සෙනසුරාදා, 26 අගෝස්තු 2023 11:11

මැතිවරණ ප්‍රතිඵල වෙනස් කිරීමේ චෝදනාව: යටත් වෙන්නේ නෑ කියූ ට්‍රම්ප් යටත් වෙයි Featured

2020 වසරේ පැවැති ඇමරිකානු ජනාධිපතිවරණයේදී ජෝජියා ප්‍රාන්තයේ මැතිවරණ ප්‍රතිඵලය වෙනස් කිරීමට කුමන්ත්‍රණය කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට පත් වීමට නියමිතව සිටි හිටපු ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ (25 දා) ජෝජියා ප්‍රාන්තයේ ෆවුල්ටන් බන්ධනාගාර නිලධාරීන්ට යටත් වී තිබේ.

යටත් වීමෙන් විනාඩි 20 ක කාලයකට පසු හිටපු ඇමරිකානු ජනාධිපතිවරයා ඇමරිකානු ඩොලර් දෙලක්ෂයක ඇප බැඳුම්කරයක් මත මුදාහැර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

හිටපු ඇමරිකානු ජනාධිපති ට්‍රම්ප් ඉකුත් මාස පහක කාලයේ දී සාපරාධී චෝදනා මත අත්අඩංගුවට පත් වූ සිවුවැනි අවස්ථාව මෙය ලෙස සැලකෙයි. එහෙත් ඔහු අත්අඩංගුවට පත්වීමේ ජායාරූප ප්‍රසිද්ධියේ මාධ්‍යවල පළ වී ඇත්තේ ප්‍රථම වරටය. ට්‍රම්ප් හිටපු ජනාධිපතිවරයාට මැතිවරණ ප්‍රතිඵල වෙනස් කිරීමට තැත් කිරීමේ චෝදනා එල්ල කොට සාපරාධී චෝදනා යටතේ අධිකරණයේ නඩු පවරා තිබේ.

බන්ධනාගාරයට යටත් වීමෙන් පසු ට්‍රම්ප් කලින් ට්විටර් යනුවෙන් හැඳින්වු “එක්ස්” වෙබ් අඩවියේ සටහනක් පළ කරමින් ඔහුගේ වෙබ් අඩවි ලිපිනය සඳහන් කර “මැතිවරණ මැදිහත්වීම්-කිසිදිනෙක යටත් නොවේ” යනුවෙන් සඳහන් කර තිබේ. අත්අඩංගුවට පත් වීමට වරෙන්තු නිකුත් කර තිබියදී මාධ්‍යවල ජායාරූප පළ වූ ප්‍රසිද්ධ ඇමරිකානු වැසියන් කිහිපදෙනා අතරට හිටපු ජනාධිපති ට්‍රම්ප්ද එක් වී ඇති බව ඇමරිකානු මාධ්‍ය පවසයි. එසේ චෝදනා මත අත්අඩංගුවට පත් වීමට නියමිතව සිටියදී මාධ්‍යවල ජායාරූප පළ වූ සෙසු ප්‍රසිද්ධ පුද්ගලයන් වනුයේ පොප් ගායක එල්විස් ප්‍රෙස්ලි, ෆ්‍රෑන්ක් සිනෙට්‍රා, ඇල් කැපෝනේ හා ආචාර්ය මාටින් ලුතර් කින් (කනිෂ්ඨ ) ය.

තමාට එල්ල වී ඇති සියලු චෝදනා ප්‍රතික්ෂේප කර ඇති හිටපු ජනාධිපති ට්‍රම්ප් එවැනි චෝදනා එල්ල වී ඇත්තේ දේශපාලන බලපෑම් හේතුවෙන් බවත් ලබන වසරේ පැවැත්වීමට නියමිත ඇමරිකානු ජනාධිපතිවරණය සඳහා වන සටනේදී තමා වත්මන් ජනාධිපති ජෝ බයිඩන්ට වඩා ඉදිරියෙන් සිටීම මෙයට හේතු වී ඇති බවත් පවසා තිබේ.

ඒමන්ති මාරඹේ

 

Business News

අද බැංකු නිවාඩු නෑ...

සැප්තැම්බර් 23 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website