සිකුරාදා, 18 අගෝස්තු 2023 15:58

සංක්‍රමණිකයින් 60කට අධික පිරිසකට මරු කැඳවූ කේප් වර්ඩ් වෙරළ තීරයේ ශෝකාන්තය Featured

බටහිර අප්‍රිකාවේ කේප් වර්ඩ් වෙරළ තීරය ආසන්නයේදී සංක්‍රමණිකයින් රැගත් යාත්‍රාවක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයින් 60 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි සැක කෙරේ.

 

 

ළමුන් ඇතුළු පුද්ගලයින් 38 දෙනෙකු බේරා ගැනුණු අතර, ඔවුන්ගෙන් ඇතැමෙකු සාල් දිවයින වෙත ගිලන් මැසි ආධාරයෙන් රැගෙන යන අයුරු වීඩියෝ දර්ශනවල දැකගත හැකි ය.

මසකට අධික කාලයක් මුහුදේ යාත්‍රා කළ බෝට්ටුවේ සිටි සියලු දෙනා ම පාහේ සෙනගල් දේශයේ සිට පැමිණි පුද්ගලයින් බවට සැලකේ.

තවදුරට ත් ජීවිත හානි සිදුවීම වැළැක්වීම සඳහා සංක්‍රමණය පිළිබඳ ගෝලීය ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙස කේප් වර්ඩ්හි නිලධාරීන් ඉල්ලා තිබේ.

එම යාත්‍රාව පසුගිය සඳුදා පළමු වරට නිරීක්ෂණය කළ බව පොලිසිය AFP පුවත් ඒජන්සියට පවසා තිබේ. යාත්‍රාව මුහුදුබත් වූ බවට මුල් මාධ්‍ය වාර්තාවල සඳහන් වුව ද, පසුව අනාවරණය වූයේ, එය මුහුදේ පාවෙමින් තිබුණු බව ය.

දැවමය පාරුවක හැඩය ගත් එම යාත්‍රාව, කේප් වර්ඩ් දූපතේ කොටසක් වන සාල් දිවයිනේ සිට කිලෝමීටර් 320ක් ඈතින් පාවෙමින් තිබියදී ස්පාඤ්ඤ ධීවර යාත්‍රාවක් විසින් නිරීක්ෂණය කර ඇති අතර, ඔවුන් පසුව බලධාරීන්ට එය දැනුම් දී ඇතැයි පොලිසිය පැවසීය.

සංක්‍රමණිකයින් පිළිබඳ ජාත්‍යන්තර සංවිධානයේ (IOM) ප්‍රකාශකයෙකු පැවසුවේ, බේරා ගනු ලැබූ පුද්ගලයින් අතර වයස අවුරුදු 12 සහ 16 අතර දරුවන් සිව් දෙනෙකු සිටින බව ය.

බේරා ගත් පිරිස පිළිබඳව සාක්ෂි දරමින් සෙනෙගල් විදේශ කටයුතු අමාත්‍යංශය ප්‍රකාශ කළේ, එම යාත්‍රාව සෙනෙගල්හි ධීවර ගම්මානයක් වන ෆාස් බෝයි සිට ජූලි 10 වන දා පුද්ගලයින් 101 දෙනෙකු ද සමගින් පිටත්ව ගොස් ඇති බව ය.

යාත්‍රාවේ සිටි සියල්ලන් ම පාහේ එම ගම්මානය තුළ හැදී වැඩී ඇති බව ත් දිවි ගලවා ගත් අය අතර ඔවුන්ගේ ඥාතීන් සිටී දැයි දැන ගැනීමට ඇතැම් පවුල්වල සාමාජිකයින් තවමත් බලා සිටින බව ත්, ගම්මානයේ මන්ත්‍රීවරයෙකු වන මෝඩා සෑම්බ් AFP පුවත් ඒජන්සියට පවසා තිබේ.

සෙනගල් ජාතිකයන් ආපසු ගෙන්වා ගැනීම සඳහා කේප් වර්ඩ්හි බලධාරීන් සමග සාකච්ඡා කරමින් සිටින බව අමාත්‍යාංශය පැවසීය.

සියෙරා ලියොන් ඇතුළු වෙනත් රටවල සම්භවයක් සහිත පුද්ගලයින් ද එම පිරිස අතර ඇතැයි වාර්තා වී ඇති අතර, ගිනි බිසව්හි එක් පුද්ගලයෙකු ද වාර්තා වේ.

ryrhjfjj

සාල් දූපතේ සෞඛ්‍ය නිලධාරියෙකු වන යෝසේ මොරෙයිරා පැවසුවේ, අනතුරින් බේරා ගත් පිරිස විජලනයට ප්‍රතිකාර කරමින් සහ මැලේරියාව වැළඳී ඇත්දැයි පරීක්ෂා කරමින් මනාව රැක බලා ගන්නා අතර, ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය දියුණු වෙමින් පවතින බව ය.

සෞඛ්‍ය අමාත්‍ය ෆිලෝමෙනා ගොන්කාව්ස් කියා සිටියේ "සංක්‍රමණ ගැටලු ගෝලීය ප්‍රශ්නයක් බව අපි දන්නවා, ඒවාට ජාත්‍යන්තර සහයෝගීතාව, ගොඩක් සාකච්ඡා වගේ ම ගෝලීය උපාය මාර්ග ත් අවශ්‍ය වෙනවා."

"අපි ඔක්කොම - හැම ජාතියක් ම - එක මේසයක වාඩි වෙලා, ඔක්කොම පැත්තක තියලා, මුහුදේ තවත් ජීවිත අහිමි නොවෙන්න අපට කරන්න පුළුවන් දේ කරන්න උත්සහ කළ යුතු යි." යනුවෙනි.

සංක්‍රමණිකයින් පිළිබඳ ජාත්‍යන්තර සංවිධානයේ (IOM) ප්‍රකාශක සාෆා එම්සේලි පැවසුවේ, සංක්‍රමණ සඳහා ආරක්ෂිත මාර්ග "ඉතා අඩුවෙන්" තිබූ හෙයින්, ඔවුන් මෙම මාර්ග ඔස්සේ නොපැමිණීම නිසා "ජාවාරම්කරුවන්ට මෙවැනි මාරාන්තික ගමන්වලට සංක්‍රමණිකයින් යොමු කිරීමට ඉඩක්" ලැබුණු බව ය.

දිවි බේරා ගත් පුද්ගලයින්ගේ ගමන කේප් වර්ඩ් දූපතෙන් අවසන් වනු ඇති නමුත්, ඔවුන් අරමුණු කරගෙන සිටි ගමනාන්තය එය නොවී ය.

yrhcncnv

ජූලි මාසයේදී සංක්‍රමණිකයන් 15 දෙනෙකු දියේ ගිලී මිය යාමේ සිද්ධියකට සම්බන්ධ මෙම පිරිස මෙම බෝට්ටුවට සමාන බෝට්ටුවකින් පැමිණි බව පැවසේ.

මෙම දූපත් සමූහය බටහිර අප්‍රිකාවේ වෙරළට කිලෝමීටර් 600 ක් පමණ දුරින්, කැනරි දූපත් වෙත සංක්‍රමණය වන මාර්ගයේ පිහිටා ඇත, එය බොහෝ දෙනෙකු හඳුනාගෙන ඇත්තේ, යුරෝපා සංගමයේ රටවලට ඇතුළු වන මාර්ගයක් ලෙස ය. සංක්‍රමණිකයින් පිළිබඳ ජාත්‍යන්තර සංවිධානයට අනුව, එය සංක්‍රමණිකයෙකුට යාත්‍රා කළ හැකි වඩා ත් අනතුරුදායක මුහුදු මාර්ගවලින් එකකි.

අක්‍රමවත් සංක්‍රමණ හේතුවෙන් අන් කවර දාට ත් වඩා, නිවැරදි සංඛ්‍යා ලේඛන ලබා ගැනීම දුෂ්කර නමුත් 2020 සහ 2023 අතර අවම වශයෙන් පුද්ගලයින් 67,000ක් කැනරි දූපත් වෙත පැමිණ තිබේ.

එම කාලය තුළ, පුද්ගලයින් 2500ට අධික පිරිසකගේ ජීවිත අහිමි වී තිබේ. සංක්‍රමණිකයින් පිළිබඳ ජාත්‍යන්තර සංවිධානය පෙන්වා දෙන්නේ, එම මරණ සංඛ්‍යාවෙන් කියැවෙන්නේ, ලියාපදිංචි කළ මරණ සංඛ්‍යාව පමණක් බව ය. මාර්ගයේ අක්‍රමවත් සහ රහසිගත ස්වභාවය අනුව, මිය ගිය සැබෑ සංඛ්‍යාව මීට වඩා වැඩි විය හැකි ය.

එසේ නම්, මිනිසුන් තම නිවෙස් අතහැර මෙතරම් භයානක අවදානම් ගමනක් යාමට පොළඹවන හේතුව කුමක් ද? බොහෝ අවස්ථාවල ඊට බලපාන ප්‍රධාන සාධකය දරිද්‍රතාවයි. යුරෝපය යනු සංක්‍රමණිකයින්ට යහපත් ජීවිතයක් ළඟා කර ගැනීම සඳහා වන මාර්ගයක් මෙන් ම ඔවුන් හැර යන පවුල්වලට උපකාර කිරීම සඳහා මුදල් එවන මාර්ගයක් ලෙස බොහෝ දෙනා සලකති.

කෙසේ වෙත ත්, ඊට වෙනත් සාධක ද බලපායි. බටහිර අප්‍රිකාවේ බොහෝ ප්‍රදේශ බෙහෙවින් අස්ථාවර වී ඇති අතර, කුමන්ත්‍රණ සහ ඉස්ලාමීය කැරලි හේතුවෙන් දැනටමත් පවතින දුෂ්කර තත්ත්වය වඩාත් නරක අතට හැරෙමින් තිබේ.

සෙනගල්හි බලධාරීන් විසින් ප්‍රචණ්ඩ ක්‍රියාවල නිරත වන බවට චෝදනා කරමින්, විපක්ෂ දේශපාලනඥයෝ සිරගත කරනු ලැබ තිබේ. තමන් තුන් වන වරට ත් ධූරයේ රැඳී නොසිටින බවට ජනාධිපති මැකී සෝල් මෑතකදී නිවේදනය කළ ද, දැඩි නොසන්සුන් තත්ත්වයක් තවමත් පවතී‍.

අවසානයේ, විශාල පිරිසක් වෙනත් රටවලට සංක්‍රමණය වෙමින් සිටින අතර, ඒ සඳහා හේතු ගණනාවක් ද තිබේ. සෑම පුද්ගලයෙකුට ම බලපෑ ආවේණික හේතුවක් තිබේ. ඔවුන්ට ආවේණික කතාවක් ද තිබේ. ඉන් අවම වශයෙන් 60 දෙනෙකු අත්ලන්තික් සාගරයේ සෝචනීය අවසානයකට මුහුණ දී ඇති බව පෙනේ.

 

BBC

Business News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website