම නවතා දමමින් පළාත් පාලන මැතිවරණය පැවැත්වීම වැළැක්වීම සඳහා ඉතා නින්දිත උත්සාහයක යෙදෙමින් සිටියි.

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 104 වගන්තියට අනුව, මැතිවරණය පැවැත්වීම සදහා පූර්ණ සහයෝගය ලබාදීමට රජයේ නිලධාරීන් සහ ආයතන වගකීමෙන් බැඳී සිටියි. යම් හෙයකින් එම වගකීම උල්ලංඝනය කරන්නේ නම්, එම නිලධාරීන් පෞද්ගලිකවද , ආයතනවල ප‍්‍රධානීන් / අධ්‍යක්ෂක මණ්ඩලය සහ නිලධාරී මණ්ඩලය පෞද්ගලිකව සහ සාමූහිකවද එහි වගකීම භාරගත යුතු බව අපි දැඩි ලෙස අවධාරණය කරන්නෙමු.

මැතිවරණ කල්දමමින් ඊට එරෙහිවූ ප‍්‍රජාතන්ත‍්‍රීය ප‍්‍රවාහයන් මර්දනය කරමින් විවිධ ආණ්ඩු විසින් ඉතිහාසය පුරා ගනු ලැබූ උත්සාහයන් අවසන් වූයේ මිනී කඳු මතින් සහ ලේ ගංගාවලිනි.

ජනාධිපතිවරයා මේ සූදානම් වනුයේ නැවත වරක් ජනතාවගේ ලේ සොලවා අත්තනෝමතික ලෙස බලයේ රැුඳී සිටීමටදැයි සාධාරණ සැකයක් අප තුළ මතුවෙයි.

එමනිසා පාර්ලිමේන්තුවේ සහ ඉන් බැහැර සියලූ විපක්ෂ බලවේගයන් වෙතින් නිදහස් ජනතා සන්ධානය ඉල්ලා සිටිනුයේ මැතිවරණය තුළ කුමන මතවාදයක් නියෝජනය කළද අප එකිනෙකා අතර ඇති සියලූ ප‍්‍රතිවිරෝධයන් පසෙක තබා ගෞරවනීය ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් එක් අරමුණකට , එක් පෙරමුණකට අනුගතව එක්විය යුතු බවයි.

නවතම පුවත්

 චිරං ජයතු

සැප්තැම්බර් 28 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website