සිකුරාදා, 06 ඔක්තෝබර් 2023 10:41

මහාරාෂ්ට්‍රයේ රජයේ රෝහලක ළදරුවන් ඇතුළු රෝගීන් 31ක් පැය 48ක් තුළ මියගිහින් Featured

හේතුව තාමත් රහසක්

ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ රජයේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි ළදරුවන් ඇතුළු රෝගීන් 31 දෙනකු පැය 48ක් ඇතුළත හඳුනා නොගත් හේතුවක් මත මියගොස් ඇති අතර රෝහලේ සිටින තවත් රෝගීන් 71 දෙනකු අසාධ්‍ය තත්ත්වයේ පසු වන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.

මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ ‘නන්ධේඩ්’ නගරයේ පිහිටි ශංකර්රාඕ චවාන් රජයේ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ළදරුවන් 16 දෙනකු ඇතුළු රෝගීන් 31 දෙනකු මෙසේ හදිසියේ මිය ගොස් ඇත. වෛද්‍ය වෘත්තිකයන්ගේ නොසැලකිලිමත්කමින් මෙම මරණ සිදු වූ බවට විවිධ පාර්ශ්ව චෝදනා කර ඇති අතර රෝහලේ ප්‍රධානියා වන වෛද්‍ය ශ්‍යාම් රාඕ වකොඩේ විසින් එම චෝදනා ප්‍රතික්ෂේප කර තිබේ. මෙම රෝගීන් මිය ගොස් ඇත්තේ ඉකුත් සෙනසුරාදා (30) සිට සඳුදා (02) දක්වා කාලයේදීය.

අභිරහස් අන්දමින් මෙසේ රජයේ රෝහලක රෝගීන් විශාල පිරිසක් කෙටි කාලයක් ඇතුළත මියයෑම සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට මහාරාෂ්ට්‍ර ප්‍රාන්ත රජය විසින් ත්‍රිපුද්ගල කමිටුවක් පත් කර ඇති අතර පරීක්ෂණ වාර්තාව කඩිනමින් සපයන ලෙස එම කමිටුවට උපදෙස් දී තිබේ. ඉන්දීය මාධ්‍ය පෙන්වා දී ඇති අන්දමට ශංකර්රාඕ චවාන් රෝහලේ පැය 24ක් ඇතුළතදී රෝගීන් 24 දෙනකු මියගොස් ඇති බව මුලින් වාර්තා වී තිබූ අතර පසුව ගත වූ පැය 24 තුළදී තවත් රෝගීන් 7 දෙනකු ඒ ආකාරයෙන්ම මිය ගොස් ඇති බව වාර්තා වෙයි.

සිය රෝහලේ වෛද්‍යවරුන්ගේ හා බෙහෙත් ද්‍රව්‍යවල කිසිදු හිඟයක් නොමැති බව මාධ්‍යයට පවසා ඇති චෝදනාවට ලක්ව සිටින රෝහලේ ප්‍රධානියා මියගිය රෝගීන්ට අවශ්‍ය ප්‍රතිකාර ලබා දුන්නද ඔවුන් එම ප්‍රතිකාර සඳහා නිසි ප්‍රතිචාර දක්වා නොමැති බව සඳහන් කර තිබේ.

මේ අතර රෝගීන් මියගිය රෝහල අයත් ‘නන්ධේඩ්’ නගරයේ පරිපාලනය නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත්තේ රෝහලේදී අභිරහස් අන්දමින් මියගිය බව කියන ළදරුවන් 16 දෙනාගෙන් 12 දෙනකු අඩු බර හේතුවෙන් මියගිය බවත් වැඩිහිටියන් 12 දෙනකු හෘදය වස්තුවේ, අක්මාවේ හා වකුගඩුවල ආසාදනයන්ගෙන් පෙළෙමින් සිටි බවත්ය. මේ අතර රෝහලේ සිදුව ඇති මෙම මරණ සම්බන්ධයෙන් ප්‍රධාන විපක්ෂය වන කොංග්‍රස් පක්ෂය මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ රජයට චෝදනා කරමින් අදාළ රෝහලට අවශ්‍ය උපකාර ලබා දෙන ලෙස ඉල්ලා තිබේ.

ඒමන්ති මාරඹේ

Business News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website