ඉරිදා, 07 ජනවාරි 2024 10:09

චීනයේ මැද මිදුල Featured

මැද මිදුලක් සහිත නිවාස ශ්‍රී ලාංකික අපට අමුත්තක් නොවේ. චීනයේ මෙම මැද මිදුල් සහිත නිවාස ඉදිකිරීම මිං (1368.1644) සහ කිං (1644.1911) රාජවංශ පාලන සමයේදී දක්නට ලැබුණ බැව් නැන්වැං විශ්වවිද්‍යාල ජර්නලය මගින් ප්‍රකාශිත පර්යේෂණ වාර්තාවක දැක්වෙනවා.

චීනයේ පරම්පරා කීපයක් එකම නිවසක වාසය කිරීමේ සම්ප්‍රදාය පැවැති බැවින් මෙම ගොඩනැඟිලිවල මැද මිදුල් සහිත නිවාස ඉදි වී ඇති අතර ඇතැම් නිවාසවල මැද මිදුල් එකකට වඩා තිබෙන බැව් මෙම පර්යේෂණ වාර්තාව මගින් පෙන්වා දෙනවා. සිවුචාන්ථ ජියැංසු, අන්හුයි සහ ජියැන්සි වැනි දකුණු හා නැගෙනහිර චීනයේ විශාල ප්‍රදේශයන්හි පිහිටි ඓතිහාසික කලාපයන්හි මැද මිදුල් සහිත ගොඩනැඟිලි බහුලව දක්නට ලැබෙනවා.

මෙම මැද මිදුල් සහිත ඉදිකිරීම් ඉංග්‍රීසි භාෂාවෙන් ‘Skywell’ හෝ මැන්ඩරින් භාෂාවෙන් “ටියැන්ජිං” යනුවෙන් හැඳින්වෙනවා. මෙය දකුණු හා නැගෙනහිර චීනයේ සාම්ප්‍රදායික නිවසක නව අංගයකි. උතුරු චීනයේ “යුවන්ෂි” යනුවෙන් හැඳින්වෙන මිදුලට වඩා මෙම නිවාස ප්‍රමාණයෙන් කුඩා වන අතර එළිමහන් පරිසරයට අඩුවෙන් නිරාවරණය වී තිබෙනවා.

උෂ්ණත්වය අඩුයි..

චීනයේ සිදු කරන ලද අධ්‍යයනයන් මගින් පෙන්වා දෙන අන්දමට දකුණු චීනයේ ඇතැම් මැදමිදුල්වල උෂ්ණත්වය පිටත උෂ්ණත්වයට සාපේක්ෂව බලන විට සෙල්සියස් අංශක 4.3 ක් වැනි අඩු අගයකින් යුක්ත වෙනවා. මේ වෙන විට චීනය ඉතා ශීඝ්‍රයෙන් නාගරීකරණය වෙමින් පවතින අතර මැද මිදුල් සහිත ගොඩනැඟිලිවල ජීවත්වන පිරිස් අඩු වෙමින් තිබෙනවා. ඒ වෙනුවට වායු සමනය කරන ලද බහුමහල් ගොඩනැඟිලි සහ කුලුනු නිවාසයන් (tower blocks) වර්තමානය වන විට චීනයේ ප්‍රධාන නිවාස ආකෘතිය බවට පත්ව තිබෙනවා.

නමුත් කාලයත් සමග සම්ප්‍රදායික චීන ගෘහ නිර්මාණ ශිල්පය පිළිබඳව ඇති වුණ උනන්දුව නිසා මැද මිදුල් සහිත ඓතිහාසික ගොඩනැඟිලි නැවත ප්‍රතිසංස්කරණය වෙනුවෙන් චීන රජයේ උනන්දුව ඇති වී තිබෙනවා. පාරිසරික වශයෙන් බලන විටත් අද වෙන විට ගොඩනැඟිලි ක්ෂේත්‍රයේ කාබන් විමෝචනය අඩු කිරීමේ ප්‍රවණතාවයක්ද චීනය තුළ ගොඩනැඟෙමින් පවතිනවා. ඒ නිසාම ගෘහ නිර්මාණ ශිල්පීන් විසින් නවීන ඉදිකිරීම් තුළ සිසිල් බව ආරක්ෂා කර ගැනීම සඳහා මැද මිදුල් සහ අනෙකුත් සම්ප්‍රදායික වාස්තු විද්‍යාත්මක අංශ වෙනුවෙන් වැඩි අවධානයක් දක්වන ප්‍රවණතාවයක් ඇති වී තිබෙනවා.

ගොඩනැඟිලි සිසිල් කිරීමට…

වායුසමීකරණය භාවිතා කිරීමට පෙරාතුව ගොඩනැඟිලි සිසිල් කර ගැනීම සඳහා මැද මිදුල් නිර්මාණය වී තිබෙනවා. මැද මිදුලක් සහිත නිවසකට ඉහළින් හමන සුළං ප්‍රවාහය එම ගොඩනැඟිල්ලේ විවර වී ඇති කොටසින් නිවස අභ්‍යන්තරයට ඇතුළු වෙනවා. එළිමහනේ වාතය ගොඩනැඟිල්ල අභ්‍යන්තරයේ වායුවට වඩා සිසිල් බවකින් යුක්තයි. මේ වායු ධාරාවන් බිත්ති දිග ගමන් කරන විට නිවස අභ්‍යන්තරයේ ඇති උණුසුම් වායුව පිටතට හමනවා. ඒ වෙනුවට සිසිල් වායුව ආදේශ වන නිසා වායු ප්‍රවාහ ඇති වෙනවා..

සංස්කෘතික උරුමයේ උරුමක්කාරයෙක්..

යූ යෞහොං පනස්පස් හැවිරිදි වියේ පසු වෙන්නෙක්. මේ වෙන විට මැද මිදුල් ප්‍රතිසංස්කරණය පිළිබඳ වසර 30 ක පළපුරුද්දක් ඇති ඔහු ජියැංජි පළාතේ පැරණි හුයිෂෝයු නගරයේ මැද මිදුල් ප්‍රතිසංස්කරණයෙහි ප්‍රවීනයකු ලෙසින් නම් දරා සිටී.

මැද මිදුලක අරමුණු..

යූ යෞහොං සඳහන් කරන අන්දමට මැද මිදුලක ප්‍රධාන අරමුණු කීපයක් තිබෙනවා.

ආලෝකයට ඉඩ දීම
වාතාශ්‍රය වැඩි කිරීම
වැසි ජලය එකතු කර ගැනීම


හුයිෂෝයි ප්‍රදේශයේ මැද මිදුල් සාමාන්‍යයෙන් ප්‍රමාණයෙන් කුඩා නිසා උසින් වැඩිය. ඒ නිසා එය වටා ඇති කාමරවලට උණුසුම් දිනවලදී හිරු එළිය අවහිර කළ හැකි අතර මැද මිදුලේ පහත ප්‍රදේශය සිසිල්ව තබා ගැනීමේ හැකියාව තිබෙනවා. මෙහිදී නිවස අභ්‍යන්තරයේ ඇති උණුසුම් සුළඟ මැද මිදුලේ නිරාවරණය වී ඇති ස්ථානයෙන් චිමිනියක ආකරයෙන් ඉහළට ගොස් පිටතට හමා යනවා. පැරණි හුයිෂෝයු නිවාසවල බිම්මහලේ උස් සිවිලිම් තිබෙනවා. ඒවා සෘජුවම අහස දෙසට මුහුණලා තිබෙන නිසා වාතාශ්‍රය හොඳින් ලැබෙනවා. සමහර ධනවත් පවුල්වලට අයිති නිවාසවලට මැද මිදුල් දෙක තුන තිබෙන බැව් යූ සඳහන් කරනවා. ඔහු විසින් ප්‍රතිසංස්කරණය කරන ලද මැද මිදුලක් සහිත වසර 300 ක් පැරණි නිවස එක්සත් රාජධානියේ හිටපු අලෙවි අධ්‍යක්ෂකවරයකු වන එඩ්වඩ් ගොවින් විසින් මිලට ගන්නා ලදී. ඔහුගේ බිරිඳ වන ලියෝ ෂින්ෂින් චීන ජාතික කාන්තාවකි. මහල් තුනකින් සහ කාමර 14 කින් සමන්විත මේ නිවස 2015 වසරේදී මිල දී ගෙන දැන් කුඩා හෝටලයක් බවට පරිවර්තනය වී තිබෙනවා.

වෙනස් කිරීම් නැහැ..

මෙම නිවස හෝටලයක් බවට පත් කළත් මුල් තත්ත්වයෙන් වෙනස්කම් සිදු වූයේ නැත. අමුත්තන්ගේ කාමරවලට වායු සමීකරණ සවි කළත් මැද මිදුල අවට තවමත් ස්වභාවික වායු ගලනය ඒ අන්දමින්ම සිදු වෙනවා. ඒ නිසා ගිම්හාන කාලයේදී වුණත් අපට වායු සමීකරණයක් අවශ්‍ය නැති බැව් ගොවින් සහ ලියෝ සඳහන් කරනවා. ඒ වගේම මෙම නිවාස බෙහෙවින්ම පරිසර හිතකාමීයි. වාතාශ්‍රය සහ ආලෝකයේ ක්‍රියාකාරීත්වය නිසා තරුණයන් අතරත් දැන් ජනප්‍රිය වෙමින් පවතිනවා. ස්වභාවික සුළං නොමැති අවස්ථාවලදී “චිමිනි ආවරණය” හේතුවෙන් මැද මිදුල සහිත නිවස තුළ වායු සංසරණය සිදු වෙනවා. මැද මිදුලක ඉහළ සහ පහළ ස්ථරයන් අතර උෂ්ණත්වයේ වෙනස නිසා මැද මිදුලේ උණුසුම් වාතය ඉහළ දෙසට හමන විට කාමරවල සිට මැද මිදුලේ පහළ ස්ථරයට වායුව ඇද ගන්නවා.

අතීතයේදී හුයිෂෝයි පවුල් විසින් මැද මිදුලට වැසි ජලය එකතු කරනු ලැබුවේ එය ධනය ආරක්ෂා කර ගැනීමේ රහසක් ලෙසින් වූ විශ්වාසය නිසාය. ඒ නිසා ඔවුන් මැද මිදුල වටා ඇති වහලයෙන් ගලා එන වැසි ජලය බැස යෑමට ඒ වටා කාණු සකස් කර තිබෙනවා.

රජයේ අනුග්‍රහය..

අද වන විට චීන රජය විසින් පරිසර හිතකාමී ගොඩනැඟිලි කර්මාන්තය වෙත දක්වන අනුග්‍රහය නිසා මැද මිදුල් සහිත ගොඩනැඟිලි ඉදිකිරීම සඳහා විශේෂ අනුග්‍රහයක් දක්වා තිබෙනවා. 2013 වසරේ සිට චීන රජය විසින් සමස්ත ජීවන චක්‍රය තුළ සම්පත් ඉතිරි කරන සහ පරිසර දූෂණය අවම කරන හරිත ගොඩනැඟිලි ඉදිකිරීමට උනන්දු කිරීම නිසා 2022 වසරේ ඉදිකරන ලද ගොඩනැඟිලිවලින් 70% ක්ම හරිත ප්‍රමිතිය සපුරා තිබෙනවා.

බී.බී.සී. පුවත්
පුන්‍යා චාන්දනී ද සිල්වා

 

Business News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website