මෙරට හොඳම හුණුගල් නිධිය තියෙන්නෙ කේ.කේ.එස්. සිමෙන්ති කම්හල අවට…
කන්කසන්තුරේ සිමෙන්ති කම්හල නැවත ආරම්භ කරන්න බැරි වෙලා තියෙන්නෙ නිලධාරීන්ගේ කල් මැරීම නිසයි…
පරණ යකඩ විකුණන්න කැබිනට් අනුමැතිය ගත්තේ 2019 වර්ෂයේ තාම කමිටුව රැස් වෙනවා විතරයි…
ගමක් එකතු වී කොල්ලකන කේ.කේ.එස් සිමෙන්ති ෆැක්ටරියේ යකඩ ගොඩ…02
‘ගමක් එකතු වී කොල්ලකන කේ. කේ. එස්. සිමෙන්ති ෆැක්ටරියේ යකඩ ගොඩ…’ ශීර්ෂය යටතේ පසුගිය සතියේ ‘දිවයින ඉරිදා සංග්‍රහයෙන්’ කන්කසන්තුරේ සිමෙන්ති කර්මාන්තශාලාවේ මහා යකඩ හොරකම ගැන අපි හෙළිදරව් කළෙමු. පසුගිය සඳුදා රාත්‍රියේ සිට විද්‍යුත් මාධ්‍යයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ද එම හොරකම ගැන අනාවරණය කරන අයුරු ඇස ගැටිණි. එහෙත් සීමිත නිලධාරීන් පිරිසකගෙන් ඉඩම් අක්කර දෙසීය ගාණක් පුරා විහිදුණු, නටබුන් බවට පත් වූ මහා විශාල කර්මාන්තශාලාවක් ආරක්‍ෂා කළ නොහැකිය. ආරක්‍ෂක නිලධාරීන් විසින් එක පැත්තක් ආරක්‍ෂා කරගෙන යකඩ හොරකම නතර කරන විට වෙනත් ප්‍රදේශයකින් කර්මාන්තශාලා භූමියට ඇතුළු වන මිනිසුන් යකඩ සොරාගෙන යන බව අපට වාර්තා වේ. පෙළගැසෙන කතාවට අනුව කන්කසන්තුරේ සිමෙන්ති කර්මාන්තශාලාවේ යකඩ හොරකම පිළලයක් වැනිය. පසුගිය සතියේ අප හෙළිදරව් කරනු ලැබූයේ වැට මායිමේ ජීවත්වන නැල්ලිනක්කපුරම් ගමේ මිනිසුන් කරන හොරකමය. මෙතැන් සිට පෙළගැසෙනුයේ මෙරට විශාලතම සිමෙන්ති කර්මාන්තශාලාවට සිදු වී ඇති මහා විපත ගැනය.
කර්මාන්ත දෙපාර්තමේන්තුව යටතේ කන්කසන්තුරේ සිමෙන්ති කර්මාන්තශාලාව ආරම්භ කර ඇත්තේ 1950 වර්ෂයේදීය. අනතුරුව 1956 වර්ෂයේ දී ‘1955 අංක 19 දරන රාජ්‍ය අනුග්‍රහයලත් සංස්ථා පනතේ විධිවිධාන යටතේ’ රාජ්‍ය සංස්ථාවක් බවට පරිවර්ථනය කරමින් ‘කන්කසන්තුරේ සිමෙන්ති කම්හල’ ලෙස ප්‍රතිෂ්ඨාපනය කරන ලදී. 1957 අංක 49 දරන රාජ්‍ය කාර්මික නීතිගත සංස්ථා පනත යටතේ 1959 ජනවාරි 01 දා සිට ‘ලංකා සිමෙන්ති සංයුක්ත මණ්ඩලය’ නමින් නැවත ප්‍රතිෂ්ඨාපනය කරන ලදී. 1980 වර්ෂයේදී අති විශේෂ ගැසට් පත්‍රයේ නිවේදනයට අනුව එහි නම ‘ශ්‍රී ලංකා සිමෙන්ති සංස්ථාව’ ලෙස සංශෝධනය කර තිබේ. කර්මාන්ත හා විද්‍යාත්මක කටයුතු අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මකව පැවැති එම සංස්ථාව 1985 පෙබරවාරි මස 01 වැනිදා සිට 2010 වර්ෂයේ අප්‍රේල් මාසය දක්වා කර්මාන්ත සංවර්ධන අමාත්‍යාංශය යටතට පත්ව තිබිණි. පසුව රාජ්‍ය සම්පත් හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශය යටතට පැවරුණු සිමෙන්ති සංස්ථාව 2015 පෙබරවාරි මාසය දක්වා එම අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක විය. මේ වන විට සිමෙන්ති සංස්ථාව ක්‍රියාත්මක වනුයේ කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය යටතේය.
එමෙන්ම ශ්‍රී ලංකා සිමෙන්ති සංස්ථාව සතුව තිබූ පුත්තලම සිමෙන්ති කර්මාන්තශාලාව හා රුහුණු සිමෙන්ති කර්මාන්තශාලාව ජනතාකරණයට භාජනය කිරීමත්, මට්ටක්කුලියේ පිහිටා තිබූ කඩදාසි මළු ඒකකයේ අයිතිය මහා භාණ්ඩාගාරයට මාරු කිරීමත් සමඟ සංස්ථාව සතුව පැවැතියේ කන්කසන්තුරේ සිමෙන්ති කර්මාන්තශාලාව පමණි. උතුරේ පැවැති යුදමය වාතාවරණය උත්සන්න වී 1990 වර්ෂයේ ජුනි මාසයේ දිනක කොටි ත්‍රස්තවාදීන් විසින් එල්ල කරන ලද වෙඩි වරුෂාවක් සිමෙන්ති කර්මාන්තශාලාවට පතිත වීමත් සමඟ එම කර්මාන්තශාලාවට දොරගුළු වැටිණි. එදා සිට එම කර්මාන්ත භූමියේ සිටිනුයේ ශ්‍රී ලංකා යුද හමුදාව ය. දැන් අප සිටිනුයේ එම සිමෙන්ති කර්මාන්තශාලා භූමියේ නටබුන් ගොඩනැඟිලි පරීක්‍ෂා කරමිනි. ඉඩම් අක්කර 210 ක් පුරා විසිරුණු කර්මාන්තශාලාවේ සියලු විසල් ගොඩනැඟිලි අතර ඇවිඳ යෑමට අපට නොහැකි ය. ඇතැම් ගොඩනැඟිලි සමීපයෙන් ගමන් කිරීම ද අවදානම් ය. ඒ ගොඩනැඟිලි එතරම් ම ජරාජීර්ණ තත්ත්වයට පත්ව තිබේ.
‘සර් නවතින්න… අන්න… අන්න…’ ගමන් සගයාගේ කෑගැසීමට උන් තැන ගල් ගැසිණි. ඉදිරිය බලන විට මුළු ගතම හිරිවැටිණි. කර
කියාගැනීමට කිසිවක් නැත. මහා විශාල නාගයන් දෙදෙනෙක් අප ඉදිරියේය. තුණුරුවන් සිහි කරගෙන මම දෑස් පියා ගත්තෙමි. මොහොතකින් දෑස් ඇර බලනවිට ඒ සතුන් දෙදෙනා ඈතට ඇදෙනු දැක මර බිය දුරු විය. එහෙත් අපගේ ගමන නතර නොවිණි.
මේක මහා කැලෑවක් සර්… කර්මාන්ත භූමිය ඉඩම් අක්කර 210 ක් වුණාට හුණුගල් නිධිය තියෙන භූමිය අක්කර 775 ක්…’ එසේ කීවේ අපට මග පෙන්වන්නාය. හේ විජයන්ය. කන්කසන්තුරේ සිමෙන්ති කර්මාන්තශාලාවේ පැරැණි සේවකයෙකි. වයස අවුරුදු හැටදෙකකි. මේ වෙනකොට ශ්‍රී ලංකා සිමෙන්ති සංස්ථාවේ තොරතුරු නිලධාරියෙක් ලෙස තාවකාලිකව සේවය කරන හේ කැඩුණු සිංහලෙන් මෙසේ පැහැදිළි කළේය.
“මම මේ ෆැක්ටරියේ වැඩ කරන්නෙ 1979 අවුරුද්දෙ ඉඳලා. සාමාන්‍ය සේවකයෙක් විදිහට වැඩ කරලා කර්මාන්තශාලාව වැහුවට පස්සෙ තොරතුරු නිලධාරියෙක් විදිහටත් වැඩ කරගෙන යනවා. 1990 අවුරුද්දෙ මේ ෆැක්ටරියට කොටි ගහපු අවස්ථාවේ වැඩ කරමින් සිටි සේවකයො හිස හැරුණු අත දිව්වා. මැෂින්වත් ඕෆ් කරල නෙමෙයි දිව්වේ. ඒ දිව්වා, දිව්වම තමයි, ආයෙත් ෆැක්ටරියේ වැඩ පටන් ගත්තෙ නෑ. එදා නිෂ්පාදනය වෙමින් තිබුණු සිමෙන්ති කුඩු අදටත් ටැංකිවල තියෙනවා…’ විජයන් එසේ කියමින් ටැංකි සහිත විසල්
ගොඩනැඟිලිවලට අපව රැගෙන ගියේය. එහෙත් එම ගොඩනැඟිලි තුළට යෑම අවදානම් බව අපට වැටහිණි. නැවත ප්‍රතිසංස්කරණය කිරීමට නොහැකි තරමට ඇතැම් ගොඩනැඟිලි විනාශ වී ගොස්ය. විසල් යකඩ මැෂින් මල කා දුර්වර්ණ වී තිබිණි. ඇස් පනා පිට ජාතික සම්පත් විනාශ වන හැටි පෙනෙන විට හදවත සැළිණි. මම ඒ මහා විනාශය දෙස බලා සිටිමි. විජයන් නැවත කතා කළේය.
මේ ෆැක්ටරිය වහනකොට සේවකයො දෙදහස් හයසීයක් විතර වැඩ කළා.
ගොඩක්ම වැඩ කළේ අවට ප්‍රදේශවල මිනිස්සු. මන්නාරම, මඩකලපුව, වව්නියාව ප්‍රදේශවල අයත් හිටියා. දකුණේ විවිධ ප්‍රදේශවල සිංහල අයත් අපි එක්ක වැඩ කළා. මේ ෆැක්ටරියෙන් අපේ ගම්වලට විශාල සේවයක් වුණා. ඒ සේරම නැති කළේ යුද්දෙ තමයි සර්… ත්‍රස්තවාදය අපිව නැති කළා. ඇඳිවතට සීමා කළා. අන්තිමේ අපිව අගුපිළට දාලා ප්‍රභාකරන්ලා හැඳිගෑවිලා ගියා. යුද්දෙ ඉවර වුණාට පස්සෙ මේ ෆැක්ටරිය නැවත පටන් ගනී කියලා අපේ මිනිස්සු බලාගෙන හිටියා. ඒත් තවම ෆැක්ටරිය විවෘත වුණේ නෑ. ෆැක්ටරිය කැළයට යට වෙන්න, යට වෙන්න මේක ඇතුළෙ තියෙන තඹ, පිත්තල, යකඩ තොග නැති වෙනවා. විවිධාකාරයෙන් නැති වෙනවා. මේ වෙනකොට අති විශාල යකඩ, තඹ, පිත්තල තොගයක් නැති වෙලා තියෙනවා. ඒ ගැන වැඩිය කතා කරන්න මම කැමැති නෑ. මේ ෆැක්ටරියේ වැඩ පටන් ගත්තොත් අහල, පහළ ගම්මාන බලා හිටිද්දී දියුණු වෙනවා. ඒක අපිට විශ්වාසයි. අපේ මිනිස්සු කම්මැලි නෑ. හොඳට වැඩ කරනවා…” කන්කසන්තුරේ සිමෙන්ති කර්මාන්තශාලාව නැවත විවෘත වන තෙක් විජයන් පමණක් නොව, එම කර්මාන්ත භූමියේ යකඩ සොරකම් කරන නැල්ලිනක්කපුරම් උදා ගමේ මිනිස්සු ද බලා සිටින බව ඔවුහු අපට කීහ. එහෙත් ත්‍රස්තවාදී යුද්දයේ නිමාවත් සමඟ කන්කසන්තුරේ සිමෙන්ති කම්හලේ නැවත සිමෙන්ති නිෂ්පාදන කටයුතු ආරම්භ කිරීමට කිහිප අවස්ථාවක් උත්සාහ කළ ද එය සාර්ථක වී නොමැත. එමෙන්ම මෙරට නිෂ්පාදන ආයතනයක් ආරම්භ කිරීමට පරිසර අමාත්‍යාංශය, භූ විද්‍යා හා පතල් කාර්යාංශය ඇතුළුව රාජ්‍ය ආයතන 18කින් අවසර ගැනීමට සිදුව ඇත. එම ආයතන නිලධාරීන්ගේ කල් මැරීම තුළ මෙරට නිෂ්පාදන
ටැංකිවල තියෙනවා…’ විජයන් එසේ කියමින් ටැංකි සහිත විසල්
ගොඩනැඟිලිවලට අපව රැගෙන ගියේය. එහෙත් එම ගොඩනැඟිලි තුළට යෑම අවදානම් බව අපට වැටහිණි. නැවත ප්‍රතිසංස්කරණය කිරීමට නොහැකි තරමට ඇතැම් ගොඩනැඟිලි විනාශ වී ගොස්ය. විසල් යකඩ මැෂින් මල කා දුර්වර්ණ වී තිබිණි. ඇස් පනා පිට ජාතික සම්පත් විනාශ වන හැටි පෙනෙන විට හදවත සැළිණි. මම ඒ මහා විනාශය දෙස බලා සිටිමි. විජයන් නැවත කතා කළේය.
මේ ෆැක්ටරිය වහනකොට සේවකයො දෙදහස් හයසීයක් විතර වැඩ කළා.
ගොඩක්ම වැඩ කළේ අවට ප්‍රදේශවල මිනිස්සු. මන්නාරම, මඩකලපුව, වව්නියාව ප්‍රදේශවල අයත් හිටියා. දකුණේ විවිධ ප්‍රදේශවල සිංහල අයත් අපි එක්ක වැඩ කළා. මේ ෆැක්ටරියෙන් අපේ ගම්වලට විශාල සේවයක් වුණා. ඒ සේරම නැති කළේ යුද්දෙ තමයි සර්… ත්‍රස්තවාදය අපිව නැති කළා. ඇඳිවතට සීමා කළා. අන්තිමේ අපිව අගුපිළට දාලා ප්‍රභාකරන්ලා හැඳිගෑවිලා ගියා. යුද්දෙ ඉවර වුණාට පස්සෙ මේ ෆැක්ටරිය නැවත පටන් ගනී කියලා අපේ මිනිස්සු බලාගෙන හිටියා. ඒත් තවම ෆැක්ටරිය විවෘත වුණේ නෑ. ෆැක්ටරිය කැළයට යට වෙන්න, යට වෙන්න මේක ඇතුළෙ තියෙන තඹ, පිත්තල, යකඩ තොග නැති වෙනවා. විවිධාකාරයෙන් නැති වෙනවා. මේ වෙනකොට අති විශාල යකඩ, තඹ, පිත්තල තොගයක් නැති වෙලා තියෙනවා. ඒ ගැන වැඩිය කතා කරන්න මම කැමැති නෑ. මේ ෆැක්ටරියේ වැඩ පටන් ගත්තොත් අහල, පහළ ගම්මාන බලා හිටිද්දී දියුණු වෙනවා. ඒක අපිට විශ්වාසයි. අපේ මිනිස්සු කම්මැලි නෑ. හොඳට වැඩ කරනවා…” කන්කසන්තුරේ සිමෙන්ති කර්මාන්තශාලාව නැවත විවෘත වන තෙක් විජයන් පමණක් නොව, එම කර්මාන්ත භූමියේ යකඩ සොරකම් කරන නැල්ලිනක්කපුරම් උදා ගමේ මිනිස්සු ද බලා සිටින බව ඔවුහු අපට කීහ. එහෙත් ත්‍රස්තවාදී යුද්දයේ නිමාවත් සමඟ කන්කසන්තුරේ සිමෙන්ති කම්හලේ නැවත සිමෙන්ති නිෂ්පාදන කටයුතු ආරම්භ කිරීමට කිහිප අවස්ථාවක් උත්සාහ කළ ද එය සාර්ථක වී නොමැත. එමෙන්ම මෙරට නිෂ්පාදන ආයතනයක් ආරම්භ කිරීමට පරිසර අමාත්‍යාංශය, භූ විද්‍යා හා පතල් කාර්යාංශය ඇතුළුව රාජ්‍ය ආයතන 18කින් අවසර ගැනීමට සිදුව ඇත. එම ආයතන නිලධාරීන්ගේ කල් මැරීම තුළ මෙරට නිෂ්පාදන කර්මාන්තශාලා ආරම්භ කිරීම ලේසි පහසු නැත. දෙස්, විදෙස් ආයෝජකයන්ට මේ රට තිත්ත වන තරමට රාජ්‍ය නිලධාරීන් කල් මරන පසුබිමක කන්සන්තුරේ සිමෙන්ති කර්මාන්තශාලාවට සිදුව ඇති විපත ගැන විමසා බැලීමට ශ්‍රී ලංකා සිමෙන්ති සංස්ථාවේ සභාපති ජගත් ධර්මප්‍රිය මහතාට දුරකථනය ඔස්සේ අපි කතා කළෙමු. මේ ඔහු කියන කතාවය.
“කන්කසන්තුරේ සිමෙන්ති කර්මාන්තශාලාව මේ තරමට හරි ආරක්‍ෂා වෙලා තියෙන්නෙ යුද හමුදාව නිසයි. 1990 ජුනි මාසයේ කොටි ගහපු දවසෙ ඉඳලා කර්මාන්තශාලාව ආරක්‍ෂා කරන්නෙ යුද හමුදාව. ඒ අයත් මේක අතහැරල ගියා නම් මේ අවට මිනිස්සු ගොඩනැඟිලිත් පෙරළලා යකඩ ගන්නවා. මේ ගම්මානවල මිනිස්සුන්ට රාජ්‍ය දේපළවල වටිනාකමක් නෑ. ඔවුන්ට ඕන එදා වේල සොයාගන්න විතරයි. ඒ නිසා කඩිනමින් ඔවුන්ට රැකියා අවස්ථා හදලා දෙන්න ඕන. මේ සිමෙන්ති කර්මාන්තශාලාව නැවත විවෘත කළා නම් ඒ ගැටලුවට බොහෝ දුරට විසඳුම් ලැබෙනවා. සිමෙන්ති කර්මාන්තශාලාවේ රාජ්‍ය දේපළ තවදුරටත් ආරක්‍ෂා කිරීමට යුද හමුදා කඳවුරට අනුයුක්ත බට පිරිස් ප්‍රමාණවත් නෑ. ඒ වගේම මීටර් සියයක් විතර හමුදාව පසුපසට ඇවිත් තියෙනවා. ඒ හිඩසෙන් තමයි සිවිල් වැසියන් ආයතන භූමියට ඇතුළු වෙලා යකඩ හොරකම් කරගෙන යන්නෙ. ඒ වගේම මට කලින් හිටපු සභාපතිතුමා සිමෙන්ති කර්මාන්තශාලාවේ ආරක්‍ෂාවට ගත යුතු සියලු ක්‍රියාමාර්ග අරගෙන තිබුණා. කර්මාන්තශාලා භූමිය පිරිසිදු කරලා, සංස්ථාවට ආදායමක් ලැබෙන විදිහට පරණ යකඩවලට ලංසු කැඳවීමට අවශ්‍ය කැබිනට් අනුමැතියත් අරගෙන තිබුණා. අමාත්‍යාංශ ලේකම්වරු තිදෙනකුගෙන් සමන්විත ඩෙන්ඩර් මණ්ඩලයක් පත් කරලා තිබුණා. 2019 වර්ෂයේ ඉඳල අදාළ මණ්ඩලය රැස් වෙලා සාකච්ඡා කරලා විතරයි. ප්‍රතිඵලයක් නෑ. මේ වෙනකොට සිමෙන්ති කර්මාන්තශාලාවේ පරණ යකඩ වෙන්දේසි කිරීමට අවශ්‍ය මිල ගණන් කැඳවීමේ ඩෙන්ටර් පත්‍රිකාව කර්මාන්ත අමාත්‍යාංශය හරහා මුදල් අමාත්‍යාංශයට ඉදිරිපත් කරලා තියෙනවා…”
වල් වැදෙන සිමෙන්ති කර්මාන්තශාලාව නැවත සංවර්ධනය කරන්න අදහසක් තියෙනවද? මේ වෙනකොට ආයෝජකයෙක් ඉන්නවද?
“ආයෝජකයො කිහිපදෙනෙක්ම සිමෙන්ති කර්මාන්තශාලාව පරීක්‍ෂා කරලා තියෙනවා. ඒත් කිසිම කෙනෙක් තවම හරි උත්තරයක් දීලා නෑ. පරීක්‍ෂා කරපු බොහෝ ආයෝජකයන්ට අවශ්‍ය අවම මුදලක් වියදම් කර උපරිම ලාභයක් ගන්න. එහෙම තත්ත්වයක් නැති නිසා ඔවුන් උනන්දු වෙන්නෙ නෑ. ඒත් අපි තවම උත්සාහය අතහැරලා නෑ. ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතාගේ උපදෙස් මත වැඩ කරගෙන යනවා. සිමෙන්ති කර්මාන්තශාලාව නැවත විවෘත කිරීමට එතුමා දැඩි වෙහෙසක් ගන්නවා. ඒ වගේම සිමෙන්ති කර්මාන්තශාලාව නැවත ආරම්භ කිරීමට, පරණ යකඩ ආරක්‍ෂා කරගැනීමට සිමෙන්ති සංස්ථාවේ සභාපතිවරයා විදිහට මට කළ හැකි උපරිමය කරනවා. අඩුම තරමින් කන්කසන්තුරේ සිමෙන්ති කර්මාන්තශාලා භූමියේ සිමෙන්ති ඇසුරුම් කිරීමේ ආයතනයක් හෝ ආරම්භ කිරීමට අපි උත්සාහ ගන්නවා. මේ කර්මාන්තශාලා පරිශ්‍රයේ තිබෙන ඇසුරුම් කිරීමේ කර්මාන්තශාලාවේ ගොඩනැඟිලි තවමත් ප්‍රයෝජනයට ගන්න පුළුවන් තත්ත්වයේ තියෙනවා…’ සිමෙන්ති සංස්ථාවේ සභාපතිවරයාගේ උත්සාහය සහ කැපවීම අගනේය.
එහෙත් ආර්ථික අවපාතය හේතුවෙන් මෙරට ඉදිකිරීම් ක්‍ෂේත්‍රයේ දැවැන්ත කඩා වැටීමත් සමඟ සිමෙන්ති සඳහා තිබෙන ඉල්ලුම අඩු වී තිබේ. එවැනි පසුබිමක, මෙරට අලුතින් සිමෙන්ති කර්මාන්තශාලාවක් ආරම්භ කිරීමට දෙස්, විදෙස් ආයෝජකයන් උනන්දු නොවෙති. විශේෂයෙන්ම ගිලෙන නැවක ආයෝජනය කිරීමට විදේශීය ආයෝජකයන් ඉදිරිපත් නොවෙති. බරපතළ අවධානමක් ගෙන කන්කසන්තුරේ සිමෙන්ති කම්හල නැවත ආරම්භ කිරීම සම්බන්ධයෙන් දේශීය ආයෝජකයන් කිහිපදෙනෙක් අදාළ බලධාරීන් සහ නිලධාරීන් සමඟ අවස්ථා කිහිපයකදී සාකච්ඡා කර තිබෙන බව ද වාර්තා වේ. එහෙත් මෙරට පාලනය කළ නායකයන්ගේ සහ හිටපු නිලධාරීන්ගේ වෑයම වී ඇත්තේ විදේශීය ආයෝජකයෙක්ට එම කර්මාන්තශාලාව කරගෙන යෑමට අවස්ථාව ලබාදීමය. එහි යටි අරමුණ ඩොලර් කොමිස් කුට්ටිය විය හැකිය. එසේ නැතහොත් පිටරැටියන්ට තිබෙන යටහත් පහත් ගැති බව විය හැකිය. බලධාරීන්ගේ සහ නිලධාරීන්ගේ අරමුණු සාක්‍ෂාත් නොවුණු පසුබිමක කන්කසන්තුරේ සිමෙන්ති කම්හල දිනෙන්, දින පරිහානියට පත් වී ඇත. මහා විසල් ගොඩනැඟිලි නටබුන් බවට පත් වෙමින් තිබේ. එම කර්මාන්තශාලාවේ දොර පියන් වැසී ගියදා සිට පිත්තල, තඹ, යකඩ තොග පිටින් බහිරවයො ගිලිති. බඩ තඩි, බහිරවයො ඇතුළුව විවිධ බහිරවයො ඒ අතර වෙති. එමෙන්ම අවට ගම්මානවල විරැකියාව වර්ධනය වෙමින් ජීවත්වීම උදෙසා එම කර්මාන්තශාලාවේ ම යකඩ සොරකම් කරන තත්ත්වයට ප්‍රදේශවාසීහු පත්ව සිටිති. ගැටලු වැලකි. එකම විසඳුම මෙරට විශාලතම සිමෙන්ති කම්හල ලෙස පවත්වාගෙන ගිය ‘කන්කසන්තුරේ සිමෙන්ති කර්මාන්තශාලාව’ නැවත ආරම්භ කිරීමය.
එමෙන්ම ආර්ථික අවපතායත් සමඟ මෙරට සිමෙන්ති නිෂ්පාදකයන් විසින් සිමෙන්ති වෙළෙඳපොළේ ඒකාධිකාරියක් ගොඩනඟාගෙන තිබේ. හිත් පිත් නැති ව්‍යාපාරිකයන්ගේ සිමෙන්ති ඒකාධිකාරිය තුළ මිනිසුන්ගේ නිවාස සිහින බොඳ වී තිබේ. එවැනි කාලකණ්ණි පසුබිමක කන්කසන්තුරේ සිමෙන්ති කර්මාන්තශාලාව නැවත ආරම්භ කළහොත් සිමෙන්ති කොට්ටයක් රුපියල් 1300 ට අඩුවෙන් පාරිභෝගිකයන්ට ලබාදිය හැකි බවට විශ්වාසනීය තොරතුරු වාර්තා වේ. සිමෙන්ති නිෂ්පාදනයට යොදාගන්නා ප්‍රධාන අමුද්‍රව්‍යයක් වන හුණුගල් කන්කසන්තුරේ සිමෙන්ති කර්මාන්තශාලාව අවට ඉඩම් අක්කර 775 ක් පුරාවට විසිරී තිබේ. එසේ විසිරී පැතිරී තිබෙන්නේ මෙරට පවතින ගුණාත්මක හුණුගල් නිධිය බවට ද තොරතුරු වාර්තා වේ. එමෙන්ම එම හුණුගල් නිධිය පිහිටා ඇත්තේ පොළොව මතුපිටය. කැණීම් කිරීමට ඉතාම පහසුය. ඊට දැරිය යුතු පිරිවැය ද ඉතාම අවමය. එම පිරිවැය අඩුවීමත්, සිමෙන්ති නිෂ්පාදනයට අවශ්‍ය ප්‍රධාන අමුද්‍රව්‍යය කර්මාන්තශාලාව සමීපයේම නිධන්ගතව තිබීම නිසා සිමෙන්ති නිෂ්පාදනයට වැය වන වියදම අවම මට්ටමක පවතී. හුණුගල් නිධියේ ස්ථාන කිහිපයකට ගිය අපට ද ඉමක් නොපෙනන දුරකට පොළොව මතුපිට හුණුගල් විසිරී තිබෙන අයුරු පෙනිණි. ඉතා පහසුවෙන් එම හුණුගල් කැණීම් කරගත හැකි බව ද වැටහිණි. එහි ප්‍රතිඵලයක් ලෙස නිවාස සිහින බොඳ වී විශ්වාසභංගත්වයට පත්ව සිටින පාරිභෝගිකයන්ට දැරිය හැකි, සතුටුවිය හැකි මුදලකට සිමෙන්ති කොට්ටයක් ලබාදිය හැකි බවට වාර්තා වන තොරතුරු ද විශ්වාස කළ හැකිය. මෙරට ඉදිකිරීම් ක්‍ෂේත්‍රයේ දැවෙන ගැටලුවට ද එය කදිම විසඳුමක් බව හැඟේ. එවැනි පුවතක් කණවැකීම ද සතුටකි. එහෙත් කරුමයක මහත… බලධාරීන් සහ එම කර්මාන්තශාලාව නැවත ආරම්භ කිරීමට අවසරගත යුතු බොහෝ ආයතනවල ඉහළ නිලධාරීන්ට මේ හරුපය තේරුම් නොයෑමය.
එමෙන්ම කන්කසන්තුරේ සිමෙන්ති කර්මාන්තශාලාව නැවත ආරම්භ කරන විදේශීය හෝ දේශීය ආයෝජකයා පහසුවෙන් ස්වාභාවික සම්පත් පරිභෝජනය කරමින් පවතින වැඩි මිලටම සිමෙන්ති වෙළෙඳපොළට නිකුත් කළහොත් අසරණ පාරිභෝගික ජනතාවට අබ සරණය…
තරංග රත්නවීර