සදුදා, 13 නොවැම්බර් 2023 10:33

ලොව ප්‍රථම වරට ඇමෙරිකාවේදී සම්පූර්ණ ඇසක් බද්ධ කරයි Featured

නැතිවුණු පෙනීම ලැබේද හරියටම කියන්න බැහැ

සැත්කමේ ප්‍රධාන වෛද්‍යවරයා කියයි

අනතුරකින් ඇසක් අහිමි වූ අයකුට ලොව ප්‍රථම වරට සැත්කමකින් සම්පූර්ණ ඇසක් බද්ධ කිරීමට ඇමෙරිකා එක්සත් ජනපදයේ ශල්‍ය වෛද්‍යවරුන් කණ්ඩායමක් පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

ඉකුත් බ්‍රහස්පතින්දා (09දා) නිව්යෝක් නගරයේ පිහිටි එන් වයි යූ ලැන්ගොන් හෙල්ත් වෛද්‍ය මධ්‍යස්ථානයේ වෛද්‍යවරුන් පිරිසක් විසින් ලොව ප්‍රථම සම්පූර්ණ ඇසක් බද්ධ කිරීමේ සැත්කම සිදු කර ඇත්තේ 2021 වසරේදී වෝල්ට් 7200ක අධිබල විදුලි රැහැනක ගැටීමෙන් සිය වම්ඇස සමග මුහුණෙන් වැඩි කොටසක් අහිමි කරගත් ඇමෙරිකා එක්සත් ජනපදයේ ආර්කන්සාස් ප්‍රාන්තයේ 46 හැවිරිදි ආරොන් ජේම්ස් නමැත්තාටය. එම සැත්කමට පැය 21ක කාලයක් ගත වී තිබේ.

වසර ගණනක් මුළුල්ලේ ලොව පුරා වෛද්‍යවරුන් ඇසෙහි කුණිතය රෝගීන්ට සාර්ථකව බද්ධ කිරීම සිදු කළද මෙතෙක් වෙනත් අයකුගේ සම්පූර්ණ ඇසක් පුද්ගලයකුට බද්ධ කර නොතිබිණි. වයස අවුරුදු තිස් ගණනක් වන පරිත්‍යාගශීලියකු විසින් පරිත්‍යාග කරන ලද සම්පූර්ණ ඇසක් මෙන්ම මුහුණේ කොටසක්ද ජේම්ස් හට බද්ධ කර ඇත. මෙම බද්ධ කළ ඇස නිසා ඔහුගේ නැතිව ගොස් තිබූ ඇසෙහි පෙනීම ලැබෙනු ඇතැයි නිශ්චිතව පැවසිය නොහැකි බව සැත්කම සිදු කළ වෛද්‍ය කණ්ඩායමේ ප්‍රධාන ශල්‍ය වෛද්‍යවරයකු වන වෛද්‍ය එඩ්වාඩෝ රොඩ්්‍රගුවෙස් පවසා තිබේ.

කෙසේ වුවද බද්ධ කළ ඇස ඉතාමත් නිරෝගී හොඳ මට්ටමේ ඇසක් බව පෙනී යන බවත් ශල්‍ය වෛද්‍ය කණ්ඩායම විසින් මෙතෙක් කළ නොහැකි යැයි සිතා සිටි සම්පූර්ණ ඇසක් බද්ධ කිරීමේ සැත්කම කිරීමෙන් විශාල පියවරක් ඉදිරියට තබා ඇති බවත් ඔහු සඳහන් කර තිබේ. රෝගියාගේ වම් ඇසේ නැතිව ගිය පෙනීම බද්ධ කළ ඇස හරහා ලබා දීම වෛද්‍ය කණ්ඩායමේ මීළඟ අභියෝගය බව වෛද්‍ය රොඩ්්‍රගුවෙස් පවසා තිබේ. ඇස බද්ධ කළ ජේම්ස් නමැත්තා යහපත් ශරීර සෞඛ්‍යයෙන් පසු වන අතර තමාට පෙනීම ලැබෙනු ඇතැයි විශ්වාස කරන බව ඔහු මාධ්‍යයට පවසා තිබේ.
ඒමන්ති මාරඹේ

336 x 200 Sinhala

Business News

Image

Stats

There are 32595 listings, 1310 categories and 92 owners in our website