සිකුරාදා, 27 ඔක්තෝබර් 2023 09:49

හමාස් ප්‍රහාරය ගැන කළ ප්‍රකාශය නිසා එ.ජා. ප්‍රධානියාට ඉල්ලා අස්වන්නැ යි ඊශ්‍රායලය කියයි Featured

ගාසා තීරයේ යුද්ධය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා කළ ප්‍රකාශය ඉල්ලා අස්කරගෙන ඒ සම්බන්ධයෙන් සමාව අයදින ලෙස ඊශ්‍රායලය ප්‍රකාශකර තිබේ.

අන්තෝනියෝ ගුටරෙස් අඟහරුවාදා (ඔක්. 24) ආරක්ෂක කවුන්සිලය අමතා සිදු කළ ප්‍රකාශයක දී, සති දෙකකට පෙර ඊශ්‍රායලයේ සිදුවූ මාරාන්තික හමාස් ප්‍රහාර ඔහු අවිවාදයෙන් හෙළා දකින නමුත් ඒවා "බාහිර සාධකවල බලපෑමකින් තොරව සිදුවූවක් නොවන," බව ප්‍රකාශ කළේ ය.

ඔහු “ත්‍රස්තවාදය සාධාරණීකරණය කරන” බවට ඊශ්‍රායල තානාපති ගිලාඩ් අර්ඩන් චෝදනා කළ අතර, වහාම ධූරයෙන් ඉල්ලා අස්වන ලෙසට ඉල්ලා සිටියේ ය.

බදාදා(ඔක්. 25) , ගුටෙරස් ඔහුගේ ප්‍රකාශයේ "වැරදි අර්ථ නිරූපණය" ප්‍රතික්ෂේප කළේ ය.

නමුත් අර්ඩන් ඊට පිළිතුරු දෙමින්, එක්සත් ජාතීන්ගේ ප්‍රධානියා "යළිත් වතාවක් කරුණු විකෘතිකර වෙනස් කරන" බවත්, ඔහු ඉල්ලා අස්විය යුතු බවත් කියා සිටියේ ය.

ඔක්තෝබර් හත්වන දා හමාස් තුවක්කුකරුවෝ 1,500ක් පමණ ගාසා තීරයේ සිට දකුණු ඊශ්‍රායලයට අනවසරයෙන් ඇතුළු වූහ. ඔවුන් අවම වශයෙන් මිනිසුන් 1,400ක් පමණ මරා දැමූ අතර ඒ අතර සිටි වැඩි දෙනෙක් සිවිල් වැසියෝ වූහ. ඔවුහු තවත් පුද්ගලයින් 222ක් ප්‍රාණ ඇපයට ගත්හ.

ගාසා තීරයේ හමාස් පාලනය යටතේ ඇති සෞඛ්‍ය අමාත්‍යංශය පවසන පරිදි, අපේක්ෂිත ගොඩබිම් ආක්‍රමණයක් සඳහා භට පිරිස් රැස්කරමින් සිටින අතරේ ඊශ්‍රායලය ගුවන් හා කාලතුවක්කු යොදා ගනිමින් ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට පටන්ගත් දා සිට එම භූමියේ 6,500කට අධික පිරිසක් මියගොස් තිබේ.

ගුටෙරස්, අඟහරුවාදා නිව්යෝර්ක්හි පැවති එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ රැස්වීමක් අමතමින් සිවිල් වැසියන්ට ගරු කරන ලෙසත්, ඔවුන් ආරක්ෂා කරන ලෙසත් යුද්ධයට සම්බන්ධ සියලුම පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටියේ ය.

"ඔක්තෝබර් හත්වන දා ඊශ්‍රායලය තුළ හමාස් සංවිධානය විසින් සිදුකරන ලද බිහිසුණු සහ පෙර නොවූ විරූ ත්‍රස්තවාදී ක්‍රියා මම අවිවාදයෙන් හෙළා දුටුවා. සිවිල් වැසියන් හිතාමතා ඝාතනය කිරීම, තුවාල කිරීම සහ පැහැරගෙන යාම හෝ සිවිල් වැසියන් ඉලක්ක කරගෙන රොකට් ප්‍රහාර එල්ල කිරීම ආදිය කිසිවකින් සාධාරණීකරණය කරන්න බැහැ."

අනතුරුව ඔහු, "හමාස් ප්‍රහාරය බාහිර සාධකවල බලපෑමකින් තොරව සිදු නොවූබව හඳුනා ගැනීම ද වැදගත්යැ"යි කවුන්සිලය වෙත පැවසුවේ ය. ඒ, "අවුරුදු 56ක් තිස්සේ පලස්තීන ජනතාව පීඩාකාරී ආක්‍රමණයකට නතු වෙලා හිටියේයැ"යි ද සඳහන් කරමිනි.

පලස්තීන ජනතාව ඔවුන්ගේ "ඉඩම් ක්‍රමානුකූලව [ඊශ්‍රායල] ජනාවාසවලට නතුවූ ආකාරය, ප්‍රචණ්ඩත්වයෙන් පීඩාවට පත්ව සිටින ආකාරය; ආර්ථිකය කඩා වැටීම; නිවාස විනාශවී ගොස් ජනතාව අවතැන් වන ආකාරය," දැක ඇති අයුරු ඔහු විස්තර කළේ ය.

"නමුත් පලස්තීන ජනතාවගේ වේදනාව හමාස් සංවිධානයේ බිහිසුණු ප්‍රහාර සාධාරණීකරණය කරන්නේ නැහැ. ඒ වගේ ම, එම බිහිසුණු ප්‍රහාරවලින්, පොදුවේ පලස්තීන ජනතාවට දඬුවම් කිරීම සාධාරණීකරණය කරන්නත් බැහැ."

"අප අත්දකින, ගාසා තීරයේ ජාත්‍යන්තර මානුෂිය නීතිය පැහැදිලිවම උල්ලඝණය වීම්" සම්බන්ධයෙන් ඔහු දැඩි කනස්සල්ලට පත්වන බව ද ගුටෙරස් පැවසීය.

ඊශ්‍රායලය ගාසා තීරයට අඛණ්ඩව බෝම්බ හෙළීම මෙන් ම සිවිල් වැසියන්ගේ ජීවිත අහිමිවීම සහ "නිවාස සහිත ප්‍රදේශ මුළුමනින්ම විනාශ කිරීම" පිළිබඳව ඔහු දැඩි කනස්සල්ල පළ කළේ ය.

ඔහු හමාස් සංවිධානයේ නම සඳහන් නොකරමින්, "සිවිල් ජනතාව ආරක්ෂා කිරීම යනු, ඔවුන් කිසිසේත් ම මිනිස් පළිහක් ලෙස යොදාගැනීම නොවන" බව අවධාරණය කළේ ය.

ඔහු ඊශ්‍රායලයේ නම සඳහන් නොකරමින් මෙසේ පැවසීය: "සිවිල් ජනතාව ආරක්ෂා කිරීම යන්නෙන් අදහස් කරන්නේ මිලියනයකට අධික ජනතාවකට හිසට සෙවණක්, ආහාර, ජලය, ඖෂධ සහ ඉන්ධන නොමැති දකුණට ඉවත්වන ලෙස අණ කිරීමටත්, ඉන්පසු දිගටම දකුණට බෝම්බ දැමීමත් නෙවෙයි."

ගාසා තීරයට ආධාර සැපයීම පහසු සහ ආරක්ෂිත කිරීමට මෙන් ම ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීමට පහසුකම් සැලසීම සඳහා මානුෂීය සටන් විරාමයකට අවතීර්ණ වන ලෙස ද එක්සත් ජාතීන්ගේ ප්‍රධානියා ඉල්ලා සිටියේ ය.

Untitled 1ඊශ්‍රායල විදේශ ඇමති "හමාස් යනු නව නාසීන්" බව ප්‍රකාශ කළේ ය

සෙනසුරාදා සිට ආහාර, ජලය සහ වෛද්‍ය සැපයුම් රැගත් ලොරි රථ 62ක් ඊජිප්තුවේ සිට ගමන් කිරීම ඔහු හැඳින්වූයේ "අවශ්‍යතාවන් සාගරයක් ඇති තැනකට ආධාර බිඳුවක් ලැබීම" ලෙසිනි.

ආධාර අතරට ඉන්ධන ඇතුළත් කිරීමට අපොහොසත් වීම ව්‍යසනයක අවදානමක් මතුකර ඇතැ යි අනතුරු ඇඟවූ ඔහු, එනිසා රෝහල්වලට විදුලිය නැතිවන බවත් පානීය ජලය පිරිසිදු කිරීම හෝ පොම්ප කිරීම සිදුනොවනු ඇති බවත් පැහැදිලි කළේ ය.

බටහිර ඉවුර පදනම්කර ගත් පලස්තීන අධිකාරියේ විදේශ අමාත්‍ය රියාද් අල්-මලිකි, ගාසා තීරයේ වෙසෙන මිලියන දෙකක ජනතාවට එරෙහිව "ඊශ්‍රායලය විසින් හිතාමතා, ක්‍රමානුකූලව සහ ම්ලේච්ඡ ලෙස සිදුකරනු ලබන සංහාර" නතර කරන ලෙස ඉල්ලා සිටියේ ය.

ආරක්ෂක කවුන්සිල හමුවට පැමිණ සිටි ඊශ්‍රායල විදේශ අමාත්‍ය එලී කොහෙන් කවුන්සිලය අමතමින් සිදු කළ කතාවේ දී ගුටෙරස් විවේචනය කරමින්, "ඔබ ජීවත් වන්නේ මොන ලෝකයක ද?" යනුවෙන් ඔහුගෙන් විමසීය.

හමාස් සංවිධානය පිරිමින්, කාන්තාවන් සහ ළමුන් 1,400ක් ඝාතනය කිරීම මඟින් ඉස්ලාමීය රාජ්‍ය (IS) කණ්ඩායම සිදු කරන ලද සංහාර අභිබවා යමින් "ඊටත් වඩා කෲර ක්‍රියාවක් ලෙස ඉතිහාසගත වන" සංහාරයක් සිදු කර ඇති බව කොහෙන් පැවසීය.

"හමාස් කියන්නේ අලුත් නාසීන්," කොහෙන් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේ ය. "නාසීන් පරාජය කරන්න ශිෂ්ට ලෝකය එක්සත් වුණා වගේම, [IS] පරාජය කරන්න ශිෂ්ට ලෝකය එක්සත් වුණා වගේම, හමාස් පරාජය කරන්නත් ශිෂ්ට ලෝකය ඊශ්‍රායලය සමග එක්ව සිටගත යුතු යි."

සාධාරණත්වයක් සහ සටන් විරාමයක් සඳහා එක්සත් ජාතීන්ගේ සිදුකළ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් ඔහු මෙසේ පැවසීය: "මට කියන්න, පොඩි දරුවන් මරා දමන එකට දක්වන්න පුළුවන් සාධාරණ ප්‍රතිචාරය මොකක් ද? කාන්තාවන් දූෂණය කරලා පුච්චලා දාන එකට? දරුවෙකුගේ හිස ගසාදාන එකට? තමන්ගේ ම මිනිස්සු මරා දාන්න දිවුරලා ඉන්න පිරිසක් එක්ක සටන් විරාමයකට අවතීර්ණ වෙන්න ඔබ එකඟවෙන්නේ කොහොම ද?"

කොහෙන් පසුව මීට පෙර ට්විටර් ලෙස හැඳින්වූ Xහි මෙසේ ලිවීය: "මම එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා හමුවෙන්නේ නැහැ. ඔක්තෝබර් 7 සංහාරයෙන් පස්සේ සමබර ප්‍රවේශයකට තැනක් නැහැ."

මහ ලේකම්වරයා "ත්‍රස්තවාදය සහ මනුෂ්‍ය ඝාතන සාධාරණීකරණය කර ඇති" බව අර්ඩන් පැවසුවේ ය.

ගුටෙරස්ගේ ප්‍රකාශය හේතුවෙන්, එක්සත් ජාතීන්ගේ මානුෂීය කටයුතු පිළිබඳ නියෝජ්‍ය මහ ලේකම් මාර්ටින් ග්‍රිෆිත්ස් ඊශ්‍රායල් වීසාවක් සඳහා කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ බව ඔහුට දැනුම් දුන්නැ යි ඊශ්‍රායල ප්‍රවෘත්ති වෙබ් අඩවියක් වන Ynet විසින් බදාදා (ඔක්. 25) තානාපතිවරයා උපුටා දක්වමින් සඳහන් කරනු ලැබ තිබිණි.

"ඔහුට මේ කලාපයට එන්න පුළුවන් වෙන එකක් නැහැ. ඔවුන්ගේ නියෝජිතායතනවලට නිරන්තරයෙන් නව පුද්ගලයින් ගෙන්වා ගන්න අවශ්‍යයි, නිසැකව ම මේ වගේ කාලයක දී. ඒත් ඒවා ප්‍රතික්ෂේප වේවි."

එක්සත් රාජධානියේ අගමැති රිෂි සුනක්ගේ ප්‍රකාශකයෙකු, "වෛරය සහ මතවාද විසින් මෙහෙයවෙන හමාස් සංවිධානයේ ම්ලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරය සඳහා කිසිදු සාධාරණීකරණයක් නැත, එය සාධාරණීකරණය කළ නොහැකියැ"යි පැවසුවේ ය.

පසුව ගුටෙරස් වාර්තාකරුවන්ට මෙසේ පැවසුවේ ය: "මගේ ප්‍රකාශය වැරදි ලෙස අර්ථ නිරූපණය කරපු එක ගැන මම කම්පනය පත්වුණා... හරියට මම හමාස් ත්‍රස්තවාදී ක්‍රියා සාධාරණීකරණය කරනවා වගේ. මේක වැරදියි. වෙන්න ඕනේ ඒකෙ අනෙක් පැත්ත."

"මම විශ්වාස කරනවා ඒක නිවැරදි කළ යුතු යි කියලා. විශේෂයෙන් ම වින්දිතයින්ට සහ ඔවුන්ගේ පවුල්වලට ගෞරවයක් වශයෙන්," ඔහු සඳහන් කළේ ය.

නමුත්, "මහ ලේකම්වරයා ඔහුගේ වචන ඉල්ලා අස්කර නොගැනීම සහ ඊයේ ප්‍රකාශ කළ දේ සම්බන්ධයෙන් සමාව ගැනීමට පවා ඔහුට නොහැකිවීම එක්සත් ජාතීන්ගේ සංවිධානයට අපකීර්තියක්" බව අර්ඩන් පැවසුවේ ය.

"හැම කෙනෙකුට ම හොඳට ම තේරනවා ඔහුගේ වචනවලින් කියවෙන්නේ හමාස් සංවිධානයේ ක්‍රියාකලාපයට ඊශ්‍රායලය වගකිව යුතු යි කියලා. අඩුම තරමින් ඒකෙන් පේන්නේ සංහාරයකට තුඩු දීපු 'පසුබිම' ගැන ඔහුට තියෙන දැනීම," ඔහු පැවසීය.

"අහිංසකයින් ඝාතනය කිරීම කිසි ම 'පසුබිමක්' නිසා සාධාරණීකරණය කරන්න බැහැ කියන එක නොතේරෙන මහ ලේකම්වරයෙකුට මහ ලේකම් වෙන්න බැහැ... මම ඔහුට ඉල්ලා අස්වෙන්න කියලා නැවතත් කියනවා."

BBC

Business News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website