බදාදා, 13 සැප්තැම්බර් 2023 13:23

පූටින් සහ කිම්: ආයුධ අවශ්‍ය වූ විට එක්වන මිතුරෝ Featured

ව්ලැදිමීර් පූටින්ට සහ කිම් ජොං අන් අතර සමානකම් රැසක් තිබේ. දෙදෙනා ම වැඩිපුර එළිපහළියට නොයයි. රුසියානු නායකයා මේ වසරේ දී එරටින් පිටතට ගොස් නැත. කිම් සම්බන්ධයෙන් ගත්කල එය වසර හතරකි.

රුසියාව සහ උතුරු කොරියාව යන දෙරටටම, "භයානක ලෙස හැසිරෙන රාජ්‍යයන්" බවට චෝදනා එල්ලවෙයි.

දෙකම දැඩි ජාත්‍යන්තර සම්බාධකවලට යටත්ව සිටියි.

ආණ්ඩු දෙක ම ඇමෙරිකාවේ "ආධිපත්‍යවාදයට" එරෙහිව දෝෂාරෝපණය කරයි.

බොහෝ අවස්ථාවන්හි දී, නායකයින් එකතු කිරීමට පොදු සතුරෙකුට හැකි ය.

පූටින් සහ කිම් සම්බන්ධයෙන් ද එය එසේ ම ය. ඔවුන්ගේ සම්බන්ධය තැනුණේ ස්වර්ගයේ දී නොවේ නම්, නිසැකයෙන්ම 2023 භූ-දේශපාලනික යථාර්ථයන් තුළ දී ය.

මේ සොයුරු ප්‍රේමයක් ද? එය එසේම නොවේ. වරක්, ඔහු සහ කිම් ජොං අන් "ආදරයෙන් බැඳුනු" බව ප්‍රකාශ කළ හිටපු එක්සත් ජනපද ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෙන් නොව, රුසියාවේ සහ උතුරු කොරියාවේ නායකයින් ඔවුන්ගේ 'සෙනෙහස' ප්‍රසිද්ධියේ ප්‍රදර්ශනය කිරීමට එතරම් කැමැත්තක් දක්වන්නේ නැත.

එහෙත්, ව්ලැදිමීර් පූටින් සහ කිම් ජොං අන්, සමීප සබඳතා පවත්වාගැනීම හරහා අනාගත ප්‍රතිලාභ අපේක්ෂා කරති.

බොහෝ ප්‍රතිලාභ
එසේ නම්, රුසියානු රජයට එයින් ඇති වාසිය කුමක් ද?

පළමුකොටම, උතුරු කොරියාවට මහා පරිමාණ නිෂ්පාදන ශක්‍යතා සහිත දැවැන්ත ආරක්ෂක කර්මාන්තයක් ඇත. යුක්රේනය තුළ රුසියාවේ යුද්ධය ක්‍රියාත්මක වෙමින් තිබිය දී, රුසියානු රජය වෙත යුද්ධෝපකරණ සැපයීමේ අමිල මූලාශ්‍රයයක් වීමට උතුරු කොරියාවට හැකි ය.

රුසියානු රජය දැනටමත් එය ක්‍රියාත්මක කර ඇති බව ඇමෙරිකාව සැක කරයි. රුසියාව සහ උතුරු කොරියාව අතර අවි සාකච්ඡා "ක්‍රියාකාරීව වර්ධනය වන" බව පවසන ඇමෙරිකාව, රුසියාව උණ්ඩ සහ කාලතුවක්කු ෂෙල් අපේක්ෂාවෙන් සිටින බවට චෝදනා කරයි.

රුසියානු බලධාරීන් මෙය තහවුරුකොට නැත. එහෙත්, රුසියාව සහ උතුරු කොරියාව හමුදා සහයෝගීතාව වර්ධනය කිරීමට අදහස් කරතැ යි තහවුරු වන ඉඟි ඕනෑ තරම් තිබේ.

පසුගිය ජුලි මාසයේ දී, කොරියානු සටන් විරාමයේ 70 වන සංවත්සරය වෙනුවෙන් පැවති උත්සව අවස්ථාවන්ට සහභාගි වීම සඳහා සෙර්ගෙයි ෂොයිගු උතුරු කොරියාවට ගියේ ය. ඒ, සෝවියට් සංගමය බිඳ වැටීමෙන් පසු උතුරු කොරියාවට පැමිණි පළමු රුසියානු ආරක්ෂක ඇමතිවරයා වශයෙනි. අවිආයුධ ප්‍රදර්ශනයක් ෂොයිගුට පෙන්වූ කිම් ජොං අන් ඔහුගේ සංචාරක මාර්ගෝපදේශකයා ලෙස හැසිරිණි. ඒකාබද්ධ යුද්ධ අභ්‍යාස ක්‍රියාත්මක වනු ඇතැ යි ආරක්ෂක අමාත්‍යවරයා ද ඉඟි කර තිබේ.

"ඔවුන් ලෝකයේ දුප්පත් ම හා අඩුවෙන්ම සංවර්ධිත රටවලින් එකක්, හුදකලා රටක් වන උතුරු කොරියාවෙන් ආයුධ ලබාගන්නවා නම්, මට හිතෙනා විදියට නම් ඒක රුසියානු 'මහා බලය' ගැන ගොඩනගන ප්‍රතිරූපයට කරන උපරිම නින්දාවක්," හිටපු රුසියානු විදේශ ඇමති අන්ද්‍රෙයි කෝසිරෙෆ් විශ්වාස කරයි. ඔහු දැනට පදිංචිව සිටින ඇමෙරිකාවේ සිට වීඩියෝ ඇමතුමකින් සම්බන්ධ වෙමින් එසේ කීය.

"මහා බලවතෙකු සන්ධාන සඳහා හෝ ආරක්ෂක සැපයුම් සඳහා උතුරු කොරියාවට යන්නෙ නෑ."

මිතුරන් සහ කිම්
එහෙත්, ලෝක සාමය පෙරළා දැමීමේ බල චේතනාවක් සඳහා ඔවුන් එසේ කළ හැකි ය. ඔහුගේ පූර්ණ පරිමාණයේ යුක්රේන ආක්‍රමණය හරහා, ගෝලීය සාමය රුසියාවේ අභිමතය පරිදි ප්‍රතිනිර්මාණය කිරීමේ අරමුණ පිළිබඳව ව්ලැදිමීර් පූටින් සංඥා කළේ ය. උතුරු කොරියාව සමග පවත්වන හමුදා සහයෝගීතාව එහි තවත් ලකුණක් විය හැකි ය.

රුසියානු හා උතුරු කොරියානු රජයයන් අතර සිදුවන ආයුධ ගනුදෙනුව දැවැන්ත වෙනසක් නියෝජනය කරනු ඇත. මෑතක් වන තුරු ම උතුරු කොරියාවේ න්‍යෂ්ටික අවි වැඩසටහන සම්බන්ධයෙන් එරටට එරෙහිව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය පැනවූ සම්බාධකවලට රුසියාව එකඟ විය. එම සම්බාධක විසින් උතුරු කොරියාව සමග ආයුධ වෙළඳාම් කිරීම ද තහනම් කරයි.

"රුසියාව ආරක්ෂක කවුන්සිලයේ යෝජනාවලට අත්සන තබා ඇතැ,"යි රුසියානු ටැබ්ලොයිඩ් පුවත්පතක් වන 'මොස්කොව්ස්කි කොම්සොමොලෙට්ස්' පසුගිය සතියේ පාඨකයන්ට සිහි කැඳවීය. එහෙත් එහි මෙසේ ද සඳහන් විය:

"කමක් නෑ. අත්සනක් අවලංගු කරන්න පුළුවන්."

රුසියාවේ විදේශ හා ආරක්ෂක ප්‍රතිපත්ති පිළිබඳ කවුන්සිලයේ සභාපති ෆියදෝර් ලුකියානොෆ් උපුටා දක්වමින් එම පුවත්පත මෙසේ සඳහන් කළේ ය:

"දැන් දිග කාලයක ඉඳලා මේ ප්‍රශ්නය අහනවා: අප (රුසියාව) මෙම සම්බාධකවලට යටත් වන්නේ ඇයි? සමස්ත ජාත්‍යන්තර සබඳතා පද්ධතිය සම්පූර්ණයෙන් ම ව්‍යාකූල තත්වයක පවතිනවා.

"ඇත්ත වශයෙන් ම, එක්සත් ජාතීන්ගේ සම්බාධක නීත්‍යනුකූල යි. ඒක ප්‍රතික්ෂේප කරන්න අමාරු යි. අපි ඒකට ඡන්දෙ දුන්නා. ඒත්, දැන් තත්ත්වය වෙනස් වෙලා තියෙන්නේ. ඇයි අපි අපේ ඡන්දය අවලංගු නොකරන්නේ?"

එය කිම් ජොං අන්ගේ කනට මී පැණි වත්කරන්නාක් මෙන් විය හැකි ය.

සදාකල් එකට?
උතුරු කොරියාව රුසියාවෙන් ලබාගැනීමට අපේක්ෂා කරන තවත් දේ මොනවා විය හැකි ද? නිසැකව ම ඔවුන් උතුරු කොරියාවේ ආහාර හිඟයට පිළියමක් යෙදීමට මානුෂීය ආධාර අපේක්ෂා කරනු ඇත. න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මක සබ්මැරීන ඇතුළුව චන්ද්‍රිකා සහ ආරක්ෂක ක්ෂේත්‍රවල භාවිතය සඳහා, උතුරු කොරියාව දියුණු රුසියානු තාක්ෂණය බලාපොරොත්තුවෙන් සිටින බවට ද අනුමාන කෙරේ.

රුසියාවට බරපතල ලෙස වැරදුණු යුද්ධයට වසර එක හමාරකට වැඩි කාලයක් ගතව ඇති මොහොතක, රුසියාවට එහි යුද්ධෝපකරණ තොග නැවත පිරවීමට අවශ්‍ය විය හැකි ය. එය සාක්ෂාත් කර ගැනීම සඳහා මාර්ගයක් ලෙස උතුරු කොරියාව සමග ගනුදෙනු කරන අයුරු දැකිය හැකි ය. එහෙත්, උතුරු කොරියාවේ උදව් නොමැතිව රුසියාවේ යුද්ධ යාන්ත්‍රණය අක්‍රිය වනු ඇතැ යි මින් අදහස් නොවේ.

"පූටින් මුලා වෙලා නෑ," හිටපු විදේශ කටයුතු අමාත්‍ය අන්ද්‍රෙයි කෝසිරෙෆ් විශ්වාස කරයි. "එයාට දිගු කාලයක් මේක කරගෙන යන්න පුළුවන්. ඒ වගේ ම, එයාට පුළුවන් ඒකට අනුගත වෙන්න. සම්බාධක මග හරින්නේ කොහොම ද, උතුරු කොරියාවේ, චීනයේ සහ අප්‍රිකාවේ ඇතැම් දේශපාලන යාන්ත්‍රණයන් එක්ක සහයෝගයෙන් කටයුතු කරන්නේ කොහොම ද වගෙ දේවල් ගැන ඔහු හැමදාම ඉගෙනගන්නවා. ඒක අනාගතයට විකල්පයක් නොවුණ ත්, වර්තමානයට විකල්පයක් වගේ ම, තව ත් අවුරුදු ගාණකට විකල්පයක් වෙන්න ත් පුළුවන්."

 

BBC

Business News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website