සිකුරාදා, 27 ඔක්තෝබර් 2023 09:33

ඊශ්‍රායල යුද ටැංකි ගාසා තීරයට Featured

ඊශ්‍රායල - හමාස් යුද්ධයේදී, ඊශ්‍රායලයේ ප්‍රධාන සහකරුවන, තමා සියොන්වාදියෙකු ලෙස හඳුන්වාගන්නා අමෙරිකානු ජනපති ජෝ බයිඩන්, අර්බුදයට දිගුකාලීනව ලැබිය යුතු විසඳුම පිළිබඳ ඊයේ (25) ප්‍රකාශයක් කළේය.

ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීස් සමග වොෂින්ටනයේදී ඒකාබද්ධ මාධ්‍ය හමුවක් පවත්වමින් ඔහු ප්‍රකාශ කළේ ඊශ්‍රායල - පලස්තීන අර්බුදය සඳහා විසඳුම වන්නේ "රටවල් දෙකක්" යන විසඳුම බවයි.

ඩිමොක්‍රටික් පාක්ෂික ජනාධිපතිවරුන් මීට පෙර ද ඉදිරිපත් කර ඇත්තේ එම විසඳුම බව ඔහු කීය.

ඊශ්‍රායල - ගාසා ගැටුම් අවසන් වූ පසු සාමය උදෙසා මාවතක් විවෘත කරගත යුතුබවත්, එය ඊශ්‍රායලවරුන්ට මෙන්ම පලස්තීනුවන්ට නිදහස් රටක් හිමිකර දෙන, ඊශ්‍රායලය, අසල්වාසී අරාබි රටවල් හා සංකලනය කරන විසඳුමක් විය යුතු බවත් ජනපති බයිඩන් එහිදී අවධාරණය කළේය.

ඊශ්‍රායලයේ ආරක්ෂාව උදෙසා අමෙරිකාව තවදුරටත් අයෝමය සහායක් ලබාදෙන බවත්, ගාසා අර්බුදය අවසන් වූ පසු කලාපයේ ඉදිරි අනාගතය පිළිබඳව සියලු පාර්ශ්වයන් සිතිය යුතු බවත් ජනපති බයිඩන් කියා සිටියේය.

ඊශ්‍රායල ජාතිකයන්ට සහ පලස්තීනුවන්ට එකිනෙකා ආසන්නයේ ආරක්ෂාවක්, ගෞරවනීයත්වයක් සහිතව සාමයෙන් පිටත්වීමට අයිතියක් ඇති බව අමෙරිකානු ජනාධිපතිවරයා එහිදී සඳහන් කර තිබේ.

දකුණු දිග ඊශ්‍රායලයේ 1400 දෙනෙකු මරුමුවට පත්කරමින් හමාස් සංවිධානය එල්ල කළ ප්‍රහාරයේ එක් අරමුණක් වුයේ ඊශ්‍රායලය සහ සෞදි අරාබිය අතර සබඳතා සාමාන්‍ය තත්ත්වයට පත්වීම වැළැක්වීම බව තමා විශ්වාස කරන්නේ යැයි ජනපති බයිඩන් පැවසීය.

හමාස් ප්‍රහාරයට දැඩි ප්‍රතිචාරයක් දක්වමින් ගාසා තීරයට ආහාර, ජලය, විදුලිය සහ ඉන්ධන සැපයුම් කපාහැර, සති දෙකකට වැඩි කාලයක් තිස්සේ එල්ලකරන ඊශ්‍රායල බෝම්බ ප්‍රහාරවලින් මියගිය පලස්තීනුවන් සංඛ්‍යාව 6500 ඉක්මවා ගොස් තිබේ.

ඉන් 2,000කට වැඩි පිරිසක් ළමුන් බව පලස්තීනුවන් පවසයි.

අමෙරිකානු ජනපති ජෝ බයිඩන් ප්‍රකාශ කළේ ඊශ්‍රායල ප්‍රහාරවලින් මියයන පලස්තිනූවන් සංඛ්‍යාව පිළිබඳව පලස්තීනුවන් විසින් ඉදිරිපත් කරන දත්ත ගැන තමාට විශ්වාසයක් නොමැති බවයි.

එහෙත් අහිංසක ජනයා මියයන බව සහතික බවත්, එය යුද්ධය අවුළුවාලීමේ ප්‍රතිඵලයක් බවත් ජනපති ජෝ බයිඩන් සඳහන් කළේය.

බටහිර ඉවුරේ පදිංචිකර ඇති ඇතැම් අන්තවාදී ඊශ්‍රායල ජාතිකයන්, පලස්තීනුවන්ට ප්‍රහාර එල්ල කිරීම ඇවිලෙන ගින්නට ඉන්ධන හෙළීමක් වැනි බවත් ඔහු ප්‍රකාශ කර තිබේ.

ගාසා තීරයේ මියයන පලස්තීනුවන් සම්බන්ධයෙන් අමෙරිකානු ජනාධිපතිවරයා සිදුකළ ප්‍රකාශයට මුස්ලිම් සිවිල් අයිතීන් පිළිබඳ අමෙරිකානු - ඉස්ලාමීය සම්බන්ධතා කවුන්සිලය කඩිනම් ප්‍රතිචාරයක් දක්වා තිබුණි.

එහි විධායක අධ්‍යක්ෂ නිහාඩ් අවාඩ් නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ පලස්තිනුවන්ගේ ජීවිත හානි පිළිබඳව ජනපති ජෝ බයිඩන් සිදුකළ ප්‍රකාශය අමානුෂික බවයි.

ඊශ්‍රායලය විසින් සිතාමතා පලස්තීන සිවිල් වැසියන් ඉලක්ක කර ගැනීම ජනපති ජෝ බයිඩ්න් විසින් හෙලා දැකිය යුතු බවත් එම නිවේදනය මගින් අමෙරිකානු - ඉස්ලාමීය කවුන්සිලය අවධාරණය කළේය.

ඊශ්‍රායල ප්‍රහාරවලින් ගාසා තීරයේ නිවාස, දේවස්ථාන, සරණාගත කඳවුරු පමණක් නොව රෝහල්වල සිටින දහස් සංඛ්‍යාත පලස්තීනුවන් මියයද්දී ඔවුන් වෙනුවෙන් අවසන් කටයුතු සිදුකිරීමට පවා ඇතැමුන්ගේ ඥාතීන් සොයාගත නොහැකි බව වාර්තා වෙයි.

මේ නිසා ඔවුන්ගේ සිරුරු සමුහ මිනීවලවල්වල මිහිදන් කිරීම ද දැන් සාමාන්‍ය සිද්ධියකි.

තම දු දරුවන් ඇතුළු පවුලේ සාමාජිකයන් මුහුණදෙන අවදානම හමුවේ ඔවුන් යම් ආකාරයකින් ජීවිතක්ෂයට පත්වුවහොත් හඳුනාගත හැකි උපක්‍රමයක් ගාසා තීරයේ ඇතැම් පලස්තීනුවන් යොදාගන්නා බව වාර්තා විය.

ඊශ්‍රායල බෝම්බ ප්‍රහාරවලට ලක්වී මියයන ඇතැමුන්ගේ සිරුර හඳුනාගත නොහැකි අන්දමින් විකෘති වී තිබීම ඊට හේතුවකි.

මේ නිසා ගාසා තීරය පලස්තීනුවන් තම වෙනුවට නිශ්චිත අංකයක් සහිත බ්‍රේස්ලට් එකක් තම පවුලේ සාමාජිකයන්ට පැළඳවීමට පියවර ගෙන තිබේ.

එමෙන්ම සිය පවුලේ සාමාජිකයන් සියලුදෙනා එක් ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් මියයාම වැළැක්වීමට ඇතැම් පවුල් දෙකට බෙදී කොටසක් ගාසා තීරයේ උතුරු කොටසේත්, කොටසක් එහි දකුණු කොටසේත් රැඳී සිටින බව වාර්තා වෙයි.

ඊශ්‍රායල හමුදාව විසින් ගාසා තීරයේ උතුරු කොටසේ වාසය කළ මිලියන 1.1ක් පමණ ජනතාවට දකුණු දෙසට යන ලෙස නියෝග කළ ද, ඔවුන් උතුර දකුණ නොබලා ගාසා තීරයේ සෑම ප්‍රදේශයකටම ගුවන් ප්‍රහාර එල්ල කිරීම දක්නට ලැබෙයි.

මිලියන 2.3ක ජනගහනයෙන් වර්ග කිලෝමීටර් 365ක භූමිභාගයකට කොටුවූ ගාසා තීරය ලෝකයේ ඉතාමත් ජනාකීර්ණ බිම් තීරුවක් ලෙස සැලකෙයි.

හමාස් සාමාජිකයන් සිටින කවර ප්‍රදේශයක් වුවත් තමන්ගේ ඉලක්කයක් වන බව ඊශ්‍රායල හමුදාව සිය ප්‍රහාර සාධාරණීය කරමින් දැන් පවසයි.

මේ අතර ඊශ්‍රායල රාජ්‍ය රූපවාහිනි සේවාව ඔස්සේ ඊයේ විශේෂ ප්‍රකාශයක් කළ අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු සඳහන් කළේ ඊශ්‍රායල හමුදා ගාසා තීරයේ ගොඩබිම් මෙහෙයුමට සුදානම් බවයි.

කෙසේ නමුත් මෙහෙයුම ආරම්භ කරණ දින වකවානු ඔහු නිශ්චිත ලෙස ප්‍රකාශ කළේ නැත.

එලෙස ගාසා තීරයට ගොඩබිම් මෙහෙයුම දියත් කිරීම විශේෂ යුධ කැබිනට්ටුව මගින් තීරණය කරන බවද අගමැති බෙන්ජමින් නෙතන්යාහු කියා සිටියේය.

ඊශ්‍රායල යුධ කැබිනට්ටුවට විපක්ෂයේ දේශපාලන නායකයෙකු ද එක්ව සිටීම විශේෂත්වයකි.

ඊශ්‍රායල අගමැති නෙතන්යාහු ඊයේ සිය ප්‍රකාශයේදී කියා සිටියේ ඊශ්‍රායල හමුදා දැනටමත් ත්‍රස්තවාදීන් දහස් ගණනක් මරාදමා ඇති බවත් එය ආරම්භයක් පමණක් බවත් ය.

කෙසේ නමුත් ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් ළමයින්, කාන්තාවක් ඇතුළු ගාසා තීරයේ සිවිල් වැසියන් මියයාම සම්බන්ධයෙන් විශේෂයෙන් අරාබිකරය ඇතුළු ලොව රටවල් රැසකින් විරෝධය පළවෙයි.

මේ අතර ඊශ්‍රායල හමුදා ඊයේ රාත්‍රී ප්‍රථම වරට යුධ ටැංකි යොදාගනිමින් ගාසා තීරයේ සීමිත ගොඩබිම් ප්‍රහාරයක නිරත වූ බව වාර්තා විය.

එහිදී ඔවුන් දරුණු ප්‍රහාරයක් එල්ල කළ බවත්, ගාසා තීරයේ සිය කාර්යාංශයේ ප්‍රධානියාගේ පවුලේ සාමාජිකයන් මරුමුවට පත් කළ ගුවන් ප්‍රහාරයෙන් පසු මෙම ගොඩබිම් මෙහෙයුම සිදුුකර ඇති බවත් අල් ජසීරා ප්‍රවෘත්ති සේවාව සඳහන් කළේය.

ඊශ්‍රායල හමුදාව පසුව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ සිය හමුදා යුද ටැංකි යොදාගනිමින් උතුරුදිග ගාසා තීරයේ ඉලක්කගත මෙහෙයුමක් ක්‍රියාත්මක කළ බවයි.

හමාස් ඉලක්ක කරගත් එම මෙහෙයුම යුද්ධයේ මීළඟ අදියර සඳහා සුදානම්වීමක් ලෙස ඊශ්‍රායල හමුදාව හඳුන්වනු ලැබීය.

එමෙන්ම මෙහෙයුම නිමවා සිය හමුදා ගාසා තීරයේ නික්මුණු බව ඊශ්‍රායල හමුදාව සඳහන් කළේය.

මේ අතර ක්‍රෙම්ලින් මන්දිරයේදී විවිධ ආගම් නියෝජනය කරන ආගමික නායකයන් මුණගැසීමෙන් අනතුරුව ප්‍රකාශයක් කළ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්, ඊශ්‍රායල - හමාස් ගැටුම් මැදපෙරදිග කලාපය සහ ඉන් ඔබ්බට පැතිරිය හැකි බවට අනතුරු ඇඟවීමක් කළේය.

වෙනත් පිරිසකගේ අපරාධවලට ගාසා තීරයේ අහිංසක කාන්තාවන් ළමයින් සහ වයස්ගතවුවන්ට පවා දඬුවම් පමුණුවීම වැරදි සහගත බව රුසියානු නායකයා කියා සිටියේය.

මෙම ලේ වැගිරීම් නතර නොකළහොත් ලැව්ගින්නක් මෙන් එය පැතිරිය හැකි බව ජනපති පුටින් සඳහන් කර ඇත්තේය.

ඇතැම් බටහිර රටවල් ප්‍රකෝපකාරී අන්දමින් මෙම ගැටුම් හැකිතාක් දුරට පතුරවාලීමට කටයුතු කරමින් සිටින බවට ජනපති පුටින් චෝදනා කළේය.

එහි අරමුණ වන්නේ මැදපෙරදිග පමණක් නොව එහි සීමාවන්ගෙන් ඔබ්බට වෛරයේ හා ව්‍යාකූලත්වයේ රැල්ලක් පැතිරවීම බවත් ජනපති පුටින් සඳහන් කළේය.

මිලියන සංඛ්‍යාත ජනතාවගේ ජාතික හා ආගමික හැඟීම් නොතකමින් බටහිර රටවල් බෙදීම් ඇතිකොට ලෝකය පාලනය කිරීමට උත්සාහ කරන බව ජනපති පුටින් සිය ප්‍රකාශයේදී චෝදනා කර තිබුණි.

 

Business News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website