බ්‍රහස්පතින්දා, 12 ඔක්තෝබර් 2023 09:35

ඊශ්‍රායලයෙන් ලෙබනනයටත් ප්‍රහාර Featured

ඊශ්‍රායල හමුදා විසින් පලස්තීනයට අයත් ගාසා තීරයේ තෝරා ගත් ඉලක්කවලට දිගින් දිගටම ප්‍රහාර එල්ල කරමින් සිටියදී ලෙබනනයේ සිට ක්‍රියාත්මක වන, තවත් ප්‍රබල ත්‍රස්තවාදී සංවිධානයක් වන හිස්බුල්ලා සංවිධානය, හමාස් අන්තවාදීන්ට සහය පළ කරමින් උතුරුදිග ඊශ්‍රායලයට මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇති බව ඊයේ (11දා) සවස වාර්තා විය.

හිස්බුල්ලා සංවිධානය විසින් එල්ල, කරන ලද මිසයිල ප්‍රහාරයත් සමගම උතුරු ඊශ්‍රායලයේ යුද අවදානමක් ඇති බව අඟවන සයිරන් නලා හඬ ඊයේ සවස සිට නාද වූ බව විදෙස් මාධ්‍ය පවසයි. හිස්බුල්ලා සංවිධානයේ මිසයිල ප්‍රහාරයට ප්‍රතිප්‍රහාරයක් වශයෙන් ඊශ්‍රායල හමුදා විසින් ලෙබනනයේ ප්‍රදේශ දෙකකට ෂෙල් වෙඩි ප්‍රහාර එල්ල කර තිබේ. ඊශ්‍රායල හමුදා විසින් ලෙබනනයේ ධයිරා හා යරින් යන ප්‍රදේශවලට ප්‍රහාර එල්ල කර ඇති බව ලෙබනනයේ ආරක්ෂක අංශ නිවේදනය කර තිබේ.

මේ අතර ගාසා තීරයේ සිය බලය තහවුරු කරගනිමින් සිටින ඊශ්‍රායල හමුදා විසින් එල්ල කර ඇති ප්‍රහාරවලින් එම තීරයේ තිබෙන ඉස්ලාමීය විශ්වවිද්‍යාලය විනාශ වී තිබේ. ඊශ්‍රායල හමුදාවන්ට අයත් ජෙට් ප්‍රහාරක යානා විසින් එල්ල කරන ප්‍රහාරයන්ගෙන් බේරීම සඳහා ගාසා තීරයේ වෙසෙන පලස්තීන ජාතිකයන් තීරයේ පවතින රෝහල් හා පාසල්වල නවාතැන් ගෙන සිටින බව වාර්තා වේ. මේ අතර ගාසා තීරයේ පවතින එකම විදුලි බලාගාරය සතු ඉන්ධන අවසන්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. ඉකුත් සෙනසුරාද හටගත් ඊශ්‍රායල හමුදා හා හමාස් අන්තවාදීන් අතර සටන්වලින් මේ වන විට 2100 කට අධික පිරිසක් මියගොස් තිබේ.

 ඒමන්ති මාරඹේ

 

Business News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website