බ්‍රහස්පතින්දා, 31 අගෝස්තු 2023 07:50

ගැබොන් රාජ්‍යයේ බලයත් හමුදාව අතට? Featured

ගැබොන් රාජ්‍යයේ බලය සියතට ගත් බව එරට හමුදාව විසින් ප්‍රකාශ කර තිබේ.

හමුදා නිලධාරීන් ගැබොන් හී ජාතික රූපවාහිනිය අමතමින් සඳහන් කරන්නේ, හමුදාව විසින් ගැබොන් හී බලය ලබා ගත් බවයි.

ජනාධිපති 'අලි බොන්ගෝ' ජයග්‍රාහකයා ලෙස ප්‍රකාශයට පත් කළ සෙනසුරාදා පැවති මැතිවරණයේ ප්‍රතිඵල ද ඔවුන් අවලංගු කරන බව සඳහන් කර ඇත.

ජනාධිපති අලි බොන්ගෝගේ රජය පෙරළා දැමීමෙන් ඔහුගේ පවුල විසින් වසර 53ක කාලයක් ගැබොන් හී බලය අල්ලාගෙන සිටීම අවසන් වනු ඇති බව විදෙස් මාධ්‍යය වාර්තා කර තිබේ.

අද (30) එරට හමුදාවේ සොල්දාදුවන් 12 දෙනෙකු රූපවාහිනියේ පෙනී සිටි අතර, ඔවුහූ මැතිවරණයේ ප්‍රතිඵල අවලංගු කරන බව සහ ජනරජයේ සියලුම ආයතන විසුරුවා හරින බව නිවේදනය කළහ.

නැවත දැනුම් දෙන තුරු රටේ දේශසීමා වසා දමා ඇති බව ද ඔවුන් අවධාරණය කර ඇත.

වර්තමාන පාලනයට තිත තැබීම හරහා සාමය ආරක්ෂා කිරීමට තීරණය කර ඇති බව හමුදාව සඳහන් කරයි.

රට අවුල් ජාලයකට පත්වීම, සමාජ සහජීවනය පිරිහී යාම මෙමඟින් වැළකෙනු ඇති බව හමුදාවේ විශ්වාසය වී ඇත.

මේ අතර, ආසන්නම මැතිවරණය සේම ගැබොන් හී මීට පෙර පැවති මැතිවරණ ද ප්‍රජාතන්ත්‍ර විරෝධී ලක්ෂණ සහිත ව පැවති ඒවා බවට විවිධ පාර්ශ්වවලින් චෝදනා එල්ල වී තිබේ.

බොහෝ ඡන්ද මධ්‍යස්ථානවල තමාගේ නම සඳහන් ඡන්ද පත්‍රිකා නොමැති බවට විපක්ෂයේ ප්‍රධාන අපේක්ෂක 'ඇල්බට් ඔන්ඩෝ ඔසා' පැමිණිලි කර ඇත.

එසේම ජනාධිපතිවරණයෙන් ඉවත් වූ ඇතැම් අයගේ නාමයන් ද ඡන්ද පත්‍රිකාවල තිබී ඇති අතර, ඡන්දය ආවරණය කිරීම සඳහා විදෙස් මාධ්‍යවල පැමිණීම ද තහනම් කර ඇති බව වාර්තා වේ.

ඡන්ද විමසීම අවසන් වූ විට, රජය විසින් ඇඳිරි නීතිය පැනවීම සහ අන්තර්ජාල ප්‍රවේශය අත්හිටුවන බවට ද නිවේදනය කර තිබිණි.

ADN

Business News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website