උතුරු අප්‍රිකාවට අයත් මොරොක්කෝවේ සිදු වූ දැවැන්ත භූ කම්පනයකින් දෙදහසකට වැඩි ජීවිත සංඛ්‍යාවක් පණ පිටින් වැළලුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. පසුගිය සිකුරාදා මේ ව්‍යසනය සිදු වූයේ මධ්‍යම රාත්රියේදී බැවින් වැඩි දෙනකු මිය ගොස් ඇත්තේ නිදි යහනේදීම බව එම වාර්තා වැඩිදුරටත් සඳහන් කළේය. ඊයේ එරට වේලාවෙන් දහවල් වන විට වාර්තා වූ මිය ගිය පුද්ගලයන්ගේ සංඛ්‍යාව 2012 දක්වා ඉහළ ගොස් තිබූ අතර, සුන්බුන් අතරින් තවදුරටත් මළ සිරුරු මතුවෙමින් තිබෙන බැවින් ඉදිරියේදී එය තවත් ඉහළ යනු ඇතැයි එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය අනුමාන කර තිබිණි. තුවාල ලැබූ පිරිස 2059ක් වන අතර, ඉන් පුද්ගලයන් 1404කගේම තත්ත්වය බරපතළ බව එරට මාධ්‍ය වාර්තා කළේය. වසර 60කට පසු මොරොක්කෝවේ සිදු වූ මේ විනාශයෙන් තවත් දසදහස් ගණනාවකට උන්හිටිතැන් අහිමි වී ඇතැයි ද වාර්තා වේ.
රිච්ටර් මාපකයේ 6.8ක අගයක් සඳහන් වූ මේ භූ කම්පනය සිදු වී ඇත්තේ උතුරු අප්‍රිකාවේ උසම කඳුවැටිය වන ඇට්ලස් කඳුවැටිය ආශ්රිත කලාපයේ ජනප්‍රිය සංචාරක නගරයක් වන මරකේෂ් නගරයේය. ඇට්ලස් කඳුවැටිය නැරඹීමට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන්ගේ ගමනාන්තය වන්නේ ද මොරොක්කෝවේ සිවු වැනි විශාලතම නගරය වන මරකේෂ් නගරයයි. යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙස නම් කර ඇති මරකේෂ් පැරැණි නුවර පිහිටි ඓතිහාසික වශයෙන් වැදගත් පෞරාණික ගොඩනැඟිලි ගණනාවක් භූ කම්පනයත් සමඟ බිමට සමතලා වී තිබේ. භූ කම්පනයෙන් සිදු වූ ඛේදජනක තත්ත්වය වාර්තා වීමත් සමඟ මොරොක්කෝවේ මොහොමඩ් රජු දින තුනක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කළ අතර, ජාත්‍යන්තර සහාය ඉල්ලා නිවේදනයක් ද නිකුත් කළ බව වාර්තා වේ.
මරකේෂ් නුවර බොහෝ ගම්මානවල වැසියන් පවුල් පිටින් වැළලුණු බවත්, ඇතැම් පවුල්වල ඉතිරිව සිටින්නේ එක් සාමාජිකයකු පමණක් බවත් එරට මාධ්‍ය වාර්තා කළේය. තවත් පවුල් දහස් ගණනක අවම වශයෙන් එක් සාමාජිකයකු හෝ පොළොවට මිහිදන් වී ඇති බැවින් මුළු මරකේෂ් නුවරම එකම මළගෙයක් බවට පත් වී තිබේ.
සුන්බුන් අතර සිර වී ජීවත්ව සිටින පුද්ගලයන් සොයා දිවා රාත්‍රී අඛණ්ඩ මෙහෙයුම් සිදු කරන අතර, ආපදා සහ සහන කණ්ඩායම් සමඟ සාමාන්‍ය ජනතාව ද එක පොදියට මෙහෙයුමට එක්වී සිටින බව වාර්තා වේ. බිමට සමතලා වූ ඇතැම් ගම්මාන කඳුකරයේ පිහිටා ඇති බැවින් එම ස්ථාන කරා ළඟාවීම අතිශය දුෂ්කර වී ඇතැයි ද වාර්තා වේ.
තුවාලකරුවන්ට රුධිරය පරිත්‍යාග කිරීමට මොරොක්කෝ පාපන්දු කණ්ඩායමත් එක් වෙයි
මේ අතර රෝහල්ගත කර සිටින තුවාල ලැබුවන්ට රුධිරය පරිත්‍යාග කරන ලෙස රජය කළ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් දහස් ගණන් රෝහල් අසල පෝලිම් ගැසී සිටින බව වාර්තා වේ. ඒ අතර මොරොක්කෝවේ ජාතික පාපන්දු කණ්ඩායමේ ක්‍රීඩකයෝ ද සිටිති.
අවතැන් වූවන්ට රොනල්ඩෝගේ සුපිරි හෝටලයේ දොර විවෘත කරයි
මරකේෂ් නුවරට ආසන්නයේ පිහිටි සුඛෝපභෝගී හෝටලය භූමි කම්පනයෙන් අවතැන් වූ ජනතාවට විවෘත කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. තරු හතරේ හෝටලයක් වන ‘The Pestana CR7 Marrakech’ ලෝක පාපන්දු පිටියේ සුපිරි තරුව වන ක්‍රිස්ටියානෝ රොනල්ඩෝට අයත් ලොව පුරා පිහිටි හෝටල්ජාලයට අයත් වන එකකි.
අලුත උපන් බිලිඳකු සුන්බුන් අතරින් ගොඩගැනීමේ විඩියෝව
මේ අතර භූ කම්පනයෙන් විනාශ වූ නිවෙසක සුන්බුන් අතරින් අලුත උපන් බිළිඳකු පෙකණිවැල සමඟ ගොඩ ගැනීමේ වීඩියෝවක් සමාජ මාධ්‍ය අතර සංසරණය වෙමින් තිබේ. මේ සිදුවීම මොරොක්කෝ භූ කම්පනයට අදාළ වීඩියෝවක් බවට මෙතෙක් තහවුරු වී නැති වුවද, එය ඉතා සංවේදී වීඩියෝ පටයක් බවට පත් වී තිබේ. එම වීඩීයෝ පටයේ සිටින පුද්ගලයන් මොරොක්කෝවේ පොදු භාෂා වන අරාබි හෝ ප්‍රංශ බස හසුරුවන බවක් නොඇසෙන බැවින් එය වෙනත් රටක මීට පෙර සිදුවූ භූ කම්පනයකට අදාළ වීඩියෝවක් විය හැකි බවට ද මත පළ වී තිබේ.
මොරොක්කෝවට සහන සැලසීමට පසමිතුරු ඇල්ජීරියාවත් එක් වෙයි
වසර දෙකක කාලයක් පුරා මොරොක්කෝව සමඟ දේශපාලන වශයෙන් විරසක වී සිටින අසල්වැසි ඇල්ජීරියාව ද භූ කම්පනයෙන් විපතට පත්වූවන්ට සහන සැලසීමට සූදානම් බවට නිවේදනය කර ඇතැයි වාර්තා වේ. ඇල්ජීරියාව දැනටමත් මොරොක්කෝවට සහන සැලසීමට සූදානමින් පසුවන රටවලට සහ විවිධ සංවිධානවලට මෙතෙක් කල් වසා දමා තිබූ තම රටෙහි ගුවන් සීමාව විවෘත කර ඇතැයි ද වාර්තා වේ.
DMN