බදාදා, 27 දෙසැම්බර් 2023 11:02

ඊශ්‍රායල් ගුවන් ප්‍රහාරයෙන් පලස්තීන සරණාගතයන් 70 ක් මරුට Featured

ඊශ්‍රායල ගුවන් හමුදාව විසින් ඉකුත් 25 වැනිදා එල්ල කරන ලද ප්‍රහාරයකින් ගාසා තීරයේ පිහිටි ‘අල් මගාසි’ සරණාගත කඳවුරේ සිටි පලස්තීන ජාතිකයන් 70 දෙනකු පමණ මිය ගොස් ඇති බව පලස්තීන සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිවේදනය කර තිබේ. මෙම ප්‍රහාරයෙන් තුවාල ලැබූවන් විශාල පිරිසක් යාබද අල් අක්සා රෝහල වෙත ගෙන ගොස් ඇති බව වාර්තා වේ.

පලස්තීන සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මෙම ප්‍රහාරය හඳුන්වා දී ඇත්තේ සමූල ඝාතනයක් වශයෙනි. ප්‍රහාරයෙන් මිය ගිය සරණාගත කඳවුරේ සිටි පිරිසගේ සංඛ්‍යාව තවත් ඉහළ යනු ඇතැයි එම අමාත්‍යාංශය කියයි. මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් ඊශ්‍රායලය පවසා ඇත්තේ ඒ සම්බන්ධව පළ වන වාර්තා පිළිබඳව සොයා බලන බවයි.

මේ අතර ඊශ්‍රායලය විසින් නිවේදනය කර ඇත්තේ හමාස් සංවිධානයට එරෙහිව සංකීර්ණ හා බිහිසුණු යුද්ධයක නිරතව සිටින සිය හමුදාවන් විසින් උතුරු ගාසා තීරයේ පිහිටි උමං මාර්ගයක තිබී හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි ප්‍රාණ ඇපකරුවන් පස් දෙනකුගේ මළසිරුරු සොයා ගත් බවයි. ගාසා තීරයේ හමාස් අන්තවාදීන් සමග පවතින සටන්වලදී ඊශ්‍රායල හමුදා භටයන් විශාල පිරිසක් මරණයට පත්ව ඇති බවද ඊශ්‍රායලය පවසයි. ඊශ්‍රායල් හමුදා විසින් ගාසා තීරයේ සරණාගත කඳවුරකට පහර දීමේ සිද්ධිය වාර්තා වී ඇත්තේ ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාමයක් ඇති කිරීමට ඊජිප්තුව විසින් කටයුතු කරමින් සිටින වාතාවරණයක් තුළ බව විදෙස් මාධ්‍ය පවසයි.

සංස්කරණය – ඒමන්ති මාරඹේ

 

Business News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website